නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින අලි පැටවුන් පැරණි හිමි කරුවන්ට මුදා හැරීමට එරෙහිව එන්තරවාසි

නව නීතියක් හඳුන්වා දෙමින් උඩවලව ඇත් අතුරු සෙවනේ රඳවා සිටින අලි පැටවුන් දාහතර දෙනා ඔවුන්ගේ පැරණි හිමිකරුවන්ටම ලබා දෙන ලෙස නිකුත් කර ඇති අධිකරණ නියෝගය බල රහිත කරන ලෙස දන්වා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු සියලු වගකිව යුත්තන්ට විරුද්ධව එන්තරවාසියක් යැවීමට කටයුතු කරමින් සිටින බව පරිසර යුක්ති කේන්ද්‍රයේ උපදේශක හේමන්ත විතානගේ මහතා කියයි.

වන සතුන්ගේ ආරක්ෂාව හා රැකවරණය උදෙසා බලපවත්වන නීතිය ඇතුලත් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 6 වන වගන්තියේ දෙවන කොටස ප්‍රකාරව ලියාපදිංචි නොකළ අලි පැටවුන් ලඟ තබා ගැනීමට එරෙහිව චෝදනා එල්ල වී තිබියදී නව නීතියක් හරහාඑම නීතිය වෙනස් කොට එහි පැරණි හිමිකරුවන්ටම නඩු භාණ්ඩ වල භාරකාරත්වය යළි ලබා දීමට කටයුතු කර ඇති බව බැවින් මෙසේ නීතිමය ක්‍රියා මාර්ගයකට එළැඹෙන බව විතානගේ මහතා කියයි.අලි පැටවුන් ජාවාරමට එරෙහිව පරිසර සංවිධාන විසින් ගෙන ගිය දැඩි බලපෑමිවල ප්‍රතිඵලයක් වශයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,පොලිස් දෙපාර්තමේන්තුව විසින් අලි පැටවුන් තිස් අට දෙනෙක් අත් අඩංගුවට ගෙන එහි චූදිතයන්ට එරෙහෙහිව නඩු පවරා තිබුණි.මේ අනුව දැනට උඩවලව ඇත් අතුරුසෙවනේ රඳවා සිටින අලි පැටවුන් දාහතර දෙනෙක් මාස තුනක් ඇතුලත ලියා පදිංචි කිරීමේ නව කොන්දේසියක් මත නැවත එම හිමි කරුවන්ටම ලබා දීම විමතියට කරුණක් බව ද විතානගේ මහතා කීය.

බුද්ධශාසන ,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සමඟ වන සංරක්ෂණ අමාත්‍යවරයා එක්ව 2021 මාර්තු මස 12 වන දින ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් මඟින් මෙම අලි පැටවුන් නිදහස් කර ගැනිමට සිදුකළ ඉල්ලීම නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය සහමුලින්ම බිඳ හේතු වූ බව පවසන විතානගේ මහතා
මෙම අලි පැටවුන් ලබා ගැනීම සඳහා ඉල්ලීම් කර ඇත්තේ මේ රටේ දේශපාලනික බලවතුන් වන බවද දැනගන්නට ඇතැයි කියයි.

කාලීන පුවත්