දස දහසක් වැටුප් වැඩි කොටත් දිනා ගත නොහැකි වූ රාජ්‍ය සේවක “හොඳ හිත” දිනා ගන්නට ප්‍රතිපාදන කැපීමෙන් රනිල්ට හැකිවේද?

රටේ ආර්ථිකය ඉතා නරකම අඩියක පවතින බව කී අගමැති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම වෙනුවෙන් රුපියල් ට්‍රිලියනයක් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට සිදුවන බව කීය. තමන්ගේ ප්‍රතිපත්තිය රුපියල් මුද්‍රණය කිරීම නොවන බව කියමින්ම ඔහු කීයේ රටේ රුපියල් පවා නොමැති නිසා කෙටි කාලීන වශයෙන් අන් කළ හැකි යමක් නොමැති බවකි..

සෞඛ්‍ය හා අධ්‍යාපනය හැරුණු කොට අනෙක් සියළු ආයතනවලට විවිධ ප්‍රතිපාදන වෙනුවෙන් වෙන් කර ඇති මුදල් අඩු කරන බවත් එම සංවර්ධන වියදම් සියල්ල ජනතාවගේ මූලික අවශ්‍යතා පත පදනම් වූ සහන සැලසීම වෙනුවෙන් වැය කරන බවත් ඔහු කියා සිටියේය. එම කාරණා වෙනුවෙන් තමන් නව සහන අය වැයක් ඉදිරි දින කිහිපය තුළ ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කර සිටියේය. ජනතාවට සහන සලසන්නේ කෙසේද? එම ක්‍රමය කුමක්දැයි ඔහු හෙළිදරව් කර නැත.

මේ අතර මාධ්‍ය වාර්තා කර සිටියේ අගමැතිගේ සහන අය වැයෙන් රජයේ සේවක වැටුප් ඉහළ දැමීමට කටයුතු කරන බව ය. රාජ්‍ය සේවක වැටුප් ගෙවීම පවා මේ වන විට රජයට බරක්ව පවතින කාලයක රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම තවත් ගැටළුවක් කර මත පටවා ගැනීමක් බව ආර්ථික විශේෂඥයෝ පවසති.

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව අතර ඇත්තේ ප්‍රසාදයක් නොවේ. රාජ්‍ය සේවයෙන් ජනතාවට සෙතක් නොවන බවට ජනතාව තුළ විශ්වාසයක් ඇති කර ඇත්තේම රාජ්‍ය සේවකයන් විසින්ම ය. රාජ්‍ය ආයතනයට වැඩක් කර ගන්නට ගිය විට එය පහසුවෙන් කර ගත නොහැකි අතර ඒ වෙනුවෙන් දින ගණන් රස්තියාදු වීමට සිදුවේ. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නොමැති තත්ත්වයක ඔවුන්ගේ වැටුප් ඉහළ දැමීමට කටයුතු කිරීම ජනතා අප්‍රසාදය තවත් ඉහළ දැමීමකි.සාමාන්‍ය ජනතාව මේ තත්වය වඩාත් හොඳින් අත්දකිනුයේ වර්තමානයේ පෞද්ගලික ව්‍යවසායකත්වය සමඟ ද කටයුතු කිරීමට ඔවුනට සිදුවන බැවිනි.ඒවායේ ඇති කාර්යක්ෂමතාව කාර්ය මණ්ඩල ආචාරශීලීත්වය රාජ්‍ය ආයතන වල නැත්තටම නැති බවක් ඔවුහු කියති.,

2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවීය සංතෘප්තිමත් රාජ්‍ය සේවයක් තුළින් වැඩි ශ්‍රම ඵලදාවක් ඔහුගේ අපේක්ෂාව විය.නමුත් ඉන් සාර්ථක ප්‍රතිඵල ගෙන දුන් වැඩ පිළිවෙලක් බව පෙනුණේම නැත.නමුත්, එය ආර්ථිකය කඩා වැටීමට එක් හේතුවක් බව ආර්ථික විශේෂඥයෝ පවසති. ලෝකයේ බොහෝ රටවල් රාජ්‍ය වියදම් කප්පාදු කරමින් පෞද්ගලික අංශය වෙත නැඹුරු වෙමින් සිටියි. එවැනි කාල වකවානුවක රාජ්‍ය බර ඉහළ නංවා ගැනීම රජයේ ආර්ථික ස්ථාවරත්වයට ගැටළුවක් බව ආර්ථික විශේෂඥ මතය වේ.

වැටුප් ඉහළ දැමීමේ පුවතට රාජ්‍ය සේවකයන් කැමති වුවත් රටේ සමස්ත ජනතාව කෙසේ වත් කැමැති නැත. රාජ්‍ය සේවකයන්ට වැටුප් ඉහළ දැමීම යනු විශ්‍රාම වැටුප ඉහළ යාමට ද හේතුවේ. ලෝකයේ රටවල් වැඩි ගණනක විශ්‍රාම වැටුප් ක්‍රමයක් නැත. එහි ඇත්තේ රක්ෂණ ක්‍රමවේදයකි. බොහෝ රට වල වැඩිහිටියන් වෙනුවෙන් මෙන්ම සමස්ත රට වැසියන් වෙනුවෙන් ද රක්ෂණ ක්‍රමවේද හදුන්වා දී තිබේ.
එවැනි වටපිටාවක ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට සුදානම් වන බවට පුවත් පළ වූයේ මන්දැයි තවමත් ගැටළුවකි. මේ අතර අගමැති මාධ්‍ය ඒකකය කියා සිටියේ රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමකට සුදානමක් නැති බවය. එම පුවත අසත්‍ය බවද ඔවුහු කියා සිටිති. එහෙත් ජනතාවට අවශ්‍ය ඛණිජ තෙල් ගෑස් යන ඉන්ධන පවා සපයා දිය නොහැකි තත්වයක් යටතේ ජනතාවට සහන දෙන අය වැයක් ඉදිරිපත් කරන බව අගමැති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඉදිරියේදි ආහාර හිඟයක් සම්බන්ධයෙන් ද ප්‍රබල කතා බහක් පවතියි. රටේ සහල් තොග ලබන සැප්තැම්බර් වන විට අවසන් වන බව කෘෂි විශේෂඥයෝ කියා සිටිති. ඒ වෙනුවෙන් ඉකුත් රජය කිසිදු සුදානමක නොසිටි බවත් තමන් ඉදිරිපත් කළ සැලසුම් කුණු කූඩයට දැමූ බවත් කෘෂිකර්ම විශේෂඥයෙකු වන මහාචාර්ය බුද්ධි මාරඹේ කීය.මෙවර යල කන්නයේ වගා කටයුතු ඇරඹී ඇතත් ඒ සඳහා අවශ්‍ය පොහොර සහ පළිබෝධ නාශක ලැබීම ගැන තවමත් ගොවි ජනතාව තුළ විශ්වාසයක් නැත. මුදල් මුද්‍රණය කිරීම මඟින් උද්ධමනය තවත් ඉහළ යනු ඇත. රජය ඒ ගැන ද අවධානය යොමු කළ යුතුව තිබේ.

ඉන්දියාව හා ජපානය එක්ව ශ්‍රී ලංකාවට සහන සැලසීමට වැඩපිළිවෙලක් සකස් කිරීමට ගත් තීරණය මෙරට ආර්ථික අපහසුතාවය මඟ හරවා ගැනීමට මහත් පිටුවහලක් වනු ඇත.එතෙක් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය නිසි ලෙස කළ යුතුව ඇත. ණය ගැනීමේ වරදක් නැති නමුත් ගන්නා ණය නිසි ලෙස කළමනාකරණය කරගත නොහැකි වුවහොත් එය රටක් කඩා වැටීමට මූලික හේතුවක් බව ශ්‍රී ලංකාව ලෝකයට හොඳම උදාහරණයකි.ඒ බව ජාත්‍යන්තරය පවා පිළිගෙන තිබේ.අප රටේ පාලන යාන්ත්‍රණය විධායකය,ව්‍යවස්ථාදායකය අධිකරණය යන පාද තුනේ කනප්පුව මත රඳා පවතින බව පොදු පිළිගැනීමය.

එහෙත් ඊට අමතරව අප රටේ රාජ්‍ය නිලධාරීන්ට සහ ව්‍යාපාරික පැලැන්තියට අප රට සම්බන්ධයෙන් ඇති නොනිල තීරක බලය සුළුපටු නොවේ.එහෙත්,2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවීමෙන් පසුවත් රාජ්‍ය සේවක ප්‍රසාදය දිනා ගත නොහැකි වූ අගමැති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය හා අධ්‍යාපනය හැරුණු කොට අනෙක් සියළු ආයතනවලට විවිධ ප්‍රතිපාදන වෙනුවෙන් වෙන් කර ඇති මුදල් අඩු කිරීම තුළින් රාජ්‍ය නිලධාරී පැලැන්තියේ දැඩි අප්‍රසාදයට ලක් වනු ඇත.මක් නිසාද යත් ඒ මූල්‍ය ප්‍රතිපාදන කළමණාකරණය රාජ්‍ය නිලධාරී පැලැන්තියට සුවිසල් වරප්‍රසාද සහ අතිශය වාසිගෙන දෙන්නක් බැවිනි.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර