රාජපක්ෂ රාජ වංශයේ කල් පැවැත්ම කෙබඳු වේද?

මින් පසු මෙරට දේශපාලන කරලියෙන් කිසිදු රාජපක්ෂ වරයකු ඉවත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ පසුගිය දා කීය. ඔහු මෙසේ රාජපක්ෂ වරයකු යනුවෙන් හඳුන්වා ගෙන ඇත්තේ තම මුත්තනුවන් ගේ පරපුරෙන් ඇරඹෙන පවුලේ සාමාජිකයන් විය යුතු ය. එසේ නොමැතිව වත්මන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ,ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසන මේ “රාජපක්ෂ වරු” නම් වර්ගීකරණයට ඇතුලත් නොවන බව පෙනේ.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන රජය යන නිල නමින් හැඳින්වෙන අප රටේ පරම නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් දේශපාලන ව්‍යුහය මුළුමනින්ම අර්ථ දක්වා තිබේ. එහෙත්, එහි කිසිම තැනක එම දේශපාලන ව්‍යුහය තුළ පරම්පරා හෝ පවුල් සාධකයක් පිළිබඳ වගේ වගක් නැත. ඒ අනුව කිව හැක්කේ මේ වන විටත් අප රටේ දේශපාලනය තුළ මුල් බැසගෙන ඇති පවුල් හා පරම්පරා සාධකය ජන මනැසේ මුල් බැසගත් හිතලුවක් හෝ මනැස්ගාතයක් බව ය.

නිදහස් ශ්‍රී ලංකාවේ සේනානායක, බණ්ඩාරනායක ආදී වශයෙන් හැඳින්වෙන ප්‍රභූ සමාජ පැලැන්තිය මුල් කොටගත් හා පරම්පරා දේශපාලනය පසුව ආර්. ප්‍රේමදාස සහ ඩී.බී. විජයතුංග වැනි මැද පන්ති සාමාජිකයන් රාජ්‍ය බලය ඉසිලූ යුග වලදී පසුබැස්මකට ලක් වූ අතර 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වීමත් සමඟ එය රාජපක්ෂ සන්නාමයෙන් යුතුව යළි සමාජ කරලියට පිවිසුණි. එයට 2009 වසවරේ එල් .ටී.ටී ඊ යුද ජයග්‍රහණය පදනම් කර ගත් ශ්‍රී ලංකාව එක් සේසත් කිරීම නම් දේශපාලනික සංසිද්ධිය හේතු වී ඇති බව පෙනෙයි. එදා මෙදා තුර බොහෝ දෙනකුගේ අවධානයට යොමුව ඇති රාජපක්ෂ පරම්පරා පවුල් දේශපාලනය අද වන විට අප රටේ පවත්නා අතිශය බරපතල සමාජ ආර්ථික ව්‍යාකූලත්වයට පවා හේතු වී ඇති බව නොරහසකි.එනිසාම රාජපක්ෂලා මෙරට දේශපාලනයෙන් ඉවත් විය යුතු බවට ප්‍රබල ජන මතයක් ද ගොඩ නැඟෙමින් තිබේ.

ක්‍රි. පූර්ව 3100 පමණ ඊජිප්තුවේත් ක්‍රි. පූර්ව 2070 පමණ චීනයේත් පවුල් කේන්ද්‍රගත දේශපාලන සාධකය පසුව රාජ වංශ (Dynasty ) ලෙස හඳුන්වන ලදී.ඒ පැරණි වැඩවසම් සමාජ ක්‍රම වල භූමියේ ආධිපත්‍යය හිමි කර ගත් පරම්පරා සහ පවුල් විසින් ඒවා රාජ්‍යයන් ලෙස හඳුන්වා ගෙන ඒවායේ ජීවත් වන්නවුන් තම යටත් වැසියන් සේ සළකා එම රාජ්‍යයන් තුළ සර්වාධිකාරී බලය සිය පවුල් වෙත පවරා ගැනීමත් සමඟිනි. ඒ අනුව එම රාජ වශංශ පාලන කාල වද දී භූමියේ හිමි කරුවෝ ද ඔව්හු ම වූහ. අපට ආසන්නම ඉන්දියාවේ ශාක්‍ය, කෝලිය, මෞර්ය, ගුප්ත, යානවාහන, චෝල, පාණ්ඩ්‍ය චේර ආදී රාජවංශ බොහොමයක් අතීත කාල වල දක්නා ලදී.

ශ්‍රී ලංකාවේ ඉතිහාසගත රාජ්‍ය බලය නව්‍යකරණයකට ලක් වීම සම්බන්ධයෙන් ද ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයා අයත් මෞර්ය රාජ වංශය බලාත්මක වූ බව දේවානම් පියතිස්ස රජු ගේ( ක්‍රි.පූ 247-207) සිට යසලාලක තිස්ස රජු( ක්‍රි.ව 52-60) දක්වා අප රට පාලනය කළ රජ වරුන් මෞර්ය වංශික රජ වංශික ලෙසත් ඉන් පසුව රජකම් කළ වසභ රජු(ක්‍රි.ව 66-110) දක්වා රජ වරුන් ලම්බ කර්ණ වංශිකයන් ලෙසත් ඉතිහාස කරුවන් දැක්වීමෙන් පෙනෙයි.මෞර්ය යනු මොනරා හැඳින්වෙන නමක් වන අතර ලම්බ කර්ණ යනු ද එළුවන් ආදී එල්ලෙන කන් සහිත සතුන් හඳුන්වන නමකි.මෙලෙස සත්ව නාම කේන්ද්‍ර කර ගනිමින් මානව වංශ හැඳින්වීම මානව විද්‍යාවේ සඳහන් වනුයේ හැඳින්වෙනුයේ ගෝත්‍ර විහ්න වාදය(Totemism ) යනුවෙනි.මේ අතර දඹදෙණියේ රජ කළ තුන්වන විජයබාහු රජතුමා (ක්‍රි.ව. 1220-1224) අනුරාධපුර යුගයේ රජ කළ සිරි සඟබෝ රජතුමා ගේ බෝධිසත්ව ආදර්ශය මුල් කොටගත් සිරි සඟබෝ රාජ වංශයක් නිර්මාණය කර ගත් බව පෙනේ. එමෙන්ම පසු කාලීන රජවරුන් සහ ඔවුන් විවාහ කරගත් බිසවුන් ඉන්දියානු ‘සූර්ය වංශික’ බව ජනතාවට ඒත්තු ගැන්වීමට වෙර දරා ඇතත් ඔවුන් එවැනි රාජ වංශයකට සම්බන්ධ බවට සොයා ගත හැකි කිසිදු මූලාශ්‍රයක් නැත.

මේ අතර දිවංගත ජනපති ආර්. ප්‍රේමදාසයන් තමන් පිළිබඳව හැඳින්වීමේ දී ‘ශ්‍රීමත්’ යන්න ආරෝපණය කර ගත් අතර පසුව ඔහු අනුව යමින් දේශපාලන කරලියට පිවිස සිටින ඔහු ගේ එකම පුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද වරින් වර “මාගේ ආදරණීය, සදාදරණීය පියාණන් වන ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස…” ආදී වශයෙන් තම දේශපාලන කටයුතු වලදී පිය ගුණ වනන්නට වූයේත් තමන් “පුංචි ප්‍රේමදාස” ලෙස හඳුන්වා ගන්නට වූයේත් අප රටේ නූතන දේශපාලනය තුළ පරම්පරා සාධකය නොනැසී පවතින නිසා විය හැක. නමුත් එනිසා ඔහුට දේශපාලන විරුද්ධවාදීන් ‘පුතානෝ’ යන සරදම් නමක් පටබැඳීමත් සමඟ මෑතක සිට සජිත් ප්‍රේමදාස තම දේශපාලන වේදිකාවේ කරන “:පිය ගුණ වැනුම්” මුළුමනින්ම පාහේ නවතා දමා ඇත.ඒ වර්තමාන දේශපාලනය යනු පුද්ගලාභිවාදනය මුල් කොට ගත් එකක් නොවන බව ද ඔහු තේරුම් ගත් නිසා ද වන්නට ද ඇත. එහෙත්; තවමත් වයසින් මුහුකුරා නොගිය හා වයසින් මුහුකුරා ගිය තරමටවත් ඥානයෙන් මුහුකුරා නොගිය බවක් පළ කරන රාජපක්ෂ පවුලේ නව පරපුරේ පෙර ගමන් කරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තම පරම්පරා දේශපාලන සංකේතය වන “කුරහන් සාටකය” නමින් ඔවුන් විසින් හඳුන්වා ගන්නා රෙදි කඩ ජාතික ඇඳුමට සේම ටී ෂර්ට් වලට පවා උඩින් පළඳිමින් තමන් රාජපක්ෂ රජ වංශයේ කිරුළ හිමි කුමරා බව ජනතාව හමුවේ මවා පෙන්වීමට සුවිසල් උත්සාහයක් දරන බව ඔහුගේ විවිධ කියුම් කෙරුම් වලින් පෙනේ. එමෙන්ම නූතන දේශපාලනයේ පොට්ට කාසියක් බවට පත්ව ඇති පවුල් සහ පරම්පරා සාධකය සදාකල් වලංගු රන් කාසියක් සේ සිතන ඔහු තම දේශපාලන කතා වල දී පවා ‘රාජපක්ෂ වරුන්’ගේ පරමාදර්ශී බවක් හුවා දැක්වීමට තරම් බොළඳ හා ලාමක තත්වයට පත්ව තිබේ.

ගත වූ කාල සීමාව තුළ විවිධ අයුරින් ඉස්මතු වෙමින් පැවැති ඔවුන්ගේ මෙම පැරණි හණ මිටි දේශපාලනයේ සැබෑ ස්වරූපය රට හමුවේ නිසි අයුරින් එළි දැක්වෙන්නට වූයේ නූතනමධ්‍යම පාන්තික තරුණ පරපුරේ චින්තනය කේන්ද්‍ර කරගත් ‘ගාලු මුවදොර අරගලය’කරලියට ඒමත් සමඟිනි. මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සම්මේලනය උපායශීලී ලෙස බල රහිත කොට තම දෙටු පුතුට මතු රාජ්‍ය නායකත්වය ලබා දීම පිණිස සංවිධානය කළ “තනි අසුගේ ධාවන තරඟය” නූතන තරුණ පෙළ හමුවේ සරදමක් විහිළුවක් බවට පත්ව තිබේ. ඒ ශ්‍රී ලංකාවේ නව දේශපාලන නායකත්වය සඳහා වන විශිෂ්ඨ ධාවන පථයක් එම තරුණයන් විසින්ම නිර්මාණය කර ගත් පසුබිමක ය. ඒ අනුව ‘රාජපක්ෂ වරු’ යන යල් පැන ගිය සන්නාමයේ එන ‘වරු’ යන්නෙහි ‘ව’ යන්න වෙනුවට යෙදූ ‘හො’ යන්න වේගවත්ව සමාජ ගත වීම ඔස්සේ මේ වන විටත් අප සමාජයේ ශේෂව පවතින රාජපක්ෂ පවුල් දේශපාලනය ළඟදීම සදාතනික ව මිහිදන් වනු ඇත.

තිලක් සේනාසිංහ

 

එතෙර - මෙතෙර