ධම්මික පෙරේරාගේ පාර්ලිමේන්තු ආගමනය දෙස බොහෝ දෙනාට තිබෙන්නේ නරක විවේචනයක්. ඔහු ලංකාවේ ලොකුම පොහොසතා වුණත් ජාවාරම්කාර ව්‍යාපාරිකයෙකු හැටියට චෝදනා නැගෙනවා.මා නම් සිතන්නේ ඔහු එවැන්නෙක් නම් ඒකට ද හේතුව රට පාලනය කළ ආණ්ඩුවල වරද බවයි. සිස්ටම් නොමැතිකම නිසාම ඒ දේවල් සිදුවූ හැටියටයි ගණන් ගත යුත්තේ ධම්මික පෙරේරා ඇමතිකමක් ගෙන රාජ්‍ය පාලනයට සම්බන්ධ වීම ගැන කිහිප ආකාරයකින් බලන්න පුළුවන්. දශක ගණනක් පාර්ලිමේතුව නියෝජනය කළත් කිසිවක් නොකළ අයට වඩා සමහර විට ඔහුගෙන් යමක් වෙන්න පුළුවන්.
අනෙක වියත්තු කියලා පිරිසක් ඇවිත් අවස්ථා ලැබීම හෝ නොලැබීම මත මේ වන විට අසාර්ථක බව පෙන්වා හමාරයි. ඒ වගේම ධම්මික පෙරේරා වර්ගයේ දැවැන්ත ව්‍යාපාරිකයෙක්ද පාර්ලිමේන්තු ඇවිත් යමක් කළ හැකිද? නොහැකිද? යන්න මේ වෙලාවේ රටට දැන ගන්න පුළුවන්. (ඒ තරමේ ව්‍යාපාරිකයෙක් නොවුණත් තිලංග සුමතිපාල පාර්ලිමේන්තුවට ආවේ කොළඹ සුරපුරයක් කරන බවට ප්‍රතිඥා දෙමින්. ඒත්, ඔහුට නම් කිසි දෙයක් කරන්න බැරි වුණා.)
ව්‍යාපාර හා ආයතන රැසක් අතහැර මේ වෙලාවේ ධම්මික පෙරේරා වුණත් භාර ගන්නේ ලොකු අවදානමක්. ඔහු ඒකත් ව්‍යාපාරික කෝණයකින්ම දකිනවා වෙන්නත් පුළුවන්.
රාජ්‍ය පාලනයේ සිටි මහා දඩාර ගස් ඇද වැටී ඇති වටපිටාවක වගේම පක්ෂ දේශපාලන බැඳියාවන්ගෙන් ලිහිල් බවක් ඇති තැන ඔහුගේ අදහස් ක්‍රියාත්මක කිරීමට ඉඩක් හැදෙන්න පුළුවන්. දක්ෂ නැවියන් බිහිවන්නේ කුණාටු මැද නෞකා යාත්‍රා කරවීමෙන් මිසක නිසල සයුරක නොවෙයි. ඒ නිසා ධම්මික පෙරේරා මෙහි ඇති අවස්ථාව ඉතා හොඳින් හඳුනා ගෙන තිබෙනවා වෙන්නත් පුළුවන්.
ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ගොඩක් දේවල් ඔහු නොකළ බව ඇත්ත. ඒක මේ රාජ්‍ය නිලධාරියෙකු වන ලේකම්වරයාගේ සීමාව පනින්න බැරිකමේ ගැටළුවක්.
එහෙත් මේ දක්වා රට නූතනය කරා ගෙන යාම සම්බන්ධයෙන් ධම්මික පෙරේරා දැක්වූ අදහස්වල ඉතා සාධනීය තැන් තිබෙනවා. ඒ වගේම ඔහු නිහඬව එවැනි දේවල් කරලත් තිබෙන බව DP Education ඇප් එක වගේ එකකින් පේනවා.
ධම්මික පෙරේරා කරන දේවල් වගේම ව්‍යාපාර වුණත් කෙනෙක් හුදු වෙළෙදාම් හා ජාවාරම් පමණක් බවට චෝදනා කළ හැකියි. එහෙත්, අපි කැමති වුවත් නැතත් රටේ ආර්ථික දිශානතිය දැන් සම්පූර්ණයෙන්ම නව ලිබරල්ම තමයි. හැම දෙයක්ම මුදල මත තීරණය කෙරෙනවා. එහෙම නැතිව ඉදිරියට යාමක් නැහැ.
ධම්මික පෙරේරා ඉදිරියේ දී රාජ්‍ය පාලනයට සම්බන්ධ වන විට රටේ මිනිස්සු පාරිභෝගිකයන් පිරිසක් (Customers ) හැටියට දකින්න ඇති ඉඩකඩ කොහොමත් වැඩියි. බොහෝ දියුණු රටවල රජයෙන් සේවාවක් ලබා ගන්නා සියල්ලන් දකින්නේ ඒ විදියට. රෝගියා පවා කස්ටමර් කෙනෙක්. මේක ඉතා විශාල ප්‍රශ්නයක් ලෙස පෙනුණත් රටට ඉදිරියට යා හැකි වනු ඇත්තේ එවැනි මගක ගියහොත් පමණි. ධම්මික පෙරේරාගේ ආණ්ඩුකරණ සාර්ථකත්වය රඳා පවතිනු ඇත්තේද ඒ මතයි.
තවත් අතකින් ගත් විට ඔහු පාර්ලිමේන්තුවට එන්නේ රටක් ඇස් ඇර බලා සිටින අවස්ථාවක. පෙරදා මෙන් දැන් කිසිවෙකුට කනෙන් රිංගා යාමටද ඉඩක් නැහැ.
අනෙක තමයි ධම්මික පෙරේරා බැසිල්ගේ ආදේශකයා නම් ඔහු මේ අවස්ථාවේ රටේ අවශ්‍යතාව අනුව බැසිල්ට වඩා ඉදිරියෙන් ඉන්න කෙනෙක්. ඒ වගේම මේ අවස්ථාවේ ජනතාවගෙන් විරෝධයක් නැගුණේ නම් කිසිසේත්ම ඔහුට මේ මොහොතේ පාර්ලිමේන්තුවට එන්න ලැබෙන්නේ නැහැ. එසේ නොවීමෙන් නිහඬ අනුමැතියක් ධම්මික පෙරේරාට ලැබී තිබෙනවා.
ඒ වගේම දශක තුන හතරක් පාර්ලිමේන්තුවේ අටුවන් බැස සිට මෙතෙක් කිසිවක් නොකළ අය (උදා:වාසුදේව, දිනේෂ්, ලොකුගේ, කිරිඇල්ල, මහින්ද යාපා, චමල්) වගේම නූතන චණ්ඩි හා වාචාලයන්ද නොකළ එක් දෙයක් හෝ ධම්මික පෙරේරා කෙටි කලක් තුළ කරන්නේ නම් එයද වටින දෙයක්. එසේ නොවන්නේ නම් ඔහු ද ස්වකැමැත්තෙන්ම බැස යනු ඇති.
(ජයසූරියට සනත් ගුණතිලකද සිල්වාට අරවින්ද පෙරේරාද හිතා මතාම කියා රටේ අවධානය දිනා ගෙන ඔහු අරඹන්නේ දිගු ගමනක්ද විය හැකිය. “කපුටු කාක්” කතාව නිසා ලෝකයේම ලාංකීය කිරි දරුවෝ ද බැසිල් හඳුනති.)
මහින්ද රුබසිංහ