දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් මස 31 වෙනිදා දින අළුයම 4.00න් පසුව ඉවත් කොට රට විවෘත කිරීමට තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි.නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බව ජනාධිපති වරයා කියා සිටියේ අද(29) පෙරවරුවේ රැස්වූ කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදීය.කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බරපතළ ලෙස අඩාල වී ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර සියලු පාසල්වල අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ මේ වන විට ලබාදී තිබෙන බවද මෙහිදී අනාවරණය කෙරිණ.