අපේ රටේ මුල්ම තේ වත්තට යමු

වතුර හැරුණම අපි ඊළඟට වැඩිපුරම පානය කරන්නේ තේ.
අපේ රටේ මුලින්ම තේ වගාව ආරම්භ කළේ ඉංග්‍රීසි ජාතික ජේම්ස් ටේලර්. ඒ 1867 වසරේ ලූල් කඳුර වතුයායේයි. මේ ගැන බොහෝ දෙනෙක් අසා ඇතිවාට සැක නැති මුත් ලූල්කඳුර වතුයාය ගැන ඊට වඩා වැඩි යමක් ඔවුන් නොදන්නවාට සැකයක් නෑ.

වර්ෂ 1835 මාර්තු 02දා ස්කොට්ලන්තයේ දී උපත ලද ජේම්ස් ටේලර් අප රටට එන විට මෙරට කෝපි වගාව ඉතා හොඳින් ව්‍යාප්තව පැවති යුගයයි. නමුත් ඒ කාලයේදීම රටපුරා පැතිර ගිය කෝපි කොළ රෝගය හේතුවෙන් කෝපි වගාවට නරක දසාවක් එළඹුනා. ඒ සඳහා විකල්පයක් හඳුන්වා දෙන්නට සිතූ ජේම්ස් ටේලර් ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තයෙන් ගෙන්වූ තේ ඇට යොදා අක්කර 19 ක භූමි ප්‍රදේශයක් පුරා අපේ රටේ මුල්ම තේ වගාව ආරම්භ කරනවා. ඒ 1867 වසරේදී යි.

ලූල්කඳුර වතුයාය අපේ රටේ මුල්ම තේ වත්ත වුණේ ඒ විදිහට.
මහනුවර නගරයේ සිට පේරාදෙණිය සරසවි බිම හරහා වැටී ඇති ගලහ පාර ඔස්සේ දෙල්තොටට පැමිණෙන ඔබට දෙල්තොට නගර මධ්‍යයේ දකුණු පැත්තට තිබෙන ලූල්කඳුර වතුයායට යන මාර්ගය සඳහන් නාම පුවරුව දැකගන්නට ලැබේවි. මේ තමයි ලූල්කඳුර වතුයාය පිහිටා තිබෙන මාර්ගය.

ප්‍රවේශ පත්‍රයක් රැගෙන මෙම වතු යායට ඇතුළු වූ පසු තේ වත්ත ඔබට නැරඹීමට පුළුවන්. තේ වගාව අත්හදා බැලීම සඳහා මුලින්ම තේ වගාව ආරම්භ කළ කොටස අදටත් එහි සංචාරකයන්ට දැක බලා ගැනීම සඳහා වෙනමම කොටසක් ලෙස සංරක්ෂණය කරනු ලබනවා.
තේ වත්ත මැදින් ඇති පාරේ කිලෝමීටර් තුනක් පමණ ඉදිරියට යන විට එම මාර්ගය අවසන් වෙනවා. එතනින් දකුණු පැත්තේ තිබෙන්නේ ජේම්ස් ටේලර්ගේ ගල් ආසනයයි. මෙහි ඇති විශේෂත්වය නම් එතැන වාඩි වූ විට සමස්ත වතු යායම පැහැදිලිව දැකගත හැකි වීමයි. එතැනින් වම් පසට ඇති අතුරු මාර්ගයේ තමයි ජේම්ස් ටේලර්ගේ බංගලාව පිහිටා තිබුණේ. එය වතුයායේ එක් කෙළවරක්. අද වන විට එම සුවිසල් බංගලාව පැවති ස්ථානය වෙන් කර හඳුනා ගැනීම සඳහා සලකුණු කර තිබුණත් බංගලාවේ නටබුන් ලෙස දක්නට තිබෙන්නේ එහි දුම් කවුළුව පමණයි.

බංගලාව පිහිටි ස්ථානයේ සිට පිටුපසින් තිබෙන්නේ මහ වනය. ඉහළින් කොණ්ඩගල කඳුවැටිය. ජේම්ස් ටේලර්ගේ නාන ළිඳ මේ වන විට කුඩා පොකුණක් ලෙස පවතිනවා. මේ අවට වතු නිවාස හා ජනාවාස කිසිවක් නෑ.

වතුයායේ තේ වගාව සහිත කොටස නිමා වන තැන, වන පියසේ ආරම්භයයි. එම ස්ථානයේ කුඩා අඩි අඩිපාරක් තිබෙනවා. එම අඩිපාරේ ගොස් ඉන්පසු වමට හැරී ඉහළට මීටර් තුන්සියයක් පමණ ගිය විට තියුණු නැග්මකින් යුතු ගුහාවක් වැනි ස්ථානයකටයි පිවිසෙන්නේ. එතැනින් කොණ්ඩගල කඳු මුදුනට යා හැකියි. මෙම කන්ද මීටර් එක්දාස් හාරසීයක පමණ උසකින් යුතුයි.

කඳු මුදුනේ සමහර ස්ථාන ඉතා අවදානම්. එනිසා මෙහි සංචාරය කරන විට එම අවදානම පිළිබඳ දැඩි අවධානයකින් සිටීම වැදගත්. කඳුමුදුනට හන්තාන, කුකුලාගල, මහතුඩුගල, පිදුරුතලාගල, අම්බුළුවැව, බතලේගල, මොණර කන්ද,
රජගල සහ ඉතාමත් ඈතින් නකල්ස් රක්ෂිතයේ ඇති කඳු ශිඛර පවා දැකගන්නට පුළුවන්.

ඉන්දු පෙරේරා

හරිත දනව්ව