ඔසු හිඟය හා නොදන්නා වෙදකම් ගැන කතා කළ දොස්තරලා නිසා රෝගීහු මරු කටට

සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අංශය තුළ නිරන්තරයෙන් තිබිය යුතු ඖෂධ වර්ග 1258 න් වැඩි කොටසක හිඟයක් පවතින බව වාර්තා වී තිබේ. ඒවා අතර හෘද ,පිළිකා සහ වකුගඩු රෝගීන් සඳහා අවශ්‍යම ඖෂධ කිහිපයක් ද වන බව අනාවරණය වෙයි. ඒ හැරුණු කොට ළමා රෝග සඳහා අතිශයින් වැදගත් වන ඖෂධ කිහිපයක් ද රට තුළ නොමැති තත්වයක් තුළ වැඩිහිටියන් ගේ සේම හයක් හතරක් නොදත් කුඩා දරුවන් ගේ ජීවිත ද මරු වසඟයට යාමේ පැහැදිලි අවදානමක් පැන නැගී තිබේ.

මේ ඛේදනීය තත්වය හමුවේ මෙරට බොහෝ දෙනකු තමන් ගේ රෝග සුව කර ගැනීම සම්බන්ධ විකල්ප වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීමේ ස්වභාවික නැඹුරුවක් පවතී. ඉන් කොටසක් විකල්ප වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි වැඩි විශ්වාසයක් නොමැති වුව ද වෙන කරන්නට දෙයක් ඇත්තේම නැති නිසා ඒ වෙතට යොමු වන්නෝ වෙති. සෙසු පිරිස ඇලෝපති හෙවත් බටහිර වෛද්‍ය ප්‍රතිකාර අබිබවන ලොව මවිත කරවන විස්මිත ගුණ දෙන දේශීය වෛද්‍ය ප්‍රතිකාර තිබේය යන අන්ධ විශ්වාසය මුල් කොට ඒ වෙත යොමු වන බව පෙනේ.

wedakama

විශේෂයෙන් ගත වූ කාලය පුරා “දේශීයත්වය” යන සංකල්පය නිසි සේම නොනිසි ලෙස පමණ ඉක්මවා සමාජ ගත වී තිබීම නිසා අප සමාජයේ ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ශාස්ත්‍රය වශයෙන් හඳුන්වන වෛද්‍ය ක්‍රම ඉක්මවා ගිය අමුතුම සංකල්පීය දේශීය වෛද්‍ය ක්‍රමයක් පිළිබඳව ජනතා විශ්වාසයක් පැතිරී යනු දක්නා ලදී. නූතන විද්‍ය විද්‍යා තාක්ෂණය මඟින් කළ හැකි රෝග විනිශ්චයන් රෝගියාගේ නාඬි පරීක්ෂාවකින් කළ හැකිය යනාදී උමතු විශ්වාසයන් ද කපටි ජාවාරම් කරුවන් විසින් යූ ටියුබ්,ෆේස්බුක් වැනි අන්තර්ජාල වෙබ් අඩවි මඟින් සමාජ ගත කරන ලදී.ඒ මේ දේශීය වෛද්‍ය ක්‍රම අනාදිමත් කාලයකට ඉහත මෙරට රජකම් කළ බව පැවසෙන රාවණා රජු ලොවට හඳුන්වා දුන් වෛද්‍ය ක්‍රමයක් ලෙස ද ඔවුන් විසින් ජනතාවට හඳුන්වා දීමෙනි. යථාර්ථය ඉක්මවා ගිය මෙම දේශීය ප්‍රතිකාර උන්මාදයේ ක්‍රම ප්‍රාප්තිය වූයේ ඉකුත් කොවිඩ් ගෝලීය වසංගත සමය යි.

එහි දී ‘හෙළ’ යන සන්නාමයෙන් යුතු දේශීයත්වය පිළිබඳ පදනම් විරහිත මතිමතාන්තර හිසෙහි දරා සිටි එවක දේශපාලන ධාරාවේ ප්‍රධාන භූමිකාවන් හෙබ වූ චන්න ජයසුමන අනුරුද්ධ පාදෙණිය වැනි බටහිර වෛද්‍ය වෘත්තිකයන් ද තමන් නොදන්නා දේශීය හෙළ වෙදකමක් ගැන පුන පුනාම මාධ්‍ය මගින් ජනතාවට කරුණු කියන්නට පටන් ගත්තේ පැරණි ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ශාස්ත්‍රීය අපයෝජනය ලක් කරමිනි.

ආයුර්වේදයේ ජ්වර නමින් හැඳින්වෙන උණ රෝග සඳහා නියම කෙරෙන කර්කශ බවකින් යුතු සුදර්ශන චූර්ණය නම් වන ආයුර්වේද ඖෂධ වට්ටෝරුව ඇසුරින් කුඩා දරුවන් ඇතුළු පොදු ජනතාව ගේ පහසු භාවිතය සඳහා ප්‍රති නිෂපාදනය කරන ලද සුදර්ශන පැණිය( Suspension ) කොවිඩ් රෝගය වලක්වා ලන බව ජනමාධ්‍යයෙන් මුලින් ප්‍රසිද්ධ කරන ලද්දේ බටහිර ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය වරයකු ලෙස කටයුතු කරන චන්න ජයසුමන විසිනි.ඔහු කීයේ ඒ අනුව ඉදිරියේ දී එම පැණිය රජයේ රෝහල් මඟින් ද බෙදා හැරීමට කටයුතු යොදන බවකි.

එහෙත්, කොවිඩ් වෛරසය සමනය කිරීමට එම පැණියට ඇති හැකියාව සම්බන්ධයෙන් සායනික පර්යේෂණ තබා නිරීක්ෂණ අධ්‍යයන ආදී වශයෙන් වන මූලික පර්යේෂණ ආදිය වත් සිදු කොට නොමැති බව ඒ එම පැණිය නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ විද්වත්හු පසුව කීය.එමෙන්ම එහි වඩාත් විමතියට කරුණ වූයේ ඖෂධ වේදය පිළිබඳ මහාචාර්ය වරයකු ලෙස කටයුතු කළ චන්න ජයසුමන එම ආයුර්වේද ඖෂධය රජයේ රෝහල් මඟින් බෙදා හැරීමට කටයුතු කරන බව පැවසීම ය.එය වෛද්‍ය ආචාර ධර්ම පමණක් නොව පවත්නා නීති ද අමු අමුවේ උල්ලංඝනය කරන්නකි.

එමෙන්ම යම් යම් ශාක ද්‍රව්‍යයන් දැවීමෙන් ඇති වන දුම ආඝ්‍රාණය කිරීම පදනම් කරගත් “දුම් හට්ටියක්” කොවිඩ් රෝගය වැඩලීම සඳහා වන කදිම ප්‍රතිකාරයක් බව ජනමාධ්‍ය මගින් පවසා සිටි ස්නායු වේදය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු වන අනුරුද්ධ පාදෙණිය ද ජනතාව විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ධාරාවෙන් පිටතට ඇද දමා වල්මත් කරවීම පිළිබඳව සෘජුව වගකිව යුත්තෙකි.නමුත් බටහිර ආයුර්වේද හෝ දේශීය වෛද්‍ය ක්‍රමයක් කිසිදු ආකාරයක දුමක් ආඝ්‍රාණය කිරීම අනුමත නොකරන බවත් යම් යම් රෝග තත්වයන් සඳහා ඉතා සීමිත සහ ප්‍රමිතිගත මට්ටමින් ආශ්වාස කිරීම අනුමත වනුයේ වාෂ්ප හෙවත් හුමාලය බවත් හුමාලය සහ දුම එකි’නෙකට ඉඳුරාම වෙනස් බවත් වෛද්‍ය පාදෙණිය නොදැන සිටම පුදුමයකි.

ඔවුන්ගේ එම අවිචාරවත් ප්‍රකාශ මුල් කොට විවර වූ පෑල දොර තුළින් අද වන විට අන්තර් ජාලයේ ෆේබුක්, යූ ටියුබ් ආදී වෙබ් අඩවි හරහා කිසිදු වෛද්‍ය ක්‍රමයකට සම්බන්ධ නොමැති වෛද්‍ය ක්‍රමයකින් වෘත්තීය සුදුසුකම ලබා නොගත් අමුතුම “රටේ වෙද පරපුරක්” සමාජ කරලියට පිවිස තිබේ.අමුතු ක්‍රම වලට කෙස් රවුළු වැවීම,අමතු විච්චූරන ඇඳුම් ඇඳීම ආදියෙන් තම අනන්‍යතාව පළ කරන ඔව්හු මුඛරි බවකින් යුක්ත වූවෝ ද වෙති. වර්තමානයේ පවතින බරපතල ඖෂධ හිගය සහ පසුගිය කාලය තුළ සිදු වූ බටහිර වෛද්‍ය වෘත්තිකයන් කිහිප දෙනකු ගේ වැරදි සමාජමය මඟ පෙන්වීම් නිසා ඇති වූ සමාජයේ සාමාන්‍ය ජනතාව මෙම කපටි ජාවාරම් කරුවන්ට ගොදුරු වීමේ සමාජ ප්‍රවණතාව අද වන විට අසරණ රෝගීන් අකල් මරණ ඇතුළු රුදුරු ආපදාවන්ට ලක් කොට ඔවුන්ගේ පවුල් මහ මඟට ඇද දමන තත්වය දක්වා දරුණු වී තිබේ.

දහ නව වන සියවසේ අග භාගයේ සහ විසි වන සියවසේ මුල් භාගයේ ප්‍රංශයේ ජීවත් වූ එමිල් කූ සාධනීය ස්වයං මානසික ඇනවුම් පිළිබඳ බොහෝ කරුණු ලොවට හෙළි කළ මනෝ විද්‍යාඥයෙකි. මුලදී ඖෂධ වේදියකු වශයෙන්කටයුතු කළ ඔහු තමන් නිකුත් කරන එකම ඖෂධය එක් එක් රෝගියා ගේ රෝග සුවය සම්බන්ධයෙන් විවිධාකාර ලෙස ඉවහල් වන අන්දම සියුම් ලෙස නිරීක්ෂණය කොට ඒ සඳහා බලපවත්වන මානසික සාධක අධ්‍යයනය කළේය.පසුව ඔහු තමන් විසින්ම නිපදවන ලද කිසිදු ඖෂධීය සංයෝගයක් නොමැති
පෙති වේදනා නාශක පෙති වශයෙන් රෝගීන්ට නිකුත් කළ ඔහු ඒවා මගින් ද රෝගීන් ගේ වේදනාව සමනය වන අන්දම නිරීක්ෂණය කොට එය ඔවුන්ගේ ධනාත්මක මානසික සාධක මත බලපවත්වන තුෂ්ටක බලපෑම (Placebo effect ) ලෙස හඳුන්වා දෙන ලදී.

එදා මෙදා තුර නොයෙකුත්යටපත් වීම සහ වේදනා කැක්කුම් ආදී වශයෙන් වන රෝග ලක්ෂණ තාවකාලිකව සමනය කරවීම සම්බන්ධයෙන් එමිල් කූ විසින් හඳුන්වා දුන්  මෙම තුෂ්ටක බලපෑම බොහෝ දෙනෙක් විවිධාකාරයෙන් ප්‍රයෝජනයට ගනිති.ආගමික විශ්වාස මුල්කොට රෝග සුව කිරීම (Faith healing ) මුළුමනින්ම මෙම තුෂ්ටක බලපෑම මත රඳා පවතී. එහෙත් වර්තමානයේ අප සමාජයෙන් එළැඹ ඇති දරුණු අවදානම් සහගත තත්වය වනුයේ ඉහත සඳහන් දෙයාකාර සාධක පදනම් ව අප රටේ බහුතරය විධිමත් වෛද්‍ය ක්‍රම වලින් බැහැරට විකල්ප වෛද්‍ය ක්‍රම නමින් සමාජ ගත වන වෛද්‍යමය නොවන ප්‍රතිකාර ක්‍රමයන් වෙත සහ විකල්ප වෛද්‍යමය ප්‍රතිකාර ක්‍රමයන් ගේ අවභාවිතාවන්ට නතු වීම ය.

ඒ ඔස්සේ ඔවුන්ගෙන් යම් පිරිසක් අකල් මරණ මුල් කොටගත් අනේකවිධ විපත් අතුරු අන්තරාවල ලක් වීමේ ඛේදවාචකයකට මුහුණ දී තිබේ.. ඒ අනුව ද අප දියුණු ශිෂ්ටාචාර සමාජ ලක්ෂණ වලින් පිට පැන නොදියුණු ගෝත්‍රික සමාජ ලක්ෂණ වෙත යොමු වන බව අකමැත්තෙන් වුව පිළිගැනීමට අපට සිදුවනු ඇත.

හේමන්ත රන්බණ්ඩාර

එතෙර - මෙතෙර