අතීතයේ ජීවත් වූ ප්‍රකට ප්‍රංශ ජාතික අනාවැකි කරුවකු වූ ‘නොස්ට්‍රඩෑමුස්’ පිළිබඳ ඔබ අසා තිබෙනවා විය හැකිය. අසා නොමැති අය ද සිටින්නට පුළුවන. 1503 වසරේ දී ප්‍රංශයේ උපත ලද මොහු ප්රකටව ඇත්තේ ජ්‍යොතිෂඥයකු, වෛද්‍යවරයකු සහ විශේෂයෙන් අනාවැකි කරුවකු ලෙසිනි. ඔහු විශේෂයෙන් ලෝකයේ ප්‍රසිද්ධියට පත් වූයේ ඔහු විසින් රචිත Les Propheties නම් කෘතිය නිසාය. මෙහි පද හතරකින් යුක්ත යම්කිසි කාව්‍යමය ස්වභාවයකින් යුක්ත පැදි 941ක් තිබේ. ඒ කාව්‍යවල අඩංගු වන්නේ ඉදිරි වර්ෂ ගණනාවකට අදාළ අනාවැකි ය. මේ අනාවැකි අතරින් දැනට සියයට 70 ක් පමණ සිදුවූයේ යැයි පවසනු ලැබේ. එහි එක් තැනක මෙසේ සඳහන්ව තිබේ.
“දිළින්දන්ගෙන් දරුවෙක් උපදින්නේය
ඔහු කරන්නේ කුමක්ද?
ඔහු සිය මුවින් මහා හමුදාවක් නොමගට යොමු කරවයි
ඔහුගේ කිතුගොස යුරෝපයෙන් ඔබ්බට ද විහිද යයි.”
මේ පැදියෙන් පැවසෙන්නේ හිට්ලර්ගේ නැගීම බව එය අර්ථ දක්වන්නෝ පවසති.
තවත් තැනක මෙසේ සඳහන් වේ.
“නගර දෙකකි. පෙර නොවූ විරූ පීඩාවකට එය යටත් වනු ඇත.”
එයින් කියවෙන්නේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරය යැයි අර්ථ දක්වා තිබේ.
මේ ආකාරයට කෙනඩි ඝාතනය, ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ 9/11 ප්‍රහාරය ආදිය පිළිබඳ ව ද ඔහු සිය පැදිවලින් අනාවැකි පළ කොට ඇති බව පැවසේ. මේ ආකාරයට ද ඔහුගේ පැදි අතර 2024 වසර සඳහා අදාළ වූ අනාවැකි කිහිපයක් ද තිබෙන බව මේවා අර්ථ දක්වන්නෝ පෙන්වා දෙති. මේ එක් පැදියකින් පැවසෙන්නේ 2024 වසරේ දී මහා දේශගුණික ව්‍යසනයක් ඇති විය හැකි බවය.
“වියළි පොළොව තව තවත් වියළී යන්නේය. ගංවතුර තවත් වැඩි වනු ඇත.”
තවත් තැනක ඔහු මෙසේ සඳහන් කොට තිබේ.
“පීඩාකාරී රැල්ලක් තුළින් මහා වසංගතයක් ඇති වන්නේය.”
මෙය බොහෝ විට සුනාමි රැල්ලක් පිළිබඳ පැවසූ දෙයකැයි අනුමාන කෙරේ. සුනාමිය රැල්ලක් නිසා කෘෂිකර්මය විනාශ වී රෝග සහ ආහාර හිඟය පැතිර යන්නට ඉඩ ඇති බව එයින් පවසන්නේ යැයි අර්ථ දක්වා තිබේ. මෙය යම් හෙයකින් නිවැරදි වුවහොත් 2024, අප මෙතෙක් අත්නොදුටු අන්දමේ විනාශකාරී දේශගුණික ප්‍රතිඵලයක් ඇති කරන වසරක් විය හැකිය.
එහි ඇති එක් පැදියක මෙවැන්නක් තිබේ.
“රතු ප්රතිපාක්ෂිකයා බියෙන් සුදුමැලි වනු ඇත. මහා සයුරු භීතියෙන් මුසපත් වනු ඇත.”
එයින් හැඟෙන්නේ යම් නාවික ගැටුමක් පිළිබඳ විය හැකි බව අර්ථ දක්වා තිබේ. ඇතැමුන් පවසන්නේ මෙය චීනය සහ තායිවානය අතර ඇති විය හැකි නාවික ගැටුමක් පිළිබඳ කියවෙන බවය. එයට හේතුව චීන කොඩිය රතු පැහැයෙන් යුක්ත වීම නිසාය.
තවත් තැනක මෙසේ තිබේ.
“දූපත්වල රජු බලයෙන් පහ කරනු ඇත.
දිගුකල් යන්නට මත්තෙන් ලෝකය සතුටින් පුරවන නව රජකු ඔටුනු පළඳනු ඇත.”
මේ පිළිබඳ අදහස් දක්වන එක්සත් රාජධානියේ ඩේලි මේල් පුවත්පතේ කර්තෘවරයා වන මාරියෝ රෙඩිං පවසන්නේ දූපත්වල රජු යනුවෙන් හඳුන්වනු ඇත්තේ 3 වැනි චාල්ස් රජු බවය. ඔහුට සහ ඔහුගේ බිසව වූ කැමිලාට එරෙහිව පවතින අනේක වූ අපවාද හේතුවෙන් හැරී කුමරුට වාසි වන ආකාරයට චාල්ස් රජු බලයෙන් නෙරපා හැරීමක් මෙයින් අදහස් විය හැකි බවය.
එමෙන්ම දැනට සිටින ෆ්රාන්සිස් පාප් වහන්සේ වැඩි දිනක් යන්නට මත්තෙන් වෙනස් වන බවට අනාවැකියක් ද නොස්ට්‍රඩෑමුස් විසින් සඳහන් කොට ඇති බව පැවසේ.
“ඉතා මහලු පාප් වහන්සේගෙන් මරණය නිසා යහපත් වයසේ පසුවන රෝමානු පාප් වහන්සේ කෙනෙකු පත් වන්නේය. ඔහුට පෙනීමේ දුර්වලකමක් ඇත නමුත් දිගු කාලයක් රැඳී සිටින්නේය.”
මේ පැදිවලින් පැවසෙන්නේ එය බව අර්ථ දක්වා තිබේ.
2024 සම්බන්ධව නොස්ට්‍රඩෑමුස් සඳහන් කොට ඇතැයි පැවසෙන අනාවැකි මේවාය. මේවා නිවැරදි ද, එසේ නොමැති ද යන්න පිළිබඳ තහවුරු වන්නට තව වසරක්ම ඉදිරියට තිබේ. කෙසේ නමුත් නොස්ට්‍රඩෑමුස් මේ ආකාරයට අනාවැකි පවසා ඇත්තේ කෙසේද? ඒවා ඉතා නිවැරදිව පවසා ඇත්තේ කෙසේද යන ගැටලු අප ඉදිරියේ ඉතිරි වෙයි. නොස්ට්රඩෑමුස්ගේ අනුගාමිකයෝ මේවා කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරවම පිළිගනිති. ඔහු පවසා ඇති අනාවැකිවලින් බහුතරයක්ම වසංගත, භූමිකම්පා, යුද්ධ, ගංවතුර, ආක්‍රමණ, මිනීමැරුම් වැනි ඒවා පිළිබඳවය. මේවා ඕනෑම විටෙක සිදුවිය හැකි දේවල්ය. අවුරුදු චාරිත්‍ර, සුබ දවස්, හූනන් වැටීමේ ඵලාඵල ආදිය අප දැන ගන්නේ නිවසේ එල්ලා ඇති ලිතෙනි. මෙහි ඇත්තේ ද බොහෝ විට සිදුවිය හැකි සිදුවීමය. ප්‍රභූවරයකුගේ මරණයක්, සුප්‍රකට පැවිදි අයකුගේ මරණයක් වැනි කාරණා මෙහි අඩංගු වේ. යම් කිසි ප්‍රභූ මරණයක් සිදු වූ විට එය සංවත්සර පලාපල සමග සසඳා බලා එය නිවැරදි වූයේ යැයි අන් අයට ද පවසන්නට අපි පෙළඹී සිටිමු. විචාරාත්මකව නොස්ට්රඩෑමුස්ගේ අනාවැකි දෙස බැලුවහොත් ඒවා පිළිබඳ පැවසිය හැක්කේ ද එයමය. එනම් කුමක් හෝ සුවිශේෂී සිදුවීමක් සිදු වූ විට එය මේ අනාවැකි සමග සසඳා බලන්නට නොස්ට්රඩෑමුස්ගේ අනුගාමිකයේ පියවර ගනිති. ඔවුන් කරන්නේ සිදුවන සිදුවීම්වලට ගැළපෙන අනාවැකි පවතින්නේ ද යන්න සොය බැලීමය. එයට ගැළපෙන පැදියක් හමු වී විට එකී අනාවැකිය නිවැරදි වූයේ යැයි පවසනු ලබයි. එය කකුලට ගැළපෙන සපත්තුව නොව සපත්තුවට ගැළපෙන කකුල සොයා යන්නා හා සමාන දෙයකි. අනෙක මෙහි ඇති පැදි අර්ථ දක්වන්නේ ද බොහෝ විට යම්කිසි සිදුවීමකට වැලපෙන පරිදිය. එවිට එය නිවැරදි වූයේ යැයි පවසනු ලබයි. අනෙක ප්‍රංශ බසින් රචිත මේ කෘතිය ඉංග්‍රීසි බසට පරිවර්තනය වී ඇත්තේ ද ඉතා දුර්වල ආකාරයකට බව විද්වත්හු පවසති. එබැවින් වැඩි දෙනෙක් අතර පවතින ඉංග්‍රීසි කෘති හොඳ භාෂාවකින් ලියවුණු ඒවා නොවේ. තවත් විචාරකයන් පවසන්නේ නොස්ට්රඩෑමුස්ගේ අනාවැකි ගොබෙල්ස්ගේ ක්‍රමය අනුගමනය කරන බවය. එනම් එකම බොරුව නැවත නැවත පැවසීමෙන් එය පරම සත්‍යයක් බවය. ඒ හැරුණු විට ඉලක්ක ගතව පැවසූ අනාවැකි මෙහි දක්නට නොමැති බව විද්වත්හු පෙන්වා දෙති. එබැවින් මේ අනාවැකි හුදෙක් වින්දනාත්මකව භාවිත කරනවාට වඩා ප්‍රයෝජනවත් වන මූලාශ්‍රයක් ලෙස සැලකිල්ලට ගත නොහැකි බව විද්වත්හු පෙන්ව දෙති.
නිරංජන් චාමින්ද කරුණාතිලක