2024 යනු ලොව ලොකුම මැතිවරණ වසරයි

ජනාධිපතිවරණයක් අවසන් වී තිබේ. තව නොබෝ වේලාවකින් නව ජනපතිවරයා කවුරුන්දැයි නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. මෙය අප රටේ බොහෝ දෙනෙක් බොහෝ කාලයක් තිස්සේ මහත් අපේක්ෂාවෙන් සිටි මැතිවරණයක් විය. එබැවින් 2024 වර්ෂය දේශපාලනමය වශයෙන් ශ්‍රී ලංකාවට වැදගත් වර්ෂයක් බවට පත් ව තිබේ. කෙසේ නමුත් අපි මේ දූපතෙන් ඔබ්බට අවධානය යොමු කළ හොත් පෙනෙන්නේ මේ 2024 වර්ෂය ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ රටවල් 72 කටම මැතිවරණ පැවැත්වීම අතින් ඉතා වැදගත් වර්ෂයක් වන බවය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (United Nations Development Programme – UNDP) වාර්තාවක් නිකුත් කරමින් පවසා සිටින්නේ මෙය මානව ඉතිහාසයේ වැඩිම මැතිවරණ සංඛ්‍යාවක් පැවැත්වෙන වර්ෂය ලෙසය. ඒ අනුව රටවල් 72 ක් පුරා සිටින බිලියන 3.7 ක් වන ඡන්ද දායකයන් යහ පාලනයක් වෙනුවෙන් මේ වසර තුළ සිය ඡන්දය භාවිත කරන බවය. ලෝක ජනගහනයෙන් අඩකට ආසන්න මේ බිලියන 3.7 තුළ බහුතරයක් ප්‍රථම වරට ඡන්දය භාවිත කරන්නන් බව ද මේ වාර්තාවේ සඳහන්ය.

දේශපාලන, සමාජමය සහ ආර්ථිකමය වශයෙන් වෙනසක් අපේක්ෂාවෙන් ජාතික හෝ ප්‍රදේශීය වශයෙන් පැවැත්වෙන මැතිවරණ රැසක්ම පැවැත්වුණු සහ පැවැත්වෙමින් ඇති වර්ෂයකි. බිලියන ගණනක ජනතාවක් පවතින පාලනය කෙරෙහි වූ අවිශ්වාසය, කලකිරීම මත, සමානාත්මතාව බිඳ වැටුණු පරිසරයක් තුළ සිය ඡන්දය භාවිත කරති. මේ බහුතර ඡන්දදායකයන්ගේ අදහස වන්නේ සිය හඬ පවතින රජය අසන්නට සූදානමින් නොමැති බවය. යහපත් ජීවිතයක් වෙනුවෙන් ජනතාවගේ අපේක්ෂාවන් බිඳ දැමීම සඳහා රජයයන් සහ රාජ්‍ය ආයතන පමණක් නොව වැරදි තොරතුරු සන්නිවේදනය, දැඩි දේශපාලනකරණය සහ සිවිල් අවකාශය කෙමෙන් පටුවීම ද හේතුවක් වී තිබේ.

ආසියාව, දකුණු අප්‍රිකානු කලාපය, දකුණු පැසිෆික් කලාපය, යුරෝපය සහ ඇමරිකාව පුරා මේ මැතිවරණ රැල්ල ගමන් කරයි. මෙය දේශපාලන, සමාජමය සහ ආර්ථිකමය වශයෙන් වෙනසක් අපේක්ෂාවෙන් ජාතික හෝ ප්‍රදේශීය වශයෙන් පැවැත්වෙන මැතිවරණ රැසක්ම පැවැත්වුණු සහ පැවැත්වෙමින් ඇති වර්ෂයකි. බිලියන ගණනක ජනතාවක් පවතින පාලනය කෙරෙහි වූ අවිශ්වාසය, කලකිරීම මත, සමානාත්මතාව බිඳ වැටුණු පරිසරයක් තුළ සිය ඡන්දය භාවිත කරති. මේ බහුතර ඡන්දදායකයන්ගේ අදහස වන්නේ සිය හඬ පවතින රජය අසන්නට සූදානමින් නොමැති බවය. යහපත් ජීවිතයක් වෙනුවෙන් ජනතාවගේ අපේක්ෂාවන් බිඳ දැමීම සඳහා රජයයන් සහ රාජ්‍ය ආයතන පමණක් නොව වැරදි තොරතුරු සන්නිවේදනය, දැඩි දේශපාලනකරණය සහ සිවිල් අවකාශය කෙමෙන් පටුවීම ද හේතුවක් වී තිබේ. මේ ආදී ගැටලුවලට විසඳුම් සෙවීමේ දී ඡන්දයම පමණක් ප්‍රමාණවත් නොවන බව පෙනී යයි. පාලන ක්‍රමයක් මත සිදු වන ආයෝජනය තුළ සෑම කෙනෙකුගේම හඬට කන්දීම සහ මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ සහතිකය ද අත්‍යවශ්‍ය වේ. එමෙන්ම අසමානාත්මකතාව, දරිද්‍රතාව දුරුකිරීම සඳහා රජයයන් විසින් සාධනීය වැඩසටහන් ක්‍රියාත්මක නොකිරීම, අප ජීවත්වන පෘථිවිය ආරක්ෂා කරමින් ජීවන තත්ත්වයන් දියුණු කිරීම රජයයන් විසින් අමතක කර දැමීම ද මිනිසුන් තුළ පාලන ක්‍රමයයන් පිළිබඳ ඇති විශ්වාසය බිඳ වැටීමට හේතු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ලෝකයෙ රටවල් තුළ, විශේෂයෙන් නොදියුණු රටවල් තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා බොහෝ වැඩසටහන් දියත් කර තිබේ. ජනතාවගේ අවශ්‍යතා වඩාත් හොඳින් ආමන්ත්‍රණය කරන්නේ කෙසේ ද යන්න මේ වැඩසටහන් තුළ අන්තර්ගතය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් නිකුත් කොට ඇති මානව සංවර්ධන වාර්තාව තුළ පැවසෙන්නේ මිනිසුන් 10 දෙනෙක් අතරින් 9 දෙනෙකුම ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ ලෙසම ක්‍රියාත්මක කරන්නට සූදානම් වන නායකයකු කෙරෙහි කැමැත්තෙන් පසු වන බවය. බොහෝ රටවල ගැටලුව බවට පත්ව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ ලෙසම ක්‍රියාත්මක කරන්නේ යැයි පවසමින් පැමිණෙන නායකයන් හට බලය ලැබී නොබෝ දිනකින්ම ඒ බව අමතක වී යාමය. ප්‍රජාතන්ත්‍රවාදය හෝ එය ක්‍රියාත්මක කරන නායකයන් කෙරෙහි ජනතා අප්‍රසාදය වර්ධනය වන්නේ එය තුළිනි. ජනතාව සහයෝගය පළ කරන්නට අපේක්ෂාවෙන් සිටී නම් ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීම සෑම පාලන තන්ත්‍රයකම යුතුකම හා වගකීම වන්නේය. මේ නිසා සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ආරක්ෂාව ආදිය ඇතුළත් ජනතා අවශ්‍යතා සැපිරෙන පාලන තන්ත්‍රයක් මත ආයෝජනයන් සිදු කළ යුතුව තිබේ.

රජයයන් අසීමාන්තික ලෙස මර්දනකාරී සහ දූෂිත තත්ත්වයන්ට පත්වෙමින් පවතින විට ප්‍රජාතන්ත්‍රවාදය නාය යාමකට ලක්වීමේ අවදානම් සහගත තත්ත්වයක් ලෝකයේ බොහෝ රටවලින් දක්නට ලැබේ. දේශපාලනයට සම්බන්ධ ප්‍රචණ්ඩත්වය, බෙදීම් සහ කුමන්ත්‍රණ ආදියට පවා හේතුවන්නේ මේ නාය යාම තුළින් ජනතාව තුළ ඇති වන අවිශ්වාසනීය බවය.

රටක පාලන තන්ත්‍රය, රජයේ වැඩසටහන්, යෝජනා ක්‍රම ආදිය පිළිබඳ විනිවිදභාවයක් නොමැති වීම නිසා වැරදි තොරතුරු ගලා යාම රටක පැවැත්ම මත දැඩි හානියක් සිදු කර තිබේ. මේ තුළින් ඡන්දදායකයින් නොමග යාම, කුමන්ත්‍රණකාරී න්‍යායන් ප්‍රවර්ධනය වීම, මැතිවරණ දත්ත දූෂණය වීම සහ විශ්වාසය බිඳ වැටීම වර්ධනය වෙයි. ලෝක ආර්ථික සංසදය (World Economic Forum) සඳහන් කරන්නේ මේ වසරේ ලෝකයේ මැතිවරණ පැවැත්වෙන බහුතර රටවල වැරදි තොරතුරු ගලා යාමේ ප්‍රවණතාව ඉතා ඉහළ තත්ත්වයක පවතින බවය.

මේ තත්ත්වය තවත් අසාධ්‍ය තත්ත්වයට පත් කරන්නට කෘත්‍රිම බුද්ධිය (artificial intelligence – AI) ද ඉවහල් වී තිබේ. කෘත්‍රිම බුද්ධිය තුළින් බලගැන්වෙන deep fake තාක්ෂණය මගින් ජනතාවට ඇසෙන හඬ, පෙනෙන දර්ශන ආදිය ව්‍යාජ ලෙස සකස් කළ හැකි බැවින් බොරුව තුළින් සැබෑව හඳුනා ගැනීමේ දුෂ්කරතාව පැන නැගී තිබේ. වැරදි තොරතුරු තුළින් නිවැරදි තොරතුරු දැනගන්නට නොහැකි වී තිබෙන්නේ මේ තත්ත්වය තුළය. එමෙන්ම සමාජ මාධ්‍ය ද මෙයට තවත් පොහොර දමන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙයි. සමාජ මාධ්‍ය තුළින් ලැබෙන අධික තොරතුරු තුළ පවතින්නේ සැබෑ ඒවා ද අසත්‍ය ඒවා ද කියා වෙන් කර ගැනීමට නොහැකි වීම මත ජනතා අසහනය වර්ධනය වන්නට හේතු වී තිබේ.

මේ සියල්ල එක්වීම තුළින් ඇතිවන අවසන් ප්‍රතිඵලය වන්නේ ප්‍රචණ්ඩත්වය පමණි. ලොව පුරා රටවල් අරගල ඇතිවෙමින් ප්‍රජාතන්ත්‍රවාදී නොවන අයුරින් පාලන තන්ත්‍රයන් බිඳ වැටීමට හේතුව සපයන්නෙ මේ තත්ත්වය ය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසන්නේ දරිද්‍රතාව දුරු කරමින් පෘථිවිය ආරක්ෂා කර ගැනීමේ වැඩසටහන් බිඳ වැටෙන්නට මේවා හේතු වී ඇති බවය. මිනිසුන්ගේ සහ ලෝකයේ යහපැවැත්ම පාලකයන්ගේ වැරදි හේතුවෙන් විනාශ වී යන්නේ මේ ආකාරයටය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ලෝකයේ රටවල් තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නට මේ තරමට උත්සාහ දරමින් සිටින්නේ මේ නිසාය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මැතිවරණ කටයුතු සඳහා වැඩිම සහයෝගයක් ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්ෂිකව ලෝකයේ රටවල් 40 – 50 කට මැතිවරණ කටයුතු වෙනුවෙන් සහයෝගය ලබා දෙයි.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කරන සාධක සියල්ල ඇතුළත් දේශපාලන පද්ධති සහතික කිරීම ද ප්‍රමුඛතාවයකි. මැතිවරණ පැවැත්වීම සම්බන්ධව සුපිරි වර්ෂයක් වන 2024 තුළ පුළුල්ව ව්‍යාප්තවෙමින් පවතින ස්ත්‍රී-පුරුෂ භේදය, මහත් කැපවීමෙන් දිනාගත් අයිතීන් කප්පාදුව, සමලිංගික අයිතීන්ට ඇති බාධාවන් සියල්ල ආමන්ත්‍රණය කිරීම සහ දේශපාලන ක්‍රියාවලිය තුළ තරුණ සහ කාන්තා නායකත්වයේ දායකත්වය වර්ධනය කිරීම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මූලික අරමුණු බවට පත්ව තිබේ. ආබාධිතයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම ද ප්‍රජාතන්ත්‍රවාදය තුළ පැවතිය යුතු දෙයක් වන බැවින් ඒ සම්බන්ධව ද මේ වැඩසටහන දැඩි අවධානය යොමු කොට තිබේ. තමා ආබාධිතයෙක් හෝ කුමක් හෝ අඩුපාඩුවකින් පෙළෙන්නේ යැයි හඟින්නට හෝ අසන්නට හෝ කිසිවෙක් කැමති නැත. එය දියුණු ප්‍රජාතනත්‍රවාදී රටක ලක්ෂණයක් නොවේ. යම් පුරවැසියෙක් තවත් පුරවැසියෙක් එසේ ආමන්ත්‍රණය කරන්නේ නම් එය පාලන තන්ත්‍රයේ වරදකි. මිනිසුන් තුළ යහආකල්ප වර්ධනය කරන්නට පාලකයන් කටයුතු කළ යුතුව තිබේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මේ කටයුතු සඳහා කැපවී සහයෝගය පළ කරයි.

iVerify වෙබ් අඩවිය

තොරතුරු දූෂණය වීමට එරෙහිව වැඩසටහන් ක්‍රියාත්මක කරන ඔවුන් මේ වන විට රටවල් 30 කට අධික සංඛ්‍යාවක් තුළ තොරතුරු ඒකාබද්ධ කිරීමේ වැඩසටහන් දියත් කොට තිබේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් විසින් නොමිලේ සේවා සපයන iVerify නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යයි. යම් තොරතුරක් පිළිබඳ ලෝකයේ ඕනෑම අයෙකුට ගැටලුවක් පැන නගින්නේ නම් මේ වෙබ් අඩවියට ගොස් එකී තොරතුර සත්‍ය ද අසත්‍ය ද යන්න (fact check) පරීක්ෂා කර ගත හැකිය. මීට අමතරව ද නොමිලේ ක්‍රියාත්මක වන සත්‍යාපන වෙබ් අඩවි ද බොහෝ තිබේ.

මිනිසුන් දැනුවත් නම් පාලකයාට රිසි සේ රටක් පාලනය කළ නොහැකිය. ජනතාව වැරදි තොරතුරුවලින් ආරක්ෂා කිරීම ද රජයේ යුතුකම හා වගකීම වන්නේය. නමුත් නිවැරදි තොරතුරු සේ හඟවමින් වැරදි තොරතුරු සැපයීම ද ලෝකයේ බොහෝ රටවල රජ්‍යයන් විසින් සිදු කරනු දක්නට ලැබේ. රජ්‍යයක් නිවැරදි නම් සැකයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවත්වාගෙන ගිය හැකිය. රජ්‍යයක් තුළ වැරදි ගොඩ ගැසෙන විට වැඩි වශයෙන් සිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නොව සිය බලය රැක ගැනීම කෙරෙහිය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිරන්තරයෙන් උත්සාහ දරන්නේ මේ තත්ත්වය සමනය කර ගනිමින් සමබර තත්ත්වයක් පවත්වාගෙන යන්නට ලෝකයේ රටවල්වලට සහයෝගය පළකිරීමය.

දැනුවත් ජනතාවක් බිහි කිරීම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලකයන්ගේ යුතුකම වේ. මේ වසරේ ලෝකයේ ජනගහනයෙන් අඩක්ම සිය ඡන්දය භාවිත කරන්නේ මේ තත්ත්වය අපේක්ෂාවෙනි. මිනිසුන් දැනුවත් නම් පාලකයාට රිසි සේ රටක් පාලනය කළ නොහැකිය. ජනතාව වැරදි තොරතුරුවලින් ආරක්ෂා කිරීම ද රජයේ යුතුකම හා වගකීම වන්නේය. නමුත් නිවැරදි තොරතුරු සේ හඟවමින් වැරදි තොරතුරු සැපයීම ද ලෝකයේ බොහෝ රටවල රජ්‍යයන් විසින් සිදු කරනු දක්නට ලැබේ. රජ්‍යයක් නිවැරදි නම් සැකයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවත්වාගෙන ගිය හැකිය. රජ්‍යයක් තුළ වැරදි ගොඩ ගැසෙන විට වැඩි වශයෙන් සිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නොව සිය බලය රැක ගැනීම කෙරෙහිය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිරන්තරයෙන් උත්සාහ දරන්නේ මේ තත්ත්වය සමනය කර ගනිමින් සමබර තත්ත්වයක් පවත්වාගෙන යන්නට ලෝකයේ රටවල්වලට සහයෝගය පළකිරීමය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර