කොතැනක කුමන අන්දමේ කතාවකට ගිය ද, ඒ සෑම විටම එකම දේ පවසන්නෝ ඕනෑතරම් සිටිති. ගමේ ගොඩේ මෙන්ම නගරයේ ද සුලභය. එපමණක් නොව පාර්ලිමේන්තුවේ ද සිටිති. අනෙක ඔවුන්ගේ කතාවල ඇත්තේ හරවත් කාරණාවලට වඩා මිනිසුන්ගේ අවධානය දිනාගැනීමේ අරමුණින්ම ගොඩනගා ගන්නා ලද ඒවාය. මහජනතාව එකවර අන්දමන්ද කරවන කාරණා මේවායේ තිබේ. විටෙක ගණිකා වෘත්තිය නීති ගත කළ යුතු යැයි පවසනු ඇසිය හැකිය. තවත් විටෙක ගංජා අපනයනය කොට විදේශ විනිමය සෙවීම ගැන කතා කරනු ඇසෙයි. තවත් විටෙක යම් යම් අයට චෝදනා එල්ල කෙරෙයි. කෙසේ නමුත් මේ කාරණා පිළිබඳ විමසිලිමත්ව බැලුවහොත් පෙනෙන්නේ සිය පෞද්ගලික න්‍යාය පත්‍ර මත මෙවැනි කතා සිදුකෙරෙන බවය. ඇතැම්විට තමා පසුපස ඇති චෝදනා වසාගන්නට වඩාත් උස්හඬින් අන්‍යයන්ට චෝදනා එල්ල කරනු දැකිය හැකිය. එය තමාගේ ඇසේ ඇති පොල් පරාලය පසෙක තබා අනුන්ගේ ඇසේ ඇති පොල් කෙන්ද දකිනවා වැනි දෙයකි. අවසානයේ මෙවැන්නන් පාර්ලිමේන්තුවටම අප්‍රියජනක තත්ත්වයකට පත් වෙයි. අපේ රටේ පාර්ලිමේන්තුවේ සිටින මෙවැන්නන් අප්‍රියජනක තත්ත්වයකට පත් වුවද පාර්ලිමේන්තුවෙන් පිටුවහල් කෙරෙන්නේ නැත. ලංකාවේ එසේ වුවද වෙනත් රටවල එසේ නොවේ. එයට හොඳම උදාහරණය අසන්නට ලැබෙන්නේ ඉන්දියාවෙනි. අපගේ පාර්ලිමේන්තුව මෙන් ඉන්දියාවේ ඇත්තේ ලෝක් සභාවය. එහි මේ ආකාරයට කියවන්නටත්, චෝදනා නගන්නටත් ඉදිරිපත් වූ මන්ත්රිවරියකට මෑතක දී සිය මන්ත්‍රීධූරය අහිමිව පාර්ලිමේන්තුවට ආයුබෝවන් කියා ගෙදර යන්නට සිදු විය.
ඇය නමින් මහුවා මොයිත්රාය. ඇය ප්රකටව සිටින්නේ ඉන්දීය පාර්ලිමේන්තුවේ ‘ගිනි පුපුර’ ලෙසිනි. ඉන්දීය පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරියක වූ ඇය අල්ලස් මත පදනම්ව ප්‍රශ්න අසමින් අන්‍යයන්ව අපහසුතාවට ලක් කරන බවට චෝදනා එල්ල වී තිබේ. කෙසේ නමුත් ඇය මේ චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඒවා ඔප්පු කිරීමට කිසිදු සාධකයක් නැතැයි ඇය පවසයි. ඇයට මේ සඳහා අධිකරණයේ අභියාචනා කිරීමේ අවස්ථාව තිබේ.
කෙසේ නමුත් පසුගිය 8 වැනි සිකුරාදා පාර්ලිමේන්තුව තුළ ඇයට එරෙහිව සිදු කළ වාචික ඡන්ද විමසීමක ප්‍රතිඵලයක් ලෙස ලෝක් සභාව හෙවත් පහළ මන්ත්‍රී සභාවෙන් ඇයව පහ කරනු ලැබිණි. ඇයව මන්ත්‍රී ධූරයෙන් නෙරපීමේ විවාදය ආරම්භ කරන්නට පෙර යෝජනාව එදින පාර්ලිමේන්තුව ආරම්භයේ දී සභා ගත කරන ලද අතර විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඉල්ලා තිබුණේ දිනක් ඇතුළත එය අධ්‍යයනය කරන්නට කාලය ප්‍රමාණවත් නොවන බවය. නමුත් කතානායකවරයා එයට එකඟ වී නැත.
ඇයට මේ ඉරණම අත්වීමේ ආරම්භය සිදු වූයේ පසුගිය ඔක්තෝබර් මාසයේ දී ය. භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිෂිකන්ට් ඩුබේ, මොයිත්රාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කොට තිබුණි. ඇය දිගින් දිගටම අදානි සමූහ සමාගමට චෝදනා එල්ල කරමින් නිතර පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න නගන බවට එහි සඳහන්ව තිබිණි. අදානි සමාගම යනු ආසියාවේ ධනවත්ම පුද්ගලයකු වූ ගෞතම් අදානිට අයත් සමාගම් සමූහයය. ඒ පැමිණිලේලේ ඇති වැදගත්ම කාරණය වන්නේ ඇය මෙසේ ප්‍රශ්න කරන්නේ දර්ශන් හිරානන්දනී නම් ව්‍යාපාරිකයකුගෙන් මුදල් ලබාගෙන බවය.
අදානි සහ මෝදි අතර ඉතා සමීප මිත්‍රත්වයක් ඇති බවත් එය සිය ව්‍යාපාරික කටයුතු සඳහා අදානි විසින් යොදා ගන්නා බවත් විපක්ෂය දිගින් දිගටම චෝදනා කරන අතර භාරතීය ජනතා පක්ෂය එය ප්‍රතික්ෂේප කරයි.
නිෂිකන්ට් ඩුබේ සිය පැමිණිල්ලේ සඳහන් කොට තිබුණේ මොයිත්‍රා විසින් ලෝක් සභාවේ දී අසන ලද ප්‍රශ්න 61 කින් 50 කින්ම චෝදනා එල්ල කොට තිබුණේ අදානි සමාගම් සමූහය වෙත බවය. ඇය මේ ප්‍රශ්න ඇසීම සඳහා හිරානන්දනී ගෙන් ඉන්දීය රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබාගෙන ඇති බව ද ඩුබේ සඳහන් කරයි. කෙසේ නමුත් මොයිත්‍රා මේ සියල්ල ප්‍රතික්ෂේප කර සිටියි.
විශ්ලේෂකයන් පවසන්නේ මෙය ඉන්දීය පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය තුරන් කිරීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක් වන්නට ද හැකි බවය. 1974 බෙංගාලි බ්රාහ්මීය පවුලක උපන් මොයිත්‍රා ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ දකුණු හැඩ්ලි ප්‍රදේශයේ වූ මවුන්ට් හෝලියොක් සරසවියෙන් ගණිතය සහ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් ද හිමි කර ගෙන තිබේ. නිව්යෝර්ක් හා ලන්ඩන් නගරවල බැංකු ආයෝජනකාරියක ලෙස ව්‍යාපාරික වැඩකටයුතු කළ ඇය ඒ සියල්ලට සමු දී දේශපාලන ගමනක් ඇරඹීම සඳහා ඉන්දියාවට පැමිණි කාන්තාවකි.
ඇය චෝදනා කරන්නේ මෝදිට සහ අදානිට අවශ්‍යව ඇත්තේ තමා දේශපාලනයෙන් ඉවත් කරන්නට බවය. දේශපාලක විචාරකයකු වූ අසිම් අලි, මොයිත්රාගේ නෙරපා හැරීම සම්බන්ධයෙන් පවසා තිබුණේ, “ලිබරල් අදහස් සහ ස්වාධීනත්වය සමග ඔබ පෞද්ගලිකව උස් හඬින් කතා කරන්නට ඉදිරිපත් වන්නේ නම් ඔබට උන්හිටි තැන් අහිමි වනු ඇත” කියාය.
මේ සම්බන්ධව කවුරුන් නිවැරදිද, කවුරුන් නිර්දෝෂදැයි පැවසීමේ හැකියාවක් අපට නැත. කෙසේ නමුත් දේශපාලනය තුළ සාන්තුවරයන් නම් කෙසේවත් නොමැති බව ඉතිහාසය වෙත කෙරෙන සුළු විපරමකින් වුව ද පසක් කර ගත හැකි කාරණයකි. එසේ හෙයින් අදානි සහ මොයිත්‍රා යන දෙදෙනාගේම කිල්ලෝටවල හුණු නැතැයි පැවසිය නොහැකිය. අපේ පාර්ලිමේන්තුවේ ද එසේමය. අමුතු අමුතු යෝජනා සහ චෝදනා ඉදිරිපත් කරමින් සිටින බොහෝ අයගේ කිල්ලෝටවල හුණු ටොන් ගණනින් තිබේ. ඒවා ජනතාව දන්නා බවත් ඔවුහු දනිති. නමුත් ඔවුහු උස් හඬින් කතා කරති. ජනතාව කළ යුත්තේ නිසි කල පැමිණි විට නිහඬව ගොස් සිය කතිරයෙන් ඔවුන්ට පිළිතුර දීම පමණි.
නිරංජන් චාමින්ද කරුණාතිලක