අපි නිදහස් අධ්‍යාපනයක් ගැන මහත් උනන්දුවෙන් කතා කරමු.එහෙත්,අපේ දරුවන්ට තමන් කැමති විෂය පථයන් ඔස්සේ වැඩිදුර හැදෑරීම් කිරීමට අවකාශ ලැබේද?එහෙත්, අප ජීවත් වන ලෝකය, පරිසරය සම්බන්ධයෙන් මෙතෙක් මානවයාගේ අවධානය යොමු නොවූ නවතම විෂය පථයක් කෙරෙහි විශේෂ අවධානය යොමු කරන තරුණ විද්‍යාඥෑ පිරිසක් ද මේ ලෝකයේ සිටිති.
ඔවුන්ගේ ඒ අසිරිමත් සොයා ගැනීම් පොදුවේ මානව බුද්ධි පරිමාව පුළුල් කෙරීමට විස්මිත ලෙස සමත් වී තිබේ. ඇය නමින් ස්කාලට් හොවාර්ඩ් ය. මේ දිනවල ඇය මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යාව සහ ජෛව ආශ්වාදය පිළිබද පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නීය. ඇයගේ විෂය ක්ෂේත්‍රය පුදුමාකාරය. කෙනෙකුට ඒ පිළිබදව “මේවායෙ තියෙන වැදගත්කම මොකක්ද?” යනුවෙන් වුවද සිතෙන්නට පුළුවන් තරම් පුදුමාකාරය.
ඇය ප්‍රමුඛ කරගත් පර්යේෂණ කණ්ඩායම්වල මූලික කාර්යය වන්නේ සත්ව හැසිරීම් පිළිබද සුවිශේෂී අධ්‍යයනවල නිරත වීමයි. සත්ව සංජානනය, රෑප විද්‍යාව, පාරිසරික වෙනස්වීම්වලට සතුන් දක්වන අනුවර්තන, ආහාර ගැනීමේ දී ඔවුන් සාමුහික වශයෙන් ගනු ලබන තීරණ සහ එම තීරණවලට සාමුහිකව දක්වන නැඹුරුතාව, ශාක සහ සත්ව අන්තර් ක්‍රියා, ජීව විද්‍යාත්මක පද්ධති මත පදනම් වූ කරුණු, ශාක සහ සත්ව සංසර්ග උපක්‍රම, පාරිසරික වෙනස්කම් වලට දක්වන අනුවර්තන ඔස්සේ සංසර්ග උපක්‍රම වෙනස් කරන ආකාරය, පරාගන උපක්‍රම, ආහාර සොයා ගැනීමේදී දක්වන උපාය මාර්ග වැනි විවිධ වපසරියක ව්‍යාප්ත වූ කරුණු පිළිබදව මෙකී කණ්ඩායම් විසින් පර්යේෂණ සිදු කරනු ලැබේ..
ආචාර්ය හොවාර්ඩ් ඇතුළු කණ්ඩායම බොහෝ විට අවධානය යොමු කරනු ලබන්නේ අපෘෂ්ඨ වංශී සතුන් පිළිබදව ය. ඉන් ද විශේෂයෙන්ම මී මැස්සන් වැනි සංසන්දනාත්මක ව ඉතාම කුඩා මොළයක් තිබෙන, විශාල පරාසයක පැතිරුණු බුද්ධියක් සහිත සත්ව ආකෘති පිළිබදවය. වරක් ජෛව විවිධත්වය පිළිබද සාකච්ඡාවක් අතරතුර ආචාර්ය හොවාර්ඩ් පවසා තිබුණේ “ඉතා ක්ෂුද්‍ර මොළයකින් වුව ද මෙකී සත්ව ආකෘතින් සංකීර්ණ ගැටළුවලට මුහුණ දෙන ආකාරය සහ ඒවා විසඳන ආකාරය තරම් පුදුමාකාර දෙයක් තමන් මීට පෙර මෙලොව දැක නැති” බව ය.
මේ හේතුව නිසාම ආචාර්ය හොවාර්ඩ් මී මැස්සන් යොදා ගනිමින් අරුම පුදුම පර්යේෂණයක් සිදු කළාය. ඇගේ අරමුණ වූයේ මීමැස්සන් යනු පුහුණුව මගින් බොහෝ දෑ ඉගැන්විය හැකි සත්ව ආකෘතියක් බව ඔප්පු කර පෙන්වීමයි. ඒ අනුව ඇය මී මැසි වර්ග කීපයක් යොදා ගනිමින් ඔවුන්ට සංඛ්‍යාන රටා පිළිබද පුහුණුව ආරම්භ කළාය.
මූලික පියවර ලෙස ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා වෙන්කර හදුනා ගැනීම සදහා මී මැස්සන් පුහුණු කරනු ලැබිණි. යම් කාලයක් තුළ සිදු කරනු ලැබූ මනා පුහුණුවකින් පසු මී මැස්සන් ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා පැහැදිලි ලෙස වෙන් කර හදුනා ගැනීමට තරම් දක්ෂ වූ අතර, එපමණක් ද නොව පුහුණුවේදී භාවිත නොකළ නව අංක පවා ඔත්තේ හෝ ඉරට්ටේ ලෙස වෙන් කර හදුනා ගන්නට තරම් මී මැස්සන් බුද්ධිමත් සත්ව ආකෘතියක් බව ඇය තහවුරු කර ගන්නා ලදී. මෙකී පර්යේෂණය වසර පහක දීර්ඝ සහ සංකීර්ණ ව්‍යාපෘතියක් බවත් එවැනි පර්යේෂණයක් සදහා ඉතා උසස් මට්ටමේ ඉවසීමක් අවශ්‍ය බවත් ඇය පවසන්නීය.
මේ පිළිබදව ඇය වරක් රූපවාහිනී වැඩසටහනකට එක් වී මෙසේ පැවසුවා ය.” අපි දන්නා විදියට සාමාන්‍යයෙන් මී මැස්සෙකුගේ මොළයේ ඇති නියූරෝන සෛල සංඛ්‍යාව 960,000 ක් පමණ වෙනවා. එපමණ නියුරෝන ප්‍රමාණයක් තිබියදී පවා පෙර පුහුණුවකින් පස්සේ ඔවුන්ට ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා වෙන් කර හදුනා ගන්නට හැකියාවක් ලැබී තිබෙනවා. ඒක පුදුමාකාර තත්වයක්. අපි හිතලා බලමු මිනිසා ගැන. මිනිසාගේ මොළයේ තිබෙන නියුරෝන සෛල සංඛ්‍යාව බිලියන 86 ක්.
නමුත් පෙර පුහුණුවකින් පසුව වුණත් සමහර අයට සංඛ්‍යානය පිළිබද, විශේෂයෙන්ම ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා වගේ සරල සංඛ්‍යානයන් ගැන පවා ප්‍රශ්න තිබෙනවා. ඉතින් එයින් අපිට එන්න පුලුවන් සරලම නිගමනය මොකක්ද? මී මැස්සා කියලා කියන්නේ කොයි තරම් පුදුම සත්ව ආකෘතියක් ද කියන බව නෙවෙයි ද? මී මැස්සන් ගැන අධ්‍යයනය ආරම්භ කළ මුල් කාලෙ සමහර පර්යේෂණ වාර්තා සහ පර්යේෂණ ප්‍රතිඵ ගැන මම පුදුමයට පත් වුණා.
ඇත්තටම කියනවා නම් මම විශ්වාස කරන්න පවා පසුබට වුණා. ඒ නිසාම සමහර පර්යේෂණ මම නැවත නැවතත් සිදු කරමින් ප්‍රතිපල විශ්ලේෂණය කරන්න පෙළඹුණා. ඒ තරමට ඒවා පුදුමාකාරයි. අපි කිසිම කෙනෙක් හිතන්නේනැති තරම් මී මැස්සා කියන්නේ අපූර්ව සත්වයෙක්. අපෘෂ්ඨවංශීන් අතරින් ඉහළම මතක ශක්තියක් ඔවුන් සතුව තිබෙනවා.” ආචාර්ය ස්කාලට් හොවර්ඩ් පවසන්නීය.
දුලංජලී මුතුවාඩිගේ