2032 පෘථිවියේ ගැටෙන්නට ඉඩ ඇති ග‍්‍රහකය නිසා ඉන්දියාවටත් අනතුරක්?

vinivida

ග‍්‍රහක (Asteroids) කියන්නෙ සූර්ය ග‍්‍රහ මණ්ඩලයේ පාවෙමින් තිබෙන, ග‍්‍රහලෝක තරම් විශාල නොවන වස්තූන් විශේෂයක්. අභ්‍යවකාශය ඔස්සේ පා වී අවුත් තව වසර කිහිපයකින් පෘථිවියේ ගැටෙන්නට ඉඩ ඇති මෙවැනි ග‍්‍රහකයක් ගැන මේ දිනවල විශාල අවධානයක් යොමු වෙනවා. යම් හෙයකින් මෙය පෘථිවියේ ගැටුණහොත් නගර පිටින් විනාශ වී යා හැකි බවටත් අනාවැකි පළවෙමින් තිබෙනවා.

විද්‍යාඥයන් මෙම ග‍්‍රහකය නම් කර තිබෙන්නේ 2024 YR4 යන නමින්. මෙය පෘථිවියේ ගැටෙන්නට ඉඩ ඇතැයි පැවසෙන්නේ 2032 වසරේ දෙසැම්බර් 22 වැනි දින යි. ඒ සඳහා තවත් ඇත්තේ අවුරුදු 8 කට ආසන්න කෙටි කාලයක් පමණයි. ඒ නිසා මෙය තරමක් බිය උපදවන කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙම ග‍්‍රහකයේ විශ්කම්භය මීටර 40-90 අතර අගයක් ගන්නා බව ගණන් බලා තිබෙනවා. ග‍්‍රහකය මුලින්ම හඳුනාගන්නා ලද්දේ 2024 දෙසැම්බර් මාසයේ යි.

කෙසේ නමුත් 2024 YR4 ග‍්‍රහකය පෘථිවියේ ගැටෙන්නට තිබෙන ඉඩට වඩා නොගැටෙන්නට තිබෙන ඉඩ වැඩියි. විද්‍යාඥයන් පවසන ආකාරයට මෙය පෘථිවියේ ගැටෙන්නට තිබෙන සම්භාවිතාව සියයට 2.2 ක් පමණ වෙනවා. මෙය කුඩා සම්භාවිතාවක් වුණත් 2024 YR4 ග‍්‍රහකය විශාල විනාශයක් කළ හැකි ප‍්‍රමාණයේ ග‍්‍රහකයක් නිසා විද්‍යාඥයන් එ් ගැන දැඩි පරීක්‍ෂාවෙන් සිටිනවා.

මෙයට සති කිහිපයකට පෙර ඉහත කී සම්භාවිතාව පැවතුණේ සියයට 1.3 ක් වශයෙනු යි. නමුත් ග‍්‍රහකය සම්බන්ධයෙන් කරන ලද වැඩිදුර නිරීක්ෂණ පදනම් කර ගනිමින් විද්‍යාඥයන් මෙයට දින කිහිපයකට පෙර ප‍්‍රකාශ කළේ ග‍්‍රහකය පෘථිවියේ ගැටෙන්නට ඊට වැඩි සම්භාවිතාවක් ඇති බවයි. කලින් සියයට 1.3 ක් වූ සම්භාවිතාව පසුව ඔවුන් සියයට 2.3 ක් දක්වා ( දෙගුණයකින් පමණ* ඉහළ දැමුවා. ඒත් සමගම ග‍්‍රහකය ගැන තිබූ උනන්දුව තවත් වැඩි වී තිබෙනවා.

ඈත අතීතයේ මිහි මත ජීවත් වූ ඩයිනසෝරයන් වැනි සතුන් වඳ වී ගියේත් මෙවැනි ග‍්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් ඇති වූ බලපෑම නිසා බවයි විශ්වාස කෙරෙන්නේ. නමුත් එම ග‍්‍රහකය ඉතා විශාල ග‍්‍රහකයක්. එහි විශ්කම්භය කි.මී. 10-15 ක් අතර බවයි පැවසෙන්නේ.

2024 YR4 ග‍්‍රහකය ඒ තරම් විශාල එකක් නොවෙයි. කලින් ද සඳහන් කළ ආකාරයට එහි විශ්කම්භය මීටර 40-90 අතර අගයක් ගන්නා බවයි ගණනය කර ඇත්තේ. නමුත් ඒ ප‍්‍රමාණයේ ග‍්‍රහකයකින් වුවත් සැලකිය යුතු විනාශයක් විය හැකි බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

යම් හෙයකින් එය පෘථිවියේ ගැටුණහොත් දෙවැනි ලෝක යුද්ධ සමයේ ඇමරිකානුවන් ජපානයේ හිරෝෂිමාවට හෙලූ බෝම්බයෙන් නිකුත් වූ බිහිසුණු ශක්තිය මෙන් සිය ගුණයක පමණ ශක්තියක් නිකුත් වනු ඇති බව පැවසෙනවා. විද්‍යාඥයන් පවසන්නේ එය ගොඩබිම් ප‍්‍රදේශයකට වැටුණහොත් නගර පිටින් විනාශ වී යා හැකි බව යි. සමහර විට මිලියන ගණනක් මිනිසුන් මරණයට පත් කිරීමටත් ඊට හැකියාව තිබෙනවා. නමුත් මෙය පෘථිවියේ ගැටෙනවා නම් ඒ ගැටෙන ප‍්‍රදේශය විද්‍යාඥයන්ට කල් ඇතිව හඳුනා ගන්නට පිලිවන්. ඒ නිසා එම ප‍්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමක් සිදු වනු ඇති. ග‍්‍රහකය පෘථිවියේ ගැටෙනවා ද නැද්ද යන්න වඩාත් නිශ්චිතව කියන්නට හැකි වන්නේ 2028 වසරේ බවයි පැවසෙන්නේ.

ග‍්‍රහකය ගැටෙන්නට ඉඩ ඇති ප‍්‍රදේශ පිහිටා ඇති තීරුවක් වැනි කලාපයකුත් මේ වනවිට විද්‍යාඥයන් හඳුනාගෙන තිබෙනවා. එයින් අදහස් වන්නේ මෙම තීරුවේ ඕනෑම ස්ථානයකට – 2024 YR4 ග‍්‍රහකය කඩා වැටෙන්නට හැකි බව යි. මෙම තීරුව දකුණු ඇමරිකාව, අපි‍්‍රකාව, ආසියාව යන මහාද්වීප හරහා වැටී ඇති ආකාරය දැකිය හැකියි. අප අසල්වැසි ඉන්දියාවත් මෙම තීරුවට ඇතුළත්. අත්ලාන්තික් සහ ඉන්දියානු සාගර හරහා ද මෙම තීරුව වැටී ඇති නිසා මෙම ග‍්‍රහකය එම සාගර කලාපයකට වැටීමටත් ඉඩක් තිබෙනවා. මේ ආකාරයෙන් එය සාගරයකට කඩා වැටුණොත් එයින් සිදු විය හැකි විනාශය අවම යි.

මෙවැනි ග‍්‍රහක දෙකක් නිසා සිදු වූ විනාශයන් ගැන මෑත කාලයේ විශාල වශයෙන් කතාබහට ලක් වුණා. ඉන් එක් සිද්ධියක් සිදු වුණේ 1908 වසරේ යි. මීටර 30 ක පමණ විශ්කම්භයක් ඇති ග‍්‍රහකයක් රුසියාවේ සයිබීරියා ප‍්‍රදේශයේ වනගත ඉසව්වකට පතිත වීමෙන් මහත් විනාශයක් සිදුව තිබුණා. නමුත් මෙම ප‍්‍රදේශය ජනශුන්‍ය ප‍්‍රදේශයක් වූ නිසා මිනිස් ජීවිත හානියක් වාර්තා වුණේ නැහැ. එහෙත් වර්ග කි.මී. 2,100 ක පමණ ප‍්‍රදේශයක වනාන්තරය සහ සතුන් සිව්පාවුන් සහමුලින් විනාශ වී තිබුණා.

අනෙක් සිද්ධිය සිදු වුණේ 2013 වසරේ යි. එයත් සිද්ධ වූණේ රුසියාවේම වීම විශේෂත්වයක්. රුසියාවේ චෙලියාබින්ස්ක් නැමැති ප‍්‍රදේශයට ඉහළ අහසේ මීටර 20 ක පමණ විශ්කම්භයෙන් යුතු ග‍්‍රහකයක් පුපුරා ගිය අතර මෙයින් ඇති වූ කම්පනය හේතුවෙන් ප‍්‍රදේශවාසීන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබුවා. ඊට අමතරව ගොඩනැගිලි 7,000 කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදු වු බවත් වාර්තා වුණා. මෙම ග‍්‍රහකය පුපුරා යාමෙන් මුදා හැරුණු ශක්තිය හිරෝෂිමා බෝම්බයෙන් මුදා හැරුණු ශක්තිය මෙන් විසි තිස් ගුණයක් වූ බව සඳහන්. නමුත් ග‍්‍රහකය පුපුරා ගියේ පෘථිවියට බොහෝ ඉහළින් නිසා විශාල හානියක් සිදු වුණේ නැහැ.

2032 වසරේ පෘථිවියේ ගැටෙන්නට ඉඩ ඇතැයි පැවසෙන 2024 YR4 ග‍්‍රහකය ඉහත කී ග‍්‍රහක දෙකටම වඩා විශාල ග‍්‍රහකයක්.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර