රටේ ආර්ථිකය තවම දැඩි සත්කාර ඒකකයේ – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

මෙරට ආර්ථිකය නමැති රෝගියා තවමත් සිටින්නේ දැඩි සත්කාර ඒකකයේ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.ඉන්දියාව මෙරට මිත්‍රයකු බවත්,මෙරට ඕන දෙයකට ඉන්දියාව සිටින බවද ඔහු පවසන ලදි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් රචිත “ශ්‍රී ලංකා ආර්ථිකයේ පංචායුධය’’නමැති කෘතිය එළිදැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජගිරියේ පිහිටි “බැංකු විදු පියසේ’’ පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඔහු මේ බව පවසන ලදි.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,

මොකක්ද අපි මේ ආර්ථිකයට කරලා තියෙන්නේ. ඔක්සිජන් දුන්නු ඒ රෝගියාගේ වයර් ගලවලා,ඔක්සිජන් දෙන එක නතර කරලා දැන් ඉන්නේ දැඩි සත්කාර ඒකකයේ. එතැන ඉද්දීත් බලන්න ඕනේ කොහොමද අපේ ආර්ථිකයේ හෘදය ක්‍රියාත්මක වන්නේ කියලා. ස්ථාවරභාවය ඇතිවී තිබුණත් රෝගියාට තවම හිටගන්න බෑ. රෝගියා නැගිට්ටුවන එක මේ ආණ්ඩුවේ වගකීමක්. ඒක හරියට කළ යුතුයි. අඩු ගානේ දැඩි සත්කාර ඒකකයෙන් කාමරයකට යන්න රෝගියා සනීප වෙන්න ඕනේ. කාමරේට දැම්මාට පස්සේ තමයි හොඳට කාලා බීලා,මහත්වෙලා පිටවෙලා යන්න පුළුවන් වෙන්නේ.

මේ රටේ දියුණුවක් ඇති කරන්න නම්,ඒක පුද්ගල ආදායම වැඩි කරන්න නම් ආර්ථිකයේ වර්ධනයක් තිබිය යුතුයි. ආර්ථිකය වර්ධනය කරන්න නම් අපිට ප්‍රාග්ධන මුදල් තිබිය යුතුයි. තාක්ෂණ තිබිය යුතුයි. අපිට ප්‍රාග්ධන මුදල්,තාක්ෂණය නෑ. එහෙනම් ඒවා පිටින් ගත යුතුයි. චීනයත් පිටින් ගන්නවා. ඉන්දියාවත්,වියට්නාමයත් පිටින් ගත්තා. ආයෝජකයන්ට අපි විශ්වාසය දෙන්න ඕනේ. ආයෝජකයන්ගේ ඒ විශ්වාසය කඩන එක හරිද.

මම රට ගිය වෙලාවේ සමහරු අහනවා දැන් ඉන්දියාවට විරුද්ධද කියලා. ඒ මතය දෙන්න හොඳ නෑ. අපේ අල්ලපු රට චීනයවත්, ජපානයවත්, ඇමරිකාවවත් නොවෙයි. ඉන්දියාවයි. අද ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදනය ට්‍රිලියන තුන හමාරයි. 2050 වෙද්දී එය නම ගුණයකින් වැඩි වෙනවා. මේකේ එල්ලිලා යනවා නම් අපිට බැරිද 2060 වෙද්දීවත් ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් ඇතිකරන්න. රුසියාවේ එල්ලෙන්නද,ඇමරිකාවේ එල්ලෙන්නද. ඒ කවුරුවත් අපි ළඟ නෑනේ. ඉන්දියාව සමග එකතුවෙලා ගිහින් ඉන්දුනීසියාව ඇතුළු අනෙක් රටවල් සමග ගනුදෙනු කරලා අපි දියුණු වෙන්න ඕනේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන අදහස් දක්වමින්,

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය ගිවිසුමක් ඇති කරගෙන අදත් හුස්ම ගැනීම සිදුවන්නේ වසර 2028 දක්වා විදේශ ණය නොගෙවා සිටීමට ඇති කරගත් ගිවිසුමට පිංසිදු වන්නටයි.

ලංකා ඉතිහාසයේ නිදහසින් පසු මෙරට ආර්ථිකය දෙවරක් ආපස්සට ගියා. මුල් වරට ආර්ථිකය ආපස්සට ගියේ 2001 වසරේදීයි. ඉතා දරුණු ලෙස ඉතිහාසයේ නොවූ විරූ පරිදි 2022 වසරේදී ආර්ථිකය කඩා වැටීමට ලක්වූවා. අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්වීමෙන් පසු වෙන කිසිම නායකයකුට සිදුකළ නොහැකි කැපවීමක් ඔහු සිදු කළා. එදා ඉන්දියාව ඩොලර් මිලියන හතරකට ආසන්න මුදලක් ලබා දුන්නේ නැත්නම් අපිට තෙල්,ඖෂධ,ආහාර,පොහොර,රසායනික ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකි වෙනවා.

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ අධ්‍යක්ෂ සම්මානිත මහාචාර්ය සිරිමල් අබේරත්න,

මෙරට ජනතාවගෙන් භාගයකට ආසන්න සංඛ්‍යාවක් දරිද්‍රතා රේඛාවෙන් පහළ සීමාවේ සිටින්නේ. එම ඉලක්කමෙන් කියවෙන්නේ අපි ආර්ථික අර්බුදයෙන් පහළට වැටී සිටින බවයි.

ලංකාව පසුගිය වසර 25 තුළ විවෘත ආර්ථිකයෙන් බැහැර වූ රටක්. මෙරට විවෘත ආර්ථිකය විකෘති වීම යළි සකස් කරන්න වන්නේ ඍජු බදු වැඩි කිරීම මගින්. නමුත්,පසුගිය අයවැය තුළින්ද පෙන්නුම් කෙරෙන්නේ සමස්ත බදු ආදායමෙන් ඍජු බදු වශයෙන් ගන්නේ සියයට 25 ක් බවයි.

කාලීන පුවත්