2024 වසරේ මොන මොනවා සිදුවෙයිද?

2024

අප බොහෝ දෙනෙක් අසන්නට කැමති කාරණා අතර එක් දෙයක් වන්නේ අනාවැකි ය. කුමන තරාතිරමක පුද්ගලයකු වුව ද අනාවැකි අසන්නට කැමතිය. පුවත්පත් අතට ගත් සැනින් පලාපල බලන්නට බොහෝ දෙනෙක් නිතැතින් පෙලඹෙන්නේ ඒ නිසාය. මේ නිසා 2024 වසරේ කුමක් සිදුවනු ඇති ද යන කුතුහලය බොහෝ දෙනෙකු තුළ පවතී. කෙසේ වෙතත් ගුප්ත හෝ ජ්‍යොතිෂය ඇසුරින් පවසන අනාවැකි පිළිබඳ ව බහුතරයකගේ වැඩි විශ්වාසයක් නොමැත. මන්ද විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඇතැම් ඊනියා ජ්‍යොතිෂයකරුවන් ජ්‍යොතිෂය නමින් මාධ්‍ය ඉදිරියේ බොරු බේගල් ඇදබාන්නට වීම නිසාය. කෙසේ වෙතත් තාර්කික, විද්‍යාත්මක, දේශපාලන ආදී විවිධ කාරණා පදනම් කර ගනිමින් ඉදිරි වසර මෙසේ වනු ඇතැයි පුරෝකථන බොහොමයක් සිදුකර ඇති බව පෙනෙන්නට තිබේ. මේ සඳහන් කරන්නේ ඒවාය.

මැතිවරණවලින් පිරි වසරකි

දැනට ගණන් බලා ඇති පරිදි 2024 වසර වන විට ලෝක ජනගහනයෙන් අඩකටත් වඩා, එනම් රටවල් 70 ක පමණ සිටින ජනතාවක් ඡන්දය භාවිත කිරීමේ සුදුසු වයසට එලැඹෙන අතර රටවල් බොහොමයක ඡන්ද පැවැත්වෙන්නට නියමිත බැවින් ලෝක දේශපාලනයේ මහත් පෙරළියක් ඇති කරනු ඇතැයි පැවසේ. විශේෂයෙන් ලබන වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජයග්‍රහණය කිරීමට හැකි අවස්ථාව තුනෙන් එකක් පමණ වනු ඇතැයි ‘ද එකොනොමිස්ට්’ සඟරාව සඳහන් කර තිබේ. කෙසේ වෙතත් මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සමස්ත ලෝකයටම බලපෑම් ඇති කරන්නක් වනු ඇත. විශේෂයෙන් යුක්රේනයට තවදුරටත් යුධ ආධාර ලබා දීම තීරණය වනු ඇත්තේ මෙහි ජයග්‍රාහක අපේක්ෂකයා මතය. එමෙන්ම රුසියාවේ පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයෙන් ව්ලැදිමීර් පුටින් යලි ජයග්‍රහණය කරනු ඇති ද යන්න තීරණය වනුයේ රුසියානු ඡන්ද මත නොව ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න මත බවට ද මත පළ වී තිබේ.

ඉන්දියාවේ ද මැතිවරණයක් පවත්වන්නට නියමිතව ඇති අතර අගමැති නරේන්ද්‍ර මෝදි කෙරෙහි ජනතාව තුළ වර්ධනය වන අසතුට, එරට වේගවත් උද්ධමනය සහ විරැකියා තත්ත්වය ආදී කාරණා කුමක් වුවත්, සිය ජනප්‍රියත්වය නිසාම මෝදිට නැවත වරක් අගමැති වීමේ හැකියාව තිබෙන බවට අනාවැකි පළ වී තිබේ.

ඉරානයේ දී මැතිවරණයක් පවත්වන්නට නියමිත වන අතර දැනට පවතින පාලනය බිඳ වැටී නව පාලනයක් ඇති වනු ඇති බව ඉඟි පළ වී තිබේ.

එක්සත් රාජධානියේ ද මැතිවරණයක් පැවැත්වෙන අතර එහිදී රිෂි සුනක් තවදුරටත් බලය රඳා පවත්වා ගනු ඇති බවට දේශපාලන මත පළ වී තිබේ.

ගාසා හි සටන් විරාමයක් ඇති වේවිද?

ඇමරිකා එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන්ගේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් පවසන්නේ අදින් දශක දෙකකට පෙරාතුව පැවති තත්ත්වයට වඩා මැදපෙරදිග කලාපය වඩාත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවය. ඔහු එයින් බලාපොරොත්තු වන්නේ මේ කලාපය පිළිබඳ යම් අනාවැකියක් පළ කිරීමට විය හැකි වන අතර ඒ අන් කිසිවක් පිළිබඳ නොව ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ ව වනු ඇත. කෙසේ වෙතත් ජාත්‍යන්තර බලපෑම් කොතෙක් පැවතිය ද ඊශ්‍රායලය පවසන්නේ තම ඒකායන අරමුණ වන්නේ පලස්තීන ප්‍රදේශයෙන් හමාස් පාලනය මුලිනුපුටා දමන තුරා යුද්ධය නතර නොකරන බවය. එබැවින් බොහෝ විචාරකයන් පවසන්නේ මේ කලාපය තුළ හමුදාමය මෙන්ම දේශපාලන බලපෑම මත අනාගතය තීරණය කරනු ඇති බව හා ස්ථිර සටන් විරාමයක් පිළිබඳ බලාපොරොත්තු තබා ගත නොහැකි බවත්ය. කෙසේ වෙතත් මේ තත්ත්වය ඉදිරි ඇමරිකානු ජනාධිපතිවරණය කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කරනු ඇති බව ද පැවසේ.

රුසියානු – යුක්රේන යුද්ධය

මේ දෙරට අතර ගැටුම වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඉදිරියට ගමන් කොට මේ වන විට යම් නිශ්චිත තත්ත්වයකට පැමිණ ඇති බව යුක්රේන හමුදා ප්‍රධානී ජෙනරාල් වැලෙරි සුලුස්නි පවසයි. යම් කිසි ඉහළ තාක්ෂණික හඳුන්වා දීමක් සිදුවුවහොත් මිසෙක යුද්ධයේ පැහැදිලි වෙනසක් සිදුවන්නට ඉඩක් නොමැති බව ඔහු පවසයි. කෙසේ වෙතත් කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමෙන් පසු රුසියාව යුධ කටයුතු සඳහා සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% කට වැඩි ප්‍රමාණයක් වෙන් කිරීමෙන් පෙන්වන්නේ ඔවුන් යුද්ධය නතර කිරීමේ අදහසක නොමැති බව යැයි යුද හා දේශපාලන විශ්ලේෂකයෝ අනුමාන කරති. ඉදිරි වසර යුදමය වශයෙන් යුක්රේනයට දැඩි පීඩාකාරී වනු ඇති බවත් ඇමරිකානු සහාය යුක්රේනයට ලැබීම, ඇමරිකානු ජනාධිපතිවරණය මත තීරණය වනු ඇති බවත් විචාරක මතයයි. අනෙක ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය කොට රුසියානු ජනාධිපතිවරණයෙන් පුටින් ජයග්‍රහණය කළ හොත් යුක්රේනය මහත් අසරණ තත්ත්වයකට ඇද වැටෙන්නට නියමිත බවත් දේශපාලන අනාවැකි පළ වී තිබේ.

ඉගිළෙන මෝටර් රථ

සිරස් ලෙස ඉහළට නැංවිය හැකි සහ සිරස් ලෙස ගොඩ බාන්නට හැකි eVTOL නමින් හැඳින්වෙන මෝටර් රථ ලෝකයට හඳුන්වා දෙන වසරක් ලෙස 2024 පිළිබඳ අනාවැකි පළකොට තිබේ. ලොව වටා සිටින බොහෝ මෝටර් රථ නිෂ්පාදකයින් රහසේම මේ කාර්යය සිදුකරගෙන යන බව බීබීසී ව්‍යාපාරික තාක්ෂණ සංස්කාරක බෙන් මොරිස් පවසා සිටියි. මිලෙන් සහ කාබන් විමෝචනයෙන් අඩු මේ ඉගිළෙන මෝටර් රථ 2024 අවසන් වන විට ලොව පුරා රටවල්වල ප්‍රධාන නගරවල බෙහෙවින් දක්නට ලැබිය හැකි බව ඔහු තවදුරටත් පවසයි.

නැවත සඳට ගොඩ බැසීම

අඩ සියවසකට පමණ පසු මිනිසෙක් රැගත් යානයක් 2024 වසරේ සඳ මත ගොඩබසිනු ඇති බවට ද අනාවැකියක් පළ වී තිබේ. නාසා ආයතනයේ නම් Artemis II යානය 2024 නොවැම්බර් මාසයේ දී පමණ මිනිසකු ද රැගෙන සඳ වටා ගමන් කොට නැවත පෘථිවිය කරා පැමිණෙන්නට හැකි වනු ඇති බවට මත පළ වී තිබේ. නමුත් සඳට ගොඩබැසීමක් පිළිබඳ නාසා ආයතනය කිසිදු මතයක් පළකොට නොමැත.

කෘත්‍රිම බුද්ධිය නිසා නීතිඥයන්ට කාර්යබහුල වන වසරක්

2023 වසරේ දී කෘත්‍රිම බුද්ධිය භාවිතය සාමාන්‍යකරණීය වීම නිසා 2024 වසරේ දී එහි භාවිතය 2024 වසරේ දී තවත් වර්ධනය වනු ඇති බව පැවසේ. මේ නිසා පෙර වසරවලට වඩා බුද්ධිමය දේපළ අවභාවිත කිරීම් වඩාත් පහසුවෙන් ග්‍රහණය කර ගත හැකි වනු ඇති බවත් මේ නිසාම ඒ නිසාම එවැනි වරදවල් කරන පිරිස් වැඩි වශයෙන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවටත් මත පළ වී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස නීතිඥයන්ට වඩාත් කාර්ය බහුල වන වසරක් ලෙස 2024 වසර පිළිබඳ අනාවැකි පළ වී තිබේ.

සතුන් සමග කතා කළ හැකි වසරක්

මෙය ද කෘත්‍රිම බුද්ධිය මත පළ කරන අනාවැකියක් වන අතර කෘත්‍රිම බුද්ධිය ඔස්සේ සතුන්ගේ හැසිරීම් සහ ඔවුන්ගේ හඬ නිර්වචනය කිරීමේ හැකියාව වඩාත් හොඳින් සංවර්ධනය කළ හැකි වනු ඇති බවත්, ඒ නිසාම මිනිසුන්ට සතුන් සමග ඔවුන්ගේ භාෂාවෙන් සන්නිවේදනය කළ හැකි වන වසරක් වනු ඇති බවටත් 2024 වසර පිළිබඳ ඇතැම් විද්‍යාඥයන් මත පළ කොට තිබේ.

2024 වසර පිළිබඳ විවිධ විද්‍යාත්මක, දේශපාලනමය, සමාජමය කරුණු මත පදනම්ව සිදුකොට ඇති මේ අනාවැකි පළකිරීම් අනුව පැහැදිලි වන කාරණයක් නම් දේශපාලනය සහ කෘත්‍රිම බුද්ධය මත 2024 වසර තීරණය වනු ඇති බවය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර