ලබන ජූනි මාසය සඳහා අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 554 ක් අවශ්‍ය වන අතර එම මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් ඇමති කංචන විජේසේකර මහතා අද(30) පෙරවරුවේ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුවී සාකච්ඡා කොට තිබේ. ඉන්දීය ණය ආධාර පහසුකම යටතේ ලැබී ඇති ඩොලර් මිලියන 100 ක් ඒ සඳහා යොදා ගත හැකි බව පවසන ඇමතිවරයා තවත් ඩොලර් මිලියන 500 ක ඉන්දීය ණය ආධාරයක් ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ද සඳහන් කරයි.දැනට පවත්නා ඉන්ධන හිඟය මුල් කොට රටේ සාමාන්‍ය ජන ජීවිතය බෙහෙවින් අඩාල වී ඇති අතර එය රටේ ඉදිරි පැවැත්ම සම්බන්ධයෙන් ආකාර කිහිපයකින්ම දැඩි අහිතකර තත්වයන් ඇති කරවන බව මේ වන විට විද්වත්හු පෙන්වා දී තිබේ.