සුනඛ සුරතලාට වැළඳෙන  ඔබ නොසිතන සමේ ආසාදන

      සමේ රෝග හටගත් කල අපේ සම අවලස්සන වෙන අයුරින් සුනඛයන්ගේ සම අවලස්සන කිරීමට ද විවිධ චර්ම රෝගී තත්ත්වයන් හේතු වෙනවා. මෙවැනි චර්ම රෝග ඇති කරවීමට බලපාන එක හේතුවක් වන්නේ සුනඛයාට සින්ක් ඌනතාවය තිබීමයි.
        සින්ක් සිරුරට අත්‍යාවශ්‍ය ඛනිජ ලවණයක්. දිනපතා සමබර ආහාර වේලක් ලබා දෙන්නේ නම් සතුන්ට දෛනිකව අවශ්‍ය කරන සින්ක් ඛනිජ ලවණය  ශරීරගත වීම ඉබේම සිදු වෙනවා.
        නමුත් සමහර අවස්ථාවලදී එසේ ලැබෙන සින්ක්  සුනඛයාට ප්‍රමාණවත් නො වන්නට පුළුවන්. විශේෂයෙන් දුව පැන සෙල්ලම් කරන කුඩා අවදියේදීත්, ගර්භනී කාලයේදීත් ඛනිජ ලවණ අවශ්‍යතාවය වැඩිපුර ඇතිවිය හැකියි.  එවැනි අවස්ථාවන්හි දී සමබර ආහාර වේලක් නොලැබෙන්නේ නම් සින්ක් ඌනතාවය හේතුවෙන් සමේ ආබාධ තත්ත්වයන් හටගන්නට පුළුවන්.
සින්ක් ඛනිජ ලවණය වැඩිපුර ඇති ආහාර වර්ග:
        මේ ඛනිජ ලවණය වැඩිපුර ඇති ආහාර නම් සත්ව ආහාර යි. මාළු මස් වැඩිපුර ආහාරයට දෙන්නේ නම් සින්ක් ඌනතාවය බොහෝදුරට මගහැරෙනවා. එහෙත් සමහර සතුන්ට ශාකමය ආහාර අධික වත්, සත්ව ආහාර ඉතා ස්වල්ප වශයෙනුත් ලබා දීම නිසා සින්ක් ඌනතාවය හට ගන්නට ඉඩ තිබෙනවා.
      සමහර සතුන්ට මස් මාළු වෙනුවට , මස් මාළු අඩංගු කෘත්‍රිම ආහාර දෙන අවස්ථා තිබෙනවා. නමුත් එවැනි කෘත්‍රිම ආහාරයක අඩංගු සින්ක් ප්‍රමාණය ස්වභාවික සත්ව ආහාරවලට සාපේක්ෂව අඩුයි. එයට හේතුව සුනඛ ආහාර  එලෙස කෘත්‍රිමව පිළියෙළ කිරීමේදී සිදුවන රසායනික ක්‍රමවේද හේතුවෙන් සින්ක් වැනි අත්‍යවශ්‍ය ඛනිජ ලවණ විනාශ වී යාමයි.
සින්ක් අවශෝෂණය දුර්වල කරවන කැල්සියම් මට්ටම වැඩිවීම:
    සිරුරේ  කැල්සියම් වැඩිපුර තැන්පත් වීම නොයෙකුත් රෝගාබාධ ඇතිවීමට හේතුවක්. ආහාරවලින් ලැබෙන කැල්සියම් ප්‍රමාණයට වඩා  සිරප් හෝ  පෙති වශයෙන් සතුන්ට කැල්සියම් ලබා දීම සිරුරේ කැල්සියම් අධික වීමට හේතු වෙනවා. එවිට ආහාර මගින් ලැබෙන සින්ක් ප්‍රමාණය සිරුරට අවශෝෂණය වීම කැල්සියම් මගින් අවහිර කරනු ලබනවා.
සින්ක් ඌනතාවයෙන් පෙළෙන සුනඛයකු හඳුනාගන්නේ කොහොමද?
        සුනඛයාගේ රෝමවල පවතින ප්‍රාණවත් බව, දිලිසෙන බව නැතිවී ගොස් අප්‍රාණික අඳුරු ස්වභාවයක් දිස් වීම.
       රෝම වැඩියෙන්  ගැලවී යාම
        සමේ පොතු ගැලවී යාම
        ඇස් සහ මුඛය වටා කවාකාරව රෝම ගැලවී යාම
        සමෙහි පොතු ගැලවී ගිය ස්ථානවල තුවාල සෑදීමටත්, එමගින්  බැක්ටීරියා ආසාදනය වී ද්විතීක ආසාදිත තත්ත්වයන් හට ගැනීමත් සිදුවිය හැකියි.
         සුනඛයකු හට මෙවැනි ලක්ෂණ ඇති වූ විට  සින්ක් පිටින්  ලබාදීම කළ යුතුයි. එහි දී  සින්ක් පමණක්  ලබා නොදී අනෙකුත් පෝෂණ ද්‍රව්‍ය ද්‍රව්‍යයන්ද අන්තර්ගත වන සිරප් හෝ විටමින් පෙති වශයෙන් ලබා දීම වඩා සුදුසුයි. ඌනතාවයෙන් පෙළෙන සතුන් හඳුනා ගැනීම එතරම් පහසු වන්නේ නෑ.  එසේ වුවද ඉහත කී ආකාරයේ ලක්ෂණ හඳුනාගත හැකි නම් සින්ක් අමතර වශයෙන් ලබා දීම කළ හැකියි.  චර්ම රෝගී තත්ත්වයට හේතුව  සින්ක් ඌනතාවය නම් එලෙස අමතරව සින්ක් ලබාදීමත් සමග රෝගී තත්ත්වය සුව වෙනවා.  එසේ නොවන්නේ නම් රෝගයට බලපාන්නේ  වෙනත් හේතුවක් බව අවබෝධ කරගත යුතුයි .
        ඉහත කී චර්ම රෝග හටගන්නේ සින්ක් හීනතාවය නිසා. නමුත් සුනඛ මෙන්ම බළල් සුරතලුන්ට ද හානි පමුණුවන කිනිතුල්ලන්, මැක්කන් වැනි පරපෝෂිතයන් වඳ කිරීම සඳහාත්,  සතුන්ට වැළඳෙන නොයෙකුත් චර්ම රෝග සඳහාත් උන්ගේ සමේ ඖෂධ ගැල්වීම සුලබව සිදු කරනවා. පරපෝෂිතයන් වඳ කිරීම සඳහා දෙනු ලබන මෙවැනි ඖෂධ විෂ සහිතයි. සමහර අවස්ථාවලදී එවැනි ඖෂධ සිරුරෙහි ගැල්වීම සුනඛයන්ට  මෙන්ම  බළලුන්ට ද විෂ වී අහිතකර ප්‍රතිඵල ලබා දෙන අවස්ථා  නැතුවා නොවෙයි.
සමේ ගල්වන ආලේපන විෂ වූ විට දැකිය හැකි ලක්ෂණ:
        වමනය හෝ දියර ලෙසින් මලපහ වීම
        මාංශ පේශීන් වෙව්ලීම
        මුඛයෙන් කෙල වැගිරීම
        සිරුර අප්‍රාණික වීම
        හුස්ම ගැනීමේ අපහසුව
        රෝගය තවදුරටත් වර්ධනය වී ප්‍රකෘති සිහිය නැති වීම
         බොහෝ විට මෙලෙස සමේ ගල්වන ආලේපන විෂ වන්නේ ශරීර ශක්තිය හීන වූ  අවස්ථාවලදීයි.  විශේෂයෙන් සතුන් ස්නානය කර වූ විගස ශරීරයෙහි උෂ්ණත්වය පහළ බසින නිසා එවැනි අවස්ථාවල දී සමෙහි ඖෂධ ගැල්වූ විට ඒවා විෂ වීමේ වැඩි හැකියාවක් තිබෙනවා.
           ශල්‍යකර්මයක් වැනි දෙයක් සඳහා නිර්වින්දනය කර ඇති අවස්ථාවල දී ද ශරීර උෂ්ණත්වය පහළ බසිනවා. එවිට සමට පිටතින් ගල්වන ඖෂධ විෂ විය හැකියි.
          තවත් සමහර සතුන් ස්වභාවයෙන්ම අසාත්මිකතාවයන්ට  ගොදුරු වීමේ හැකියාව වැඩියි. එවැනි සතුන්ගේ සමෙහි ඉහත කී ආකාරයේ ඖෂධ ගැල් වූ විට ඒවා අසාත්මික වීමට තිබෙන හැකියාව වැඩියි.
        සමේ ගැල්වූ විෂ ආලේපනයක් සතාගේ සිරුරට විෂ වී ඇති බව හැඟේ නම් හැකිතාක් ඉක්මනින් ගල්වා ඇති ආලේපනය ඉවත් කළ යුතුයි.  මේ සඳහා  සතුන් නෑවීමට ගන්නා සබන් වර්ගවලට වඩා ප්‍රබල ඩිටර්ජන්ට් වර්ගයකින් හෝ සැර රෙදි සෝදන සබන් වර්ගයකින් සතා සෝදා ගල්වා ඇති ආලේපනය ඉක්මනින් ඉවත් කොට උණුසුම් තුවායකින් සිරුර පිස දැමිය  යුතුයි.
        එවැනි විෂ ආලේපන ගල්වන විට දී ඒවා සතුන්ගේ මුඛයෙහි නොගෑවෙන ආකාරයට මෙන්ම කුමන ආකාරයකින් හෝ ආහාර මාර්ගයට ඇතුළු නොවන පරිදි ගැල්වීමටද කල්පනාකාරී විය යුතුයි.
         ඖෂධය යම් ජල ප්‍රමාණයක දියකර සිරුරෙහි ආලේප කරන ලෙස උපදෙස් දී ඇති විට  එම උපදෙස්වලින් දැක්වෙන නියම පරිමාවට ම ජලය එකතු කළ යුතුයි.
          පරපෝෂිතයන් වඳ කිරීමට ඖෂධ ගැල්වීමේ දී නැවත ගැල්වීම මසකින් හෝ යම් කාල සීමාවක් තුළ කරන ලෙස උපදෙස් දී ඇත්නම් ඒ කාලසීමාව ගතවන්නට පෙර නැවත ඖෂධ  ගැල්වීම නොකළ යුතුයි. එලෙස සඳහන් කර ඇති උපදෙස්වලින් පරිබාහිරව හිතුමතේ සතුන්ගේ සමෙහි  විෂ ඖෂධ ආලේප කිරීම ශරීර අභ්‍යන්තර අවයවවලට පවා අහිතකර අන්දමින් බලපෑමට හැකියාවක් තිබෙනවා.
        තාමත් සමහර පුද්ගලයන් සුනඛයන් වෙනුවෙන් නිර්දේශිත ඖෂධ බළලුන්ගේ සිරුරෙහි ද ගල්වන අවස්ථා තිබෙනවා.  එය ඉතා අහිතකර ආකාරයෙන් සතාට බලපෑම් ඇති කරවිය හැකියි. විශේෂයෙන් සුනඛයින්ට සාපේක්ෂව බළලුන් නිතර තම සිරුර ලෙව කා පිරිසිදු කරගන්නා නිසා සුනඛයන් සඳහා නිර්දේශිත විෂ සහිත ආලේපන බළලුන් ගේ සිරුරෙහි ආලේප කළ විට  ඔවුන් ඒවා ලෙව කෑමෙන් එම විෂ ශරීර අභ්‍යන්තරයට පිවිසෙන්නට වැඩි හැකියාවක් තිබෙනවා
       පරපෝෂිත උවදුරු  සහ චර්ම රෝග තත්ත්වයන් ඉතා සරල හා සුලබ වුවද ඒ සඳහා හිතුමතේ සිදු කරන ප්‍රතිකර්ම නිසා නොසිතන ආකාරයේ බරපතළ තත්ත්වයන් පවා  උද්ගත වීමට හැකියාව තිබෙන බව අමතක නොකළ යුතුයි.
උපදෙස්
 පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා
සැකසුම – ඉන්දු පෙරේරා
සතුන්ටත් හිමි අපේ ලෝකය