මේ අපූරු විවාහයක් පිළිබඳ කතාවකි. මෙම විවාහයේ මනාලිය වන්නේ ක්ෂමා බින්දු නැමැති තරුණියකි. ක්ෂමා ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ ජීවත් වන්නියකි. ඇය ජුනි 11 වැනි දින හින්දු චාරිත්‍රානුකූලව යුග දිවියට ඇතුල් වන්නීය. එහිදී හින්දු විවාහ සම්ප්‍රදායට අයත් සියලු චාරිත්‍ර ඇය විසින් ඉටු කරනු ලබයි. විවාහයට පෙර පැවැත්වෙන හල්දි (කහ සහ තෙල් මිශ්‍රණයක් සිරුරෙහි ගැල්වීමේ) චාරිත්‍රය, සංගීත සාදය ආදිය ද ඊට ඇතුළත් ය. 11 වැනි දින උදයේ ඇය රතු පැහැති මංගල සාරියකින් සැරසී, හැනා ආලේප කරන ලද දෑතින් ද යුතුව, සම්ප්‍රදායික ලෙස ගිනිමැලය වටා සත් වරක් ගමන් කිරීමට ද නියමිත ය. මේ සියල්ල සම්ප්‍රදායට අනුව සිදු වුවත් ක්ෂමාගේ විවාහයේ කිසිවකුත් නොසිතන ආකාරයේ වෙනසක් තිබේ. එනම් මෙම විවාහයෙහි මනාලයකු නොමැති වීමයි. ක්ෂමා විවාහ වන්නේ තමා සමගම වීමයි.
තමා සමගම විවාහ වීම (ස්වයං විවාහය) ටික කලෙක සිට සමහර බටහිර රටවල දක්නට ලැබෙන සිද්ධියකි. නමුත් ඉන්දියාව තුළ එවැන්නක් සිදු වන්නේ පළමු වතාවට බව සඳහන් වේ. මේ නිසා ක්ෂමා ගේ විවාහය ගැන එහි විශාල අවධානයක් යොමුව ඇති අතර මේ ගැන යම් සංවාදයක් ද ඇතිව තිබෙනු පෙනේ. සමාජ මාධ්‍ය තුළ ද මෙය උණුසුම් මාතෘකාවක් වී ඇත. ඇතැමුන් මෙයට පක්ෂව ද, තවත් සමහරුන් ඊට විරුද්ධව ද අදහස් පළ කරන ආකාරයක් දැකිය හැකි වේ. කව්රුන් මොනවා කීවත් ක්ෂමා තමුන් ගත් තීරණය ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නැගීමට අධිෂ්ඨාන කරගෙන සිටින්නීය. තම විවාහ උත්සවයට අමුත්තන්ට ආරාධනා කිරීමට අපූරු ඇරයුම්පතක් පවා ඇය මුද්‍රණය කර තිබුණාය.
ක්ෂමා මෙවැනි විවාහයක් සඳහා පියවර ගෙන ඇත්තේ ආවාටගියාට නොවේ. ඇය පවසන්නේ තමා මේ තුළින් තම ජීවිතය තමා වෙනුවෙන්, තමාට ආදරය කිරීම (ස්වයං ප්‍රේමය) වෙනුවෙන් කැප කරන බවකි.
“ස්වයං-විවාහය කියන්නේ තමා වෙනුවෙන් තමා කැපවන, ඒ වගේම වඩාත් සුන්දර, ජීවයෙන් පිරි, අතිශයින් ප්‍රීතිමත් පුද්ගලයකු ලෙස ඉදිරියට යාමට උදව් කරන රැකියාවක්, ජීවන රටාවක් තෝරා ගැනීම සඳහා කැපවන ක්‍රියාවලියක්” යයි ඇය මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබිණි. ‘මම මා සමගම විවාහ වීම තුළින් මගේ චරිතයේ සියලුම අංග ඒ ආකාරයෙන්ම භාර ගැනීමක් සිදු කරනවා. විශේෂයෙන්ම මගේ දුර්වලතා හැටියට මං හඳුනාගෙන තිබෙන, මගේ ජීවිතයෙන් අයින් කරල දාන්න උත්සාහ කරන ගති ලක්ෂණ පවා භාර ගැනීමක් මෙහිදී සිදු වෙනවා. ඒවා කායික දුර්වලතා වෙන්නත් පුලුවන්, මානසික දුර්වලතා වෙන්නත් පුලුවන්. මා මෙම ස්වයං-විවාහය සලකන්නේ මාවම ඉතා ගැඹුරින් භාර ගැනීමක් හැටියටයි. මෙතැනදී මම මගේ ජීවිතයේ එතරම් ලස්සන නැති, සුන්දර නැති දේවලුත් එක්කම මාව සම්පූර්ණ වශයෙන් භාර ගන්නවා.’ ස්වයං විවාහය පිටුපස ඇති ‘දර්ශණය’ ඇය පැහැදිලි කරන්නේ එලෙසිනි.
තරුණියක මෙවැනි අසම්මත විවාහයක් සඳහා සූදානම් වුවහොත් ඊට මුලින්ම විරුද්ධ වීමට ඉඩ ඇත්තේ ඇයගේ මව්පියන් ය. නමුත් ක්ෂමාට එවැනි ප්‍රශ්ණයක් මතු වී නැති බවක් පෙනේ. ඇය පවසන්නේ තමාගේ අදහසට තම මව්පියන්ගේ සම්පූර්ණ ආශීර්වාදය ලැබුණු බවයි. ඉන්දියාව වැනි සංස්කෘතික සීමාවන් බහුල රටක එවැන්නක් සිදුවීම ද ඉතා විශේෂ කාරණයක් ලෙස සැලකිය හැක්කකි. ‘ඔයා ඉතිං හැම තිස්සෙම අලුත් විදියට හිතන කෙනෙක්නේ’ යයි තම මව පැවසූ බව ක්ෂමා සඳහන් කරයි. ‘ඔයා මේකෙන් සතුටක් ලබනව නං අපි ඒකට විරුද්ධ වෙන්නෙ නැහැ’ යයි ද තම මව්පියන් කී බව ඇය තවදුරටත් පවසා තිබිණි. තම මවත්, පියාත් දෙදෙනාම ඉතා විවෘත මනස් ඇති අය බව ද ඇය කියන්නීය.
ස්වයං විවාහය පිලිබඳ අදහස මුල් වරට කරළියට පැමිණ තිබුණේ මෙයට වසර 20 කට පමණ කලිනි. ඒ ඇමරිකානු මාලා නාටකයක් වූ Sex and the City නැමැති නිර්මාණය තුළිනි. එහි එක් චරිතයක් මෙවැනි විවාහයක් ගැන අදහසක් මතු කරන අවස්ථාවක් මෙම මාලා නාටකයට ඇතුළත් විය. එයින් පසු මේ ආකාරයේ විවාහයන් ගැන නොයෙක් තැන්වලින් වාර්තා වන්නට පටන්ගෙන තිබිණි. මෙවන් විවාහයන්ට අදාළව බොහෝ අපූරු සිදුවීම් ගැන ද අසන්නට ලැබිණි. බ්‍රසීලයේ එක්තරා නිරූපන ශිල්පිනියක් තමා සමග විවාහ වී මාස තුනකට පසු තමාගෙන්ම දික්කසාද වී තිබුණාය.
ක්ෂමා බින්දු ගේ තීරණය විවේචනය කරමින් ද බොහෝ දෙනෙකු අදහස් දක්වා තිබේ. ඔවුන්ට පිලිතුරු දෙමින් ඇය පවසන්නේ තමා විවාහ වන්නේ පිරිමියකු සමග ද, ගැහැනියක සමග ද, නැත්නම් තමා ම සමග ද යන්න තීරණය කිරීම තමුන් සතු අයිතියක් බවයි. ‘අපි මේ ලෝකෙට එන්නේ තනිවමයි, මේ ලෝකෙන් යන්නෙත් තනිවමයි. ඉතිං තමුන්ම තරම් තමුන්ට ආදරය කරන්න වෙන කාටවත් බැහැ’ ඇය පවසයි.
නිහාල් පීරිස්