2024 ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනෙන් ශිෂ්‍යත්ව 116,000ක්

දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක “ජනාධිපති ශිෂ්‍යත්ව 2024 ” වැඩසටහන යටතේ 2024 වර්ෂය සඳහා ශිෂ්‍යත්ව 116,000ක් පිරිනැමීමට නියමිතව තිබේ.

උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6000ක් වෙනුවෙන් මාසයකට රුපියල් 6,000 බැගින් මාස 24ක කාලයක් සඳහා ලබාදෙනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් මිලියන 824ක් වෙන් කර තිබෙන අතර පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 100,000ක් වෙනුවෙන් මසකට රුපියල් 3,000 බැගින් මාස 12ක කාලයක් සඳහා ලබාදෙනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3,600ක්.

පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීල මාතාවන් හා ගිහි ශිෂ්‍යයන් වෙනුවෙන් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 288ක් ද, අපොස (උ/පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල ඒකාබද්ධව පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් මිලියන 720ක් ද වෙන් කර තිබේ.

ඒ, අනුව දැනට ක්‍රියාත්මක වන ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා රුපියල් මිලියන 5,000කට අධික මුදලක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ලබා දීමට නියමිතව ඇති බව සඳහන්.

කාලීන පුවත්