74 වන නිදහස් සමරුව අද

අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් යන තේමාව යටතේ 74 වන නිදහස් සමරුව අද(04) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද පැවැත්වෙයි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව ජාතියේ අභිමානය හා ශ්‍රී විභූතිය විදහා දැක්වෙන අන්දමින් උත්සවය සංවිධාන කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයායි.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා, මැති ඇමතිවරු. ඇතුලු ආරාධිතයෝ රැසක් උත්සවයට සහභාගී වෙති. මෙරට සිටින විදේශීය තානාපතිවරු ද නිදහස් සමරු උත්සවයට ඇරයුම් ලැබ සිටිති.

පෙරවරු 8.30 ට සිදුවන ඔහුගේ සම්ප්‍රාප්තිය සමග උත්සවය මේ වන විට ඇරඹී තිබේ.. නිදහස දිනා ගැනීම සදහා ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ විරුවන් සිහි කිරීම සදහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වෙන අතර.

ජනාධිපති වරයා ජාතිය අමතන්නේ ඉන් අනතුරුවයි. ත්‍රිවිධ හමුදාව ජනාධිපති වරයා වෙනුවෙන් සම්මාන මුර පෙලපාලියක් පවත්වයි. ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, ජාතික ශිෂ්‍යභට බලකාය මෙන්ම සංස්කෘතික කණ්ඩායම් ඉදිරිපත් කරන ආචාර පෙලපාලිය හා සන්නද්ධ රථ පෙලපාලිය පැවැත්වෙන්නේ ඉන් අනතුරුවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ගජබාහු නෞකාව කොළඹ ගාලුමුවදොරදී සිය සම්ප්‍රදායුනකුල ආචාර වෙඩිමුර 25 පවත්වා මව් බිමට සිය ආචාර පිරිනමනු ඇත. ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන් ගුවන් යානා 26 ක් නිදහස් සමරුවට එක්වෙයි.

මෙවර නිදහස් සමරු උත්සවයට ආරක්‍ෂක හමුදා සාමාජිකයන් 6500 කට වැඩි පිරිසක් සහභාගී වන බව ආරක්‍ෂක ලේකම් ජනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ සමස්ත ජනතාවගේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ අභිමානය විදහා දැක්වෙන අන්දමින් නිදහස් සමරු උත්සවය සංවිධාන කර ඇති බවයි.

ලබන වසරේ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සමරුව ඉලක්ක කර රටපුරා පැල ලක්‍ෂ 75 ක් රෝපණය කිරීමේ වැඩසටහනක් ද අද ඇරඹෙයි.

කාලීන පුවත්