අපේ රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති කරකැවීම

මේ දවස් වල ලංකාවේ රූපවාහිනී නාලිකා වල විකාශය වෙන ප්‍රවෘත්ති දකින විට හිතට ඇති වෙන්නේ කලකිරීම මුසු වේදනාවක්. මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ එක එක විදිහට කරකව.. කරකව කියන්නේ එකම ප්‍රවෘත්තිය. ආණ්ඩුවේ ඇමතිවරු රූපවාහිනී කැමරා ඉදිරිපිටට ඇවිල්ලා ජනතාව ගොනාට අන්දවමින් කියන බොරු බේගල් තවමත් රූපවාහිනී නාලිකා විකාශය කරන්නේ කිසිම හිරිකිතයක් නැතිව. ඇත්තටම ඇමතිවරුන්ගේ බොරු බේගල් විකාශය කරන්න නැතිව ප්‍රවෘත්ති කියන්න බැරිද? මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ නැති බණේම රටේ ජනතාව අහනවා මිසක් රටේ මිනිසුන් බොහෝ දෙනෙක් මෙම අර්බුදකාරී අවස්ථාවේ තමන්ගේ ධෛර්යයෙන් හා උත්සාහයෙන් නැගී සිටින්නට දරන උත්සාහය ගැන අහන්නවත්,කියවන්නවත්, දකින්නවත් ලැබෙන්නේ නෑ.

රටේ තෙල් නෑ. ඒත් තෙල් ඇමතියෙක් ඉන්නවා. විදුලිය කපන්න ඇමතියෙක් ඉන්නවා. රටේ ආහාර නැහැ… ඒත් ආහාර ඇමතියෙක් ඉන්නවා. ධීවරයන්ට මුහුදු යන්න විදිහක් නෑ… හැබැයි ධීවර ඇමතියෙක් ඉන්නවා. රටේ හාල් නෑ…. හැබැයි කෘෂිකර්මාන්ත ඇමතියෙක් ඉන්නවා. රටට එන සංචාරකයන් නන්නත්තාර වෙලා… හැබැයි සංචාරක ඇමතියෙක් ඉන්නවා. රටේ ගමනාගමනය අඤ්ඤකොරොස් වෙලා.. හැබැයි ගමනාගමන ඇමතියෙක් ඉන්නවා. රටේ රෝහල්වල බෙහෙත් නැතුව රෝගීන් මිය යනවා… හැබැයි සෞඛ්‍ය ඇමතියෙක් ඉන්නවා. රටේ පාසල් වහලා… ඒත් අධ්‍යාපන ඇමතියෙක් ඉන්නවා. ඉතින් දැන් කල්පනා කරල බලන්න රටේ ප්‍රධාන සියලුම දේවල් අකර්මණ්‍ය වෙලා තියෙනකොට මේ ඇමති රොත්තක් නිකන් ඉඳගෙන පඩි ගන්නවා.

මොවුන්ට කරන්ඩ වැඩකුත් නෑ. මුළු රටම ලොක් වඩුන් වෙලා. ඒත් රටේ ජනතාවගේ බදු මුදල්වලින් වැටුප් ගෙන ආණ්ඩුවේ වාහන වලට පැට්‍රෝල් ගහගෙන රට පුරාම, එහෙමත් නැත්තං ලෝකෙ පුරහම සවාරි යනවා. තෙල් ඇමති කාංචන මහා පම්පෝරියක් වගේ පින්තූරයක් දානවා අරාබි කාරයෙක් එක්ක. මේ වෙලාවේ රටේ ජනතාවට ඕන කරන්නේ ඒ වගේ පම්පෝරි ගහන පින්තූරු නෙවෙයි. පින්තූරය පළවෙනවත් එක්කම රටට තෙල් නැවක්… දෙකක් ඇවිල්ල ගොඩබෑවා නං අන්න කංචන දිනුම්. අපිත් එක්ක ඉන්නවා එලිසබත් රැජින එක්ක පින්තූරු ගත්ත මිනිස්සුත්. පින්තූර පෙන්නලා මිනිස්සු අන්දපු කාලේ ගෙවිලා සෑහෙන කල් කියලා කංචන වගේ තරුණ ඇමතියෙක් නොදන්න කමින්ම පේනවා මේ දේශපාලුවෝ මොනතරම් මට්ට, මඤ්ඤං පොරවල්ද කියලා.

රූපවාහිනි ප්‍රවෘත්ති නාලිකා හරහා මොවුන්ට සළුපිළි අන්දවන්න එපා කියලා ජනතාවගේ නාමයෙන් ඉල්ලා සිටිනවා.මෙම නාලිකා හරහා පසුගිය මාස දෙකක කාලය තුළ දී ඇමතිවරු ජනතාවට දුන් පොරොන්දුවලට සාපේක්ෂව රටට මොනවද සිද්ධ උනේ කියලා මොහොතක් සොයා බලන්න.තමන්ගේ කාලය ප්‍රයෝජනවත් දෙයකට යොදවමින් හා ගොවිතැනින්,විවිධ කර්මාන්ත ආදියෙන් දියුණු වන්නට උත්සාහ කරන මිනිසුන්, ගැහැනුන් පිළිබඳ දවසට සැරයක්‌වත් ප්‍රචාරයක් ලබා දෙන්න. හැම වෙලේම නැති බණේ අහන කොට මිනිස්සු පිස්සො වේවි.

අනුර හොරේෂස් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් සිට

එතෙර - මෙතෙර