ශ්‍රීලංකන් ගුවන් සේවයට සහ බ්‍රිටිෂ් එයාවේස් (British Airways) ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකක් උඩු ගුවනේ දී එකිනෙක ගැටීමෙන් සිදුවීමට තිබූ බිහිසුණු අනතුරක් අනූනවයෙන් වැළකී යාම පසුගිය සතියේ දැඩි කතාබහට ලක් වූ සිදුවීමකි. මෙම අනතුර සිදු වූවානම් යානා දෙකේ ගමන් කරමින් සිටි ගුවන් මගීන් 500 කට ආසන්න සංඛ්‍යාවක් මිය යාමට ඉඩ තිබූ බව ද සඳහන් විය. එසේ වී නම් එය ලෝකයේ සිදු වූ මේ ආකාරයේ බිහිසුණුම ගුවන් අනතුර ලෙස ඉතිහාසගත වීමට ඉඩ තිබිණි. මෙම අනතුර වැලකී ගොස් තිබුණේ ශ්‍රීලංකන් ගුවන් යානයේ නියමුවන්ගේ කල්පනාකාරී බව නිසා යයි ද වාර්තා විය. මේ සම්බන්ධයෙන් ඔවුන් මෙන්ම යානයේ සන්නිවේදන සහ අවේක්ෂණ (Surveillance) පද්ධතිවල කාර්යක්ෂමබව ද අගැයීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබිණි.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL 504 නැමැති මෙම ගුවන් ගමන සඳහා යොදාගෙන තිබුණේ එයාර්බස් ඒ 333 (Airbus A 333) වර්ගයේ ගුවන් යානයකි. මගීන් 275 දෙනෙකු රැගත් යානය ලන්ඩන් හි හීත්රෝ ගුවන් තොටුපලෙන් පිටත්ව තිබුණේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගමන් කිරීම සඳහා ය. එය ගමන් කිරීමට නියමිතව තිබුණේ තුර්කියේ ගුවන් කලාපය හරහා යි. මෙලෙස තුර්කිය හරහා ගමන් කරමින් තිබිය දී යානය පියාසර කරමින් තිබී ඇත්තේ අඩි 33,000 ක් පමණ ඉහළිනි. එම අවස්ථාවේ තුර්කියේ ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානයෙන් යානයේ නියමුවන්ට ලැබී තිබූ උපදෙසකින් පැවසුණේ යානය අඩි 35,000 ක් දක්වා ඉහළට ගෙන යන ලෙස යි.
නියමුවන් යානය ඒ ආකාරයෙන් ඉහළට ගෙන යාමට සූදානම් වෙද්දී නියමුවන්ට තම රේඩාර් තිරයේ දැක ගන්නට ලැබී තිබුණේ අඩි 35,000 මට්ටමේ බි්රටිෂ් එයාවේස් ගුවන් සේවයට අයත් යානයක් ගමන් කරමින් ඇති බවය. එය ගමන් කරමින් තිබී ඇත්තේ ශ්‍රීලංකන් යානයේ සිට සැතපුම් 15 ක පමණ දුරිනි. මේ බව දුටු ශ්‍රීලංකන් නියමුවන් වහාම මේ ගැන තුර්කියේ අන්කාරා හි ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානයට දැනුම් දී තිබිණි. නමුත් ගුවන් ගමන් පාලකවරුන් එය පිලිගෙන තිබුණේ නැත. එවැනි යානයක් තමුන්ගේ රේඩාර් උපකරණවල නොපෙන්වන බව පැවසූ ඔවුන් අඩි 35,000 ක් දක්වා ඉහළ නගින ලෙස ශ්‍රීලංකන් යානයට නැවතත් උපදෙස් දී තිබිණි. නමුත් ශ්‍රීලංකන් නියමුවන් එය ප්‍රතික්ෂේප කර තිබූ බව පැවසේ. කෙසේ වෙතත් ඒ සමගම නැවතත් මෙම නියමුවන්ට තුර්කි ගුවන්ගමන් පාලකවරුන්ගෙන් හදිසි ඇමතුමක් ලැබුණු අතර අඩි 35,000 මට්ටමේ බි්රටිෂ් එයාවේස් ගුවන් යානයක් ගමන් කරමින් තිබෙන නිසා එම මට්ටමට ගමන් නොකරන ලෙස එවර ඔවුන් පවසා තිබිණි. යම් හෙයකින් ශ්‍රීලංකන් නියමුවන් ගුවන් ගමන් පාලකවරුන්ගේ මුල් උපදෙස පිලිගෙන යානය ඉහළට ගෙන ගියා නම් බි්රටිෂ් එයාවේස් යානය සමග ගැටී ඉතා බිහිසුණු අනතුරක් සිදුවීමට ඉඩක් තිබූ බව සඳහන් වේ. එම බ්‍රිටිෂ් එයාවේස් ගුවන් යානයේ ඒ වනවිට මගීන් 250 කට ආසන්න සංඛ්‍යාවක් සිටි බව ද මාධ්‍ය සඳහන් කර තිබිණි. එය ගමන් කරමින් තිබී ඇත්තේ හීත්රෝ ගුවන් තොටුපලේ සිට ඩුබායි දක්වා යි. මෙම යානය ශ්‍රීලංකන් යානයට පසුව හීත්රෝ ගුවන් තෙටුපලෙන් පිටත්ව තිබුණත් වැඩි වේගයකින් ගමන් කරමින් තිබී ඇත. අනතුරක් සිදුවීමට වැඩි ඉඩක් තිබී ඇත්තේ එම යානය මෙලෙස වැඩි වේගයකින් ගමන් කරමින් තිබිම ද නිසාය.
ශ්‍රීලංකන් යානය ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපලේ ගොඩබැස්සවීමෙන් පසු මෙම සිද්ධිය පිලිබඳ වාර්තාවක් අදාල අංශ වෙත ඉදිරිපත් කර තිබිණි.
උඩු ගුවනේ දී යානා දෙකක් ගැටීමෙන් වූ බිහිසුණුම ගුවන් අනතුර සිදුව ඇත්තේ 1996 වසරේ ය. එම අනතුර සිදුව තිබුණේ සෞදි ගුවන් යානයක් සහ කසකස්තාන යානයක් එකිනෙක ගැටීමෙනි. එම අවස්ථාවේ සෞදි යානය ඉහළට නගිමින් තිබී ඇති අතර කසකස්තාන යානය තිබී ඇත්තේ පහතට ගමන් කරමිනි. අනතුර සිදුව තිබුණේ ඉන්දියාවේ චාර්කි දදි්ර ප්‍රදේශයට ඉහළිනි. සෞදි යානය දිල්ලි ගුවන් තොටුපලෙන් ගමන් ආරම්භ කර තිබූ අතර කසකස්තාන යානය එම ගුවන් තොටුපලේ ගොඩ බැස්සවීම සඳහා පැමිණෙමින් තිබී ඇත. මෙම බිහිසුණු අනතුරෙන් යානා දෙකේ ගමන් කරමින් සිටි මගීහු සහ කාර්යමණ්ඩලයේ සාමාජිකයෝ 349 දෙනෙක් මරණයට පත් වූහ.
මෙම අනතුරට හේතුව කසකස්තාන යානය පැදවූ නියමුවන්ගේ වරදක් බව විමර්ශණවල දී අනාවරණය වී තිබිණි. මෙම යානය දිල්ලි ගුවන් තොටුපල වෙත ළඟා වෙමින් තිබියදී එය අඩි 15,000 ක් දක්වා පහතට ගෙන එන ලෙස ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය නියමුවන්ට උපදෙස් දුන් බව සඳහන් වේ. ඒ අතර දිල්ලි ගුවන් තොටුපලෙන් පිටත් ව තිබූ සෞදි යානයට අඩි 14,000 ක් දක්වා ඉහළට නගින ලෙස උපදෙස් ලැබී තිබිණි. කෙසේ වෙතත් කසකස්තාන නියමුවන් අඩි 15,000 මට්ටමේ නොනැවතී සිය යානය අඩි 14,000 ත් ඉක්මවා පහතට ගෙනැවිත් තිබූ බව සඳහන් වේ. ඔවුන් මෙම වරද හඳුනාගෙන තිබුණේ තරමක් ප්‍රමාද වී ය. එය හඳුනාගත් සැණින් නියමුවන් යානය නැවත ඉහළට ගෙන යාමට උත්සාහ කර තිබූ අතර ඒ වනවිට ඊට ඉහළින් තිබූ සෞදි යානය සමග ගැටී තිබුණේ එම අවස්ථාවේ ය. කසකස්තාන යානයේ පිටුපස වල්ගය වැනි කොටස සෞදි යානයේ වම්පස තටුව හරහා ඇදී යාමෙන් යානාවල එම කොටස්වලට හානි සිදුව තිබිණි. යානා දෙකම නියමුවන්ගේ පාලනයෙන් ගිලිහී අනතුරට පත් ව තිබුණේ එයින් පසුව යි. කසකස්තාන යානය නැවත ඉහළට ගෙන යාමට එහි නියමුවන් උත්සාහ නොකළා නම් ඊට සෞදි යානයට යටින් දිල්ලි ගුවන් තොටපුල වෙත සේන්දු වීමට හැකියාව තිබූ බව මේ පිලිබඳ විශේෂඥයන්ගේ අදහස විය. කසකස්තාන නියමුවන් ගුවන් ගමන් පාලක මධ්‍යස්තානයේ උපදෙස් නිසි පරිදි අනුගමනය නොකිරීමට හේතුව ඔවුන්ට ඉංග්‍රිසි භාෂාව හරිහැටි නොතේරීම වන්නට ඇති බවට ද අදහස් ඉදිරිපත්ව තිබිණි.
අනතුර නිසා සෞදි යානයේ වම්පස ගිනි ගැනීමකට ද ලක්ව තිබූ අතර ගුවනේදී ම ඇතැම් කොටස් කැඩි වෙන්ව ගිය බව ද සඳහන් වේ. එය පොලොවට කඩා වැටී තිබුණේ පැයට කි.මී. 1,130 ක් තරම් අධික වේගයකිනි. කසකස්තාන යානයට ලොකු හානියක් සිදුව නොතිබිණි. සෞදි යානයේ සුන්බුන් හර්යානා ප්‍රාන්තයේ ධානි නැමැති ගම්මානයකට ද, කසකස්තාන යානයේ සුන්බුන් බිරෝහාර් නැමැති ගම්මානයේ කුඹුරු යායකට ද කඩා වැටී තිබිණි. යානා දෙකේම මගීන් කිහිප දෙනෙකු පණ පිටින් සොයා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට හැකි වීම විශේෂත්වයක් විය. සෞදි යානයේ මෙවැනි මගීන් දෙදෙනෙකු සොයා ගැනුණේ තම අසුන්වලට ආසන පටිවලින් සම්බන්ධව සිටියදී ම ය. නමුත් මෙම මගීහු සියලු දෙනා බරපතල තුවාල ලබා සිටියෙන් පසුව මරණයට පත් වූහ.
නිහාල් පීරිස්