උඩ මාලිබොඩ ඇලි හත ට චාරිකාවක්

කොළඹ සිට කිලෝමීටර් 50 – 55ක් පමණ දුරින් පිහිටි සුන්දර ස්ථානයකටයි අද අපි සංචාරය කරන්න සූදානම් වන්නේ. ඒ දැරණියගල උඩමාලිබොඩ පිහිටි “ඇලි හත” දියඇලි බලන්න. දුර සිට නරඹන විට එකසේ සුන්දරත්වයෙන් යුතු ව කඩා හැලෙන දිය ඇලි හතක් ගැන මේ කතා කරන්නේ. නමුත් පොදුවේ මේ දියඇලි හත හඳුන්වන්නේ ඇලි හත දියඇල්ල ලෙසින්.

උඩමාලිබොඩ කියන්නේ ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශය යි. ඉස්සර නම් වැඩිම වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශය ලෙස හඳුනාගෙන තිබුණේ වටවල යි. නමුත් දැන් කාලගුණික වෙනස්කම් මතින් එම ස්ථානය මාලිබොඩට හිමි වී තිබෙනවා. ශ්‍රී පාද අඩවියට මේ ප්‍රදේශය බොහොම සමීපයි. මේ “ඇලි හත” දිය ඇලි පිහිටා තිබෙන්නේ ශ්‍රී පාද අඩවිය තුළයි. දුරින් හිඳ බලන විට මෙය දිස් වන්නේ කන්ද උඩ සිට දිය ඇලි හතක් එකටම තට්ටු හතක් ලෙස ගලා හැලෙන ආකාරයට යි. එය හරිම සුන්දර දසුනක් .පොදුවේ ඇලි හත කියනවා මිස මෙය මෙම දිය ඇලිවල වෙන්වූ විශේෂිත නාමයන් නෑ.

හැටන් පාරේ දෙහිඕවිට හරහා දැරණියගලට ගොස් එතැනින් උඩමාලිබොඩට යන්න ඕනේ. දැරණියගලින් උඩමාලිබොඩ බස් එකේ ගියත්, තමන්ගේම වාහනයක ගියත් උඩ මාලිබොඩ කඩමණ්ඩිය දක්වා පමණයි වාහනයකින් යා හැක්කේ. එතැන සිට කිලෝමීටර් 3 ක් පමණ පයින් යන විට පළමු දියඇල්ල දකින්නට ලැබෙනවා. මෙය තේවතු මැදින් වැටුණු ගල් සහ කඳු සහිත දුෂ්කර පාරක්. ඒ නිසා තමයි වාහනයකින් ගමන් කිරීම අසීරු වී තිබෙන්නේ.මේ තේ වතුවලට සුවිශේෂ නාමයක් නෑ. තේ වතු අවසානයේ ශ්‍රී පාද අඩවිය ආරම්භ වෙනවා .එහි ශ්‍රී පාද අඩවිය පිළිබඳව සඳහන් කරන ලද විස්තර සහිත පුවරුවක්ද දැකගන්නට ලැබෙනවා.

මේ ඇලි හත බලන්න යන පාරේ පෞද්ගලික කුඩා විදුලි බලාගාරයක් ඉදිකර තිබෙනවා. එම පාරේ පළවෙනි දියඇල්ල පාමුලටම යන්නට පුළුවන්. ඉන්පසු එම ඇල්ල පසුකර කන්ද නැග තවත් මීටර් දෙසීයක් පමණ යනවිට ඊළඟ දියඇල්ල හමු වෙනවා. නමුත් වැසි කාලයට පමණයි එම දෙවැනි දිය ඇල්ලේ වතුර දකින්නට ලැබෙන්නේ. ඊට හේතුව පෞද්ගලික ජල විදුලි බලාගාරයට මෙහි වතුර හරවා තිබීමයි. එයින් මේ ඇලි හතේ සුන්දරත්වය යම් පමණකට හීන වී තිබෙනවා.

තුන්වෙනි දියඇල්ල වෙත යාමට මෙතැන් සිට තවත් මීටර් 350 – 400ක් පමණ දුරක් යා යුතුයි. එය ඉතාමත්ම සුන්දර දිය ඇල්ලක්.
මේ ආකාරයට දිය ඇලි හත ම ඔබට දැකගත හැකියි. ඇත්තෙන්ම මෙය ශ්‍රී පාද අඩවිය තුළ නිමැවුණු සොබාදහමේ අපූර්වතම සුන්දර නිර්මාණයක්. නමුත් මෙහි යාමට තිබෙන අපහසුව නම් බොහෝ දුරක් දෙපයින් ඇවිද ගෙන ගල් සහ කඳු සහිත දුෂ්කර පාරක යාමට සිදු වීමයි. ඒ වගේම මේ ප්‍රදේශයේ බොහෝ සෙයින් කූඩැල්ලන් සිටිනවා.

එසේම වන සතුන් ද මෙහි ගැවසෙන නිසා මේ ප්‍රදේශය පිළිබඳ හොඳින් දන්නා කෙනෙකුගේ සහය ලබා ගැනීම වැදගත්. දැරණියගල සිට උඩමාලිබොඩ දක්වා වාහනයකින් යන අතරතුරදී ද තැනින් තැන ඈතින් පෙනෙන මෙම ඇලි හත දර්ශනීය ලෙස රිදී පැහැයෙන් දැක ගන්නට ලැබෙනවා. වෙනස් වෙනස් ස්ථාන සොයා සංචාරයේ යෙදීම ප්‍රිය කරන ඔබට උඩමාලිබොඩ පිහිටි මෙම ඇලිහත ද ඉතාම සොඳුරු චමත්කාරයක් සිතට ඇති කරනවාට සැකයක් නෑ.

වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානයේ කැඳවුම්කරු පරිසර සංරක්ෂණවේදී  ජයන්ත විජේසිංහ

ඉන්දු පෙරේරා

හරිත දනව්ව