මෙම සටහන තබන්නේ දැනට සති ගණනාවක් පුරා අප දිවයිනේ ප්‍රදේශ ගණනාවක ජනයා සිය දහස් ගණනින් එක්රැස්වී කරගෙන යන ආණ්ඩු විරෝධී රැස්වීම්, පෙළපාලි රැලි සහ උද්ඝෝෂණ වලට විරෝධය පෑමට නම් නොවේ.සියල්ලටම පෙර එය පැවසිය යුතුම ය.එම ජන රැස්වීම් පෙළපාලි රැලි සහ උද්ඝෝෂණ වැඩිපුර පැවැත්වෙනුයේ සවස් සහ සන්ධ්‍යා හෝරාවල එළිමහන් පරිශ්‍රයන් වල වන අතර ගාලු මුවදොර අඛණ්ඩ තරුණ උද්ඝෝෂණය දවස පුරාම සිදුකෙරේ.මේ බොහොමයක් එළිමහන් ජනතා ඒකරාශී වීම් බව ද පැහැදිලි ය.
අප්‍රේල් මස මුල් සතියේ පමණ සිට මැයි මස දෙවන සතිය පමණ දක්වා අප දිවයිනේ ප්‍රථම අන්තර් මෝසම් කාලගුණ තත්වය බලපාන අතර මෙ සමයේ සාමාන්‍ය කාලගුණ රටාව වනුයේ විශේෂයෙන් සවස් සහ සන්ධ්‍යා කාලයේ අකුණු සහ ගිගුරුම් සහිත වැසි ඇතිවීමයි. ඊට අමතරව අකුණු සමඟම ප්‍රචණ්ඩ සුළං සහිත ටෝනේඩෝ පද්ධති වර්ධනය වීමේ සම්භාවිතාව ද වැඩි ය. මෙම කාලයේම දිවයින අසල වර්ධනය වන කැළඹීම් නිසා උදය කාලයේ වුව ද අයහපත් කාලගුණ තත්වයන් වර්ධනය වීමේ අවකාශ ඇත.
මේ නිසා අකුණු පහර වලින් මෙන්ම ප්‍රචණ්ඩ සුළං හමුවේ සිදුවිය හැකි ආපදා පිළිබඳව අප සැමගේම අවධානය යොමු විය යුතු ය.ඇම්පියර් දෙලක්ෂය දක්වා වන විදුලි ධාරා සහිත විය හැකි අකුණු පහර නිසා මෙන්ම දැඩි සුළංවල බලපෑමෙන් සිදුවන ජීවිත සහ දේපල හානි අවම කිරීම සඳහා මෙම කාලයේ සවස් සහ සන්ධ්‍යා හෝරා වල එළිමහනේ නොසිට ආවරණය වූ ස්ථානයක සිටිය යුතු බවට කාලගුණ අංශ විසින් නිරතුරුවම ජනතාව දැනුවත් කෙරෙයි.
අත්‍යාවශ්‍ය හේතු සඳහා එළිමහනේ සිටී නම් ලෝහමය උපකරණ පරිහරණය අවම කළ යුතු බව ද එම අනතුරු ඇඟවීම්වල සඳහන් වේ.මෙවන් තත්වයන් යටතේ වැසි සහිත හෝ අහස අඳුරු වලාකුලින් බර කවර අවස්ථාවක හෝ එළිමහන් ස්ථාන වල ජනතා ඒකරාශීත්වයන් වලදී අකුණු අනතුරු ඇති වීමේ වැඩි සම්භාවිතාව පිළිබඳව අප ඉතා සැළකිලිමත් විය යුතු ය. මේ සඳහා වන ආසන්නතම නිදසුනක් නම් පසුගිය මාර්තු 26 වන දා මාවනැල්ල,බැමිණිවත්ත සුසාන භූමියේ සිටි පිරිසකට එල්ල වූ අකුණු ප්‍රහාරයයි.ඉන් කුඩා දරුවන් ද ඇතුළු විසි පස් දෙනකු රෝහල් ගත කරන ලදී.ඔවුන් එම අකුණු අනතුරට ලක් වී ඇත්තේ එම සොහොන් බිමේ පොල් ගසක් වෙතට ඇදී ආ සෘජු අකුණක පාර්ශවීය බලපැමෙනි.එම පාර්ශවීය බලපෑම් බොහෝ විට ඇම්පියර් 60-70 විදුලි ධාරාවන්ට සීමා වීම නිසා මරණීය අනතුරක් සිදු වී නැත.
එහෙත්,එසේ ජනතා ඒකරාශීත්වයක් පවතින එළිමහන් ස්ථානයක් වෙත ඇම්පියර් දෙලක්ෂය දක්වා වන විදුලි ධාරා සහිත විය හැකි සෘජු අකුණක් පතිත වුවහොත් ඉන් එහි පවතින ජන ඝනත්වය අනුව සැළකිය යුතු මරණ සංඛ්‍යාවක් සිදු වීමේ පැහැදිලි සම්භාවිතාවක් තිබේ.එමෙන්ම මෙවන් එළිමහන් පරිශ්‍ර ආශ්‍රිත ගොඩනැඟිලි මත සවි කොට ඇති අකුණු සන්නායක මඟින් සෘජු ආරක්ෂාවක් නොසැලසෙනුයේ ඒවායේ ආරක්ෂාව එම අකුණු සන්නායකයේ සිට අංශක 45 ක කෝණයක් තුළට පමණක් සීමා වන බැවිනි. මෙවන් තත්වයන් යටතේ අප දිවයිනේ ප්‍රථම අන්තර් මෝසම් කාලගුණ තත්වය බලපාන කාල සීමාව තුළ රැස්වීම්වල පෙළපාලි රැලි සහ උද්ඝෝෂණ නොපැවැත්විය යුතුයැයි මම නොකියමි.
සාමාන්‍යයෙන් මෙම අකුණු අනතුරු පස්වරු 1.00 සහ පස්වරු 10.00 අතර ඇතිවීමේ අවදානමක් පවතින අතර පස්වරු 4.00-6.00 අතර කාලසීමාව දැඩි අවදානමකින් යුතු ය.ඒ අනුව එම උද්ඝෝෂකයන් කළ යුත්තේ ඒ මොහොතේ බලපවත්නා කාලගුණික තත්වයන් සැළකිල්ලට ගෙන එම අවදානම් අවස්ථා පිටු දැකීම පමණි. පුද්ගලයන් අකුණු ප්‍රහාරයන්ට ලක් වීම මුළුමනින් භෞතික සිද්ධාන්ත මත පදනම් වන්නකි.
නමුත්,අප සමාජයේ ජන සම්මත ප්‍රබල මිථ්‍යාවකට අනුව එම අකුණු ප්‍රහාර වලට ලක් වීම පව්කාර පුද්ගලයන් කෙරෙහි එල්ල වන ගුප්ත විනාශකාරී බලපෑමකි.නමුදු එසේ “හෙණ වැදිය යුතුයැ”යි ජනතාව පවසන කවර හෝ පාපතරයකු අකුණු සන්නායක පද්ධතියක ආරක්ෂාව යටතේ සිටීමෙන් ඒ තැනැත්තා හෙණ වලින් ආරක්ෂා වීම පිළිබඳ ගැමි අර්ථ කථනයක් නැත.එමෙන්ම මගේ රාජකාරී කාලය තුළ අකුණු අනතුරු සම්බන්ධ ස්ථානීය ගවේෂණයන් සිය ගණනක් සිදු කළ මට එමඟින් අනියමින් අනාවරණය කර ගත හැකි කරුණක් වූයේ ඒ අකුණු අනතුරු වලින් මියගියවුන්ගෙන් වැඩිම දෙනකු යහපත් සත් පුරුෂයන් බව ය.ඔවුන් එම අකුණු අනතුරු වලට ලක් වී ඇත්තේ යහපත් අයහපත් කම මුල් කොට නොව ඒ සඳහා වන අවදානම් කාලසීමා තුළ අවදානම් ස්ථාන වල ලෝහ භාවිතය වැනි අවදානම් සහගත කටයුතු වල යෙදී සිටීම නිසා ය.
එසේ වුවත් මෙම ජනතා හඬ නැඟීම් වලට එරෙහි විවිධ බලවේග යටතේ ක්‍රියාත්මක වන සමහරු මෙම උද්ඝෝෂකයන් එවන් ආපදාවකට මුහුණ දුන හොත් එය ඔවුන් ආණ්ඩුවට එරෙහි වීම නිසා ඇති වූ දේව කෝපයක් නිසා සිදු වූ ලෙස විග්‍රහ කිරීමක් වීමට ද අවකාශ ඇත.ඒ අනුව සවස් සහ සන්ධ්‍යා හෝරාවල බලපාන අකුණු පහරවල් සහ ප්‍රචණ්ඩ සුළං හේතුවෙන් තමන්ට යම්කිසි ආපදාවක් සිදුවුවහොත් එය වර්තමාන ජනමතය නිශේධ කරන රටටම බලපාන අභ්‍යාග්‍යයක් බවට පරිවර්තනය වීමේ යම් හැකියාවක් පවතින බව ද උද්ඝෝෂකයන් සිහියේ තබා ගත යුතුය.
හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ,ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ.ආර් අභයසිංහ