රජය වෙනස් නොකර ආණ්ඩු වෙනසකින් විතරක් නම් අපිට “ගොඩ යන්න”බැරි වෙයි

රටේ එදිනෙදා පාලන කටයුතු කරන්නෙ ආණ්ඩුවද?නැත්නම් රජයද? වර්තමානයේ මේ ප්‍රශ්නය සෑහෙන්න වැදගත් .මොකද මුලු රටම අර්බුද ගොඩකින් වෙලිලා ඇඹරිල ගිහිල්ල තියෙන වෙලාවක සාමාන්‍ය මිනිස්සු බනින්නෙ ආණ්ඩුවට. ආණ්ඩුවක් කියල සාමාන්‍යයෙන් කියන්නෙ දේශපාලනඥයන් කණ්ඩායමකට.ඡන්දෙකින් පත්වෙලා එන මන්ත්‍රී වරුන්ගෙන් බහුතරය හිමි කණ්ඩායම ආණ්ඩුවක් පිහිටවනවා. ඒ ආණ්ඩුවක් පිහිටවනවා කියලා කියන්නෙ කැබිනට් මණ්ඩලයක් පිහිටවල අගමැති කෙනෙක් පත්කරල අමාත්‍යංශ නිර්මාණය කරල ඒවට ඇමතිවරු සහ ලේකම්වරු පත් කරන එකටයි.එතකොට මේ ආණ්ඩුවට කරන්න තියෙන්නෙ මොකක්ද?.

ආණ්ඩුව කරන්න ඕන රාජ්‍ය පාලනය මෙහෙයවීම හා ඒ පිළිබඳව වගකීම ගැනීමයි. රාජ්‍යය කියන ව්‍යුහය ස්ථාවරයි.රාජ්‍යය යනුවෙන් හදුන්වන භූගෝලීය ප්‍රදේශය.එය පාලනය අරභයා පනවන ලද නීති රීති පද්ධතිය හා සම්ප්‍රදායන් ඒ තුළ පවතින සංස්කෘතික අනන්‍යතාවන්, ජීවත්වන මිනිසුන්, සතුන්, ගහකොළ ඛනිජ සම්පත් වගේම දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල රාජ්‍ය ව්‍යවසායන් ආදී සියල්ල රාජ්‍යයට අයත් දේවල්. රාජ්‍ය පාලනය පිළිබඳව පොදුවේ පිළිගත් නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.ඒආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පුරවැසියන්ගෙන් ඡන්ද බලය හිමි අයගේ ඡන්දයෙන්‍ රාජ්‍ය නායකයෙක් වසර පහකට වරක් පත් කරනු ලබනවා.ඒ නායකයාට ජනාධිපති කියා අපි ව්‍යවහාර කරනවා.රාජ්‍ය නායකයාට නිල බලයෙන්ම ලැබෙන වගකීම් තමයි සන්නද්ධ හමුදාවල සේනාධිනායක ධුරය. ආණ්ඩුවේ නායකත්වය හා අමාත්‍ය මණ්ඩලයේ නායකත්වයත් ජනාධිපතිවරයටයි හිමි වෙන්නෙ.

දැන් රටේ පාලනය මෙහෙයවන ආණ්ඩුවට අගමැති ඇතුලු කැබිනට් මණ්ඩලය සමග ජනාධිපතිවරයත් අයත් වෙනවා.ජනාධිපතිවරයට නිල බලයෙන්ම එන එකක් නිසා ආණ්ඩුව විසිරුණාට ජනාධිපති වරයට මොකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ; අවුරුදු පහක් ඇතුලත.ආණ්ඩුව විසුරුණහම ජනාධිපතිවරයා අලුත් ආණ්ඩුවක් හදන්න වැඩකරන්න ඕන.ඒ නව ආණ්ඩුව හදන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගෙන් කෙනෙක්ව අගමැති හැටියට පත් කරල. අමාත්‍යංශ හිතෙන හැටියට හදල ඒවාට මන්ත්‍රීවරුන්ගෙන්ම ඇමතිවරු පත්කරල ආණ්ඩුවක් හදාගන්න ජනාධිපතිට පුලුවන්.දැන් පහුගිය දවස්වල හිටපු අගමැති අස්වුණාම ආණ්ඩුව විසිරිලා ගිහින් ජනාධිපතිවරයා අලුත අගමැති කෙනෙක් පත්කරල අළුත් ආන්ඩුවකුත් හදා ගත්ත නෙ.

දැන් මහජනතාවත් නිලධාරීනුත් සියලුදෙනාම බලා ඉන්නව නව ආණ්ඩුව මේ අර්බුදේට මොකක්ද දෙන විසදුම කියල.එතකොට මේ අර්බුදයට විසදුම් ගේන එක රජයට අයිත් නැති දෙයක්ද?ඒක ආණ්ඩුවට විතරක් පවරල රජයට පැත්තකට වෙලා ඉන්න පුලුවන්ද?මෙන්න මේ ප්‍රශ්නයයි අද මතුවෙලා තියන ගැටලුව .මේ අර්බුදය නිර්මාණයට ආසන්න හේතුව වුණේ රජයේ නායකයා හැටියට ජනාධිපතිවරයා ගත්තු අදූරදර්ශී තීන්දු තීරණ කියලයි රටේ බොහෝ දෙනා කියන්නෙ. විශේෂයෙන් රාජ්‍ය ආදායම අඩු කර ගනිමින් ව්‍යාපාර වලට විශාල බදු සහන දීම, කාබනික වගාව රටේ ක්‍රියාත්මක කරන්න රසායන පොහොර කෘමිනාශක වල්නාශක ආනයනය තහනම් කිරීම වගේ ඒවා ජනාධිපතිවරයම ගත්තු තීරණ.පස්සෙ ඒවා ආණ්ඩුවත් අනුමත කළා.ඒත් එක්කම කොවිඩ් වසංගතයට අවශ්‍ය එන්නත් කල්වේලා ඇතුව ඇණවුම් නොකිරීම.

ඒ නිසා සාපේක්ෂව රෝගය වැලඳුණු අයගෙන් ඉහල ප්‍රතිශතයක් මියයාම වගේ දේවල් ජනාධිපතිගෙ තීරණත් එක්ක ආපු ගැටලු.මේ සියලු දෙයින් පේන්නෙ ආණ්ඩුව රජයේ නායකයා කියන විදියටම වැඩ කළා මිසක් රාජ්‍යයේ පාලනය මෙහෙයවීම කියන කාරණය ගැන සැලකිල්ලක් නොදක්වපු බවයි.ඒත් එක්කම රජයේ නායකයා පත්වෙලා සාමාන්‍යයෙන් නොකළ යුතු රජයේ වෙනස්කම් කීපයකුත් කරපු බවයි පෙනුණෙ. විශේෂයෙන්ම මහ බැංකු අධිපති ධුරය ආණ්ඩුවේ තනතුරක් නෙවෙයි. එය රාජ්‍ය තනතුරක්.ඒකත් වෙනස් කරලා අණ්ඩුවට ඕන කෙනෙක් පත්කර ගත්තා.ඊළඟට ආර්ථිකය ගැන ස්වාධීනව ගත යුතු තීන්දු තීරණ මහ බැංකුවෙන් ගත්තෙ නෑ .ඒක රාජ්‍ය ආයතනයක් වුණාට වැඩ කළේ ආණ්ඩුවෙ ආයතනයක් විදියටයි.මූල්‍ය මණ්ඩලය තුළ ආණ්ඩුවේ නියෝජිතයෙක් ලෙස මුදල් ලේකම්වරයා ඉන්නවා.ඊට එහා ගිහින් මහ බැංකු අධිපති හා මුල්‍ය මණ්ඩලයට පත් කළ සාමාජිකයෙකු මගින් ආණ්ඩුවට ඕනෑ විදියට මහ බැංකුව පාලනය කිරීමේ ප්‍රතිඵල හැටියට විදේශ විනිමය සංචිත කඩා වැටී රට අර්බුදයටම ගියා.

මේ අර්බුදයට ගිහින් බංකොලොත් භාවයත් ප්‍රකාශයට පත් කළ රාජ්‍යයේ ඇද වැටීමට ආණ්ඩුව පමණක් නොවෙයි; රජයත් එකසේ වගකිව යුතුයි.රජයේ නායකයා ගත්තු තීරණ ඉවක් බවක් නැතුව කරබාගෙන අනුමත කළේ ආණ්ඩුවයි.එහෙම අන්තනෝමතික තීන්දු ක්‍රියාත්මක කළේ රජයයි රාජ්‍ය නායකයාගේ තීරණ පිළිබඳව යම් සමාලෝචනයක යෙදීම රාජ්‍ය පාලනය මෙහෙයවන අමාත්‍ය මණ්ඩලය වෙතින් ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට බලාපොරොත්තු වෙනවා.එපමණක් නොවෙයි අමාත්‍ය මණ්ඩලයේ නායකයා වුණු ජනාධිපතිත් සාමාජිකයොත් තනතුරේ කාර්‍ය භාරය ආරම්භ කිරීමට පෙර දෙන ප්‍රතිඥාවකින් නැත්නම් දිවුරුමකින් බැඳිලයි ඉන්නෙ.ඒ දිවුරුම අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීති පද්ධතියට පිටින් තීන්දු තීරණ ඔවුන්ට ගත නොහැකියි. මේ කාරණේ අනුව විතරක් බැලුවත් ජනතාවගේ ආරක්ෂාව, ආහාර සම්පාදනය, සෞඛ්‍ය ආරක්ෂාව වගේ දේවල් සුරැකිය,යුතු,රජයට ඒ කරුණු අනතුරේ දාන තතීන්දු ගත නොහැකියි.අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් හෝ ජනාධිපතිවරයා තමන් බැඳී ඇති දිවුරුම හෝ ප්‍රතිඥාව ගැන කිසිදු තැකීමක් නොකර මේ තීන්දු ගෙන ඇති බව පැහැදිලියි.

ඊළඟට ආණ්ඩුවේ ප්‍රධානතම ව්‍යුහයක් වන අමාත්‍යංශ හා ඒවායේ ලේකම්වරුන් ක්‍රියාකර ඇත්තේ අන්ධයින් වගේ.කෘෂිකර්ම,අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්ව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමේ තීන්දුවේ අහිතකර ප්‍රතිවිපාක පෙන්වා දීමට උත්සාහ කර ආණ්ඩුව ඊට සවන් නොදීම නිසා තනතුරෙන් ඉවත්වූ රෝහණ පුෂ්ප කුමාර මහතා හැර කිසිදු ලේකම්වරයෙක්‍ තමන් දැරූ තනතුරට අනුව ආණ්ඩුව ගමන් කළ වැරදි මාවත නිවැරදි කිරීමට උත්සාහ ගත් බවක් දැනගන්නට නැහැ.ඔවුන් කළේ වරද දැක දැකත් වැල යන අතට මැස්ස ගසා නිහඬ වීමයි.මේ සියල්ලේ ප්‍රතිඵල අද භුක්ති විඳීමට සිදුව තිබෙන්නේ රටේ පොදු ජනතාවටයි.

රජය හැටියට දෙපාර්තමේන්තු, සංස්ථා මණ්ඩල රාජ්‍ය ආයතන ඇතුලු සමස්ත රාජ්‍ය ව්‍යුහයම ස්වයං නිර්වින්දනයකට පත් කොට ආණ්ඩුවට ඕනෑ හැටියට ක්‍රියා කිරීම අප රටේ සිරිතක්.රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුත්තේ රටේ ස්ථාපිත නීතිමය රාමුව හා රජයේ නීති පද්ධතියට අනුවයි.එහෙම නැතුව බලයේ සිටින ආණ්ඩුවට ඕනෑ විදිහට නොවෙයි.නමුත් රාජ්‍ය ආයතන සියල්ලම පාහේ ඒ සියල්ල අමතක කොට විෂය භාර ඇමතිවරයාගේ අභිමතයට නටන රූකඩ බවට පත්වන්නේ ඒවායේ ප්‍රධානීන්ගේ දීන, ගැති ලක්ෂණ නිසා බව අකමැත්තෙන් වුවත් කිව යුතුයි. අප රටේ වලංගු රජයේ ඉඩම් ආඥා පණතට අනුව ගංගා ඇල දොල රක්ෂිත කවර කරුණක් මත වත් බදු දීම් කළ නොහැකියි. ඒවා රක්ෂිත භූමි ලෙස ආරක්ෂා කළයුතු බව නීතියෙන්ම දක්වා තිබෙනවා.එසේ වුව ද කුඩා ජලවිදුලි බලාගාර සඳහා රක්ෂිත බිම් තාවකාලික පදනමින් අවසර පත්‍ර මත බදුදී ඇත්තේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවයි..

මේ ගැන පෞද්ගලික අත්දැකීමක් මටත් තිබෙනවා. මා දිසාපති වරයා ලෙස කටයුතු කළ දිස්ත්‍රික්කයක කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් අවසර ගත්තේ එවක මා අයත් අමාත්‍යංශය භාර අමාත්‍ය වරයාගේ සමීපතමයෙක්ද අයත් වුණු සමාගමකින්.එහෙත්,දැඩි මහජන විරෝධයක් මීට එරෙහිව පැන නැගුණා.අදාල ප්‍රාදේශීය ලේකම්වරයාට අමාත්‍යවරයාගේ සමීපතම හිතවතුන්ගෙන් දැඩි බලපෑමක් එල්ල වුණා.ප්‍රාදේශීය ලේකම්වරයා තමාට එන බලපෑ ගැන මට දුරකථනයෙන් විස්තර කළා.මම ඔහුට දුරකථනයෙන් මැසිවිලි නොනඟා මේ කරුණ ගැන මගෙන් උපදෙස් ලිඛිතව ඉල්ලන ලෙස කියා සිටියා.පසුව ඔහු කළ ලිඛිත විමසීමට පිළිතුරු ලෙස ගංගා රක්ෂිත කවර කරුණකටවත් බදු දිය නොහැකි බවට වන ඉඩම් නියෝගය උපුටා දක්වා මේ සඳහා ඉඩම් බදු දිය නොහැකි බැව් අදාල පාර්ශව වලට දන්වන ලෙසට උපදෙස් අදාල ප්‍රාදේශීය ලේකම්වරයාට ලිඛිතවම යැව්වා.දින දෙකක් තුළ අමාත්‍ය වරයා මා අමතා ඉතා සුහදව කියා සිටියේ ම`විසින් බදුදීමට නොහැකි බවට උපදෙස් දුන් ඉඩම බදු දිය හැකි බව ඉඩම් කොමසාරිස්වරයා පවසන බවයි.

මම පණතේ හා ඉඩම් නියෝගවල විධිවිධාන පැහැදිලි කර දිසාපති වරයා ලෙස එය මට එය කළ නොහැකි බැව් පෙන්වා දුන්නා ඔහු මගේ කරුණු දැක්වීම පිළිගන්නා බවත් ඉඩම් කොමසාරිස්වරයා එසේ තිබියදී ඉඩම බදු දිය හැකියැයි කීවේ ඇයිද? යන ප්‍රශ්නයත් ඒ සමඟම මතුවන බවත් කියා සිටියා.එවිට මා ගත් කටටම කීවේ ඉඩම් කොමසාරිස් මෙම නීතිමය තත්වය නොදන්නවා හෝ දන්නවා වුණත් එය කෙලින් ඔබතුමාට කීමට කොන්දක් නැතිවීම යන දෙකෙන් එකක් ඊට හේතු විය හැකි බවයි.ඇමති වරයා මහ හයියෙන් සිනාසී දුරකතනය විසන්ධි කළේ මට ස්තූතියද පළ කරමින් .ඔහු මගේ තීරණය පිළිගත්තා පමණක් නොව අදාල පාර්ශවයටද දන්වා තිබුණේ ඒගැන කිසිවක් කළ නොහැකි බවයි.

ඒ අනුව ඒ ව්‍යාපෘතිය එතනම නතර වුණා. රජයේ නිති පද්ධතිය අනුව ක්‍රියාත්මක විය යුතු රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවට ඕනෑ විදිහට මිස නීතියට අනුව නොවේ.තවත් අවස්ථවක රටේ සිටි රාජ්‍ය නායකයෙකුට කවුදෝ දුන් ලණුවක් නිසා සියලුම යාන්ත්‍රික කියත් භාවිතය තහනම් කිරීමට සිතී තිබුණා.ඔහු වහාම නියෝග කළේ යාන්ත්‍රික ඇති අය ඒවා ළඟම පොලීසියේ ලියාපදිංචි කළ යුතු බවයි.පොලිසියත් මේවා ලියාපදිංචි කරන්න පටන් ගත්තා.ඒ ආසන්න දිනකදී ආරක්ෂක අමාත්‍යංශයේ රැස්වීමකදී මම පොලිසියේ ඉහල නිලධාරියෙකුන් යාන්ත්‍රික කියත් ලියාපදිංචි කරගන්නේ කවර නීතියකින් පැවරුණු බලයක් මත ද කියා අසා සිටියා.එවිට ඔහු දුන් පිළිතුර වුණේ එබඳු කාර්යයක් කිරීමට බලපැවැත්වෙන නීතියක් නැති බවයි.යාන්ත්‍රික කියත් ලියාපදිංචිය ගැන ඉන්පසු අසන්නට ලැබුණේ නෑ.මේ උදාහරණ වලින් පැහැදිලි වන්නේ රටේ පාලනයේ රාජ්‍ය සතු කොටස ද ආණ්ඩුව හා එහි බලවතුන් විසින් තමන්ට අවශ්‍ය ලෙස මෙහෙයවන බව නොවේද?.

දැන් මෙතරම් අර්බුදයකදී රජය කළ යුතු දේ පවා නොකර ආණ්ඩුවටම ඕනෑ දෙයක් කිරීමට සැදී පැහැදී රජය පැත්තකට වී බලා සිටින අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඛනිජ තෙල් ආනයනය හා බෙදාහැරීම ඊටහොඳම උදාහරණයයි.රටේ අවශ්‍යතාවට තෙල් ගෙන්වීම හා බෙදාහැරීම කළ යුත්තේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවයි.නමුත් ඔවුන් කරබාගෙන සිටියදී ඒ ගැන ක්‍රියාකරන්නේ ඇමතිවරයා සහ අගමැතිගේ නිලධාරීන්‍.රජයේ අංශයක් විසින් කළ යුතු දේ බදාගෙන කරන්නේ ආණ්ඩුවේ ඇමති වරු.රජයේ ටෙන්ඩර් කටයුතු ක්‍රියාත්මක කිරීම ද රජය විසින්ම කළ යුත්තක්.

නමුත් අද අවසාන තීරණය කිරීම ආණ්ඩුවේ ඇමති මණ්ඩලයට භාරව තිබෙනවා.නමුත් ඇමති මණ්ඩලයෙන් තීරණයක් ගැනීමට ඇමති මණ්ඩල පත්‍රිකාව අත්සන් කළ යුත්තේ ආණ්ඩුවේ ඇමති.ඇමති මුණ ගැසී කතාබහ කරගෙන “ගනු දෙනු තීන්දු නොකර” ඇමති මණ්ඩල පත්‍රිකාවට අත්සන් ගත නොහැකි බව ටෙන්ඩර් කරුවෝ දන්නවා.ඒ අනුව රජය මෙහෙයවීම සඳහා ඇමති මණ්ඩලයට ඇති බලය අවසානයේ රජයේ නීත්‍යානුකූල ගනුදෙනුවකින් ගාණක් කපා ගැනීමට යස අගේට භාවිතා වන්නේ අන්න එහෙමයි..

පවතින,අර්බුදයේදී ඛනිජ තෙල් මිලදී ගැනීම හා බෙදාහැරීම නම් වන රජය විසින් කළ යුතු කාර්යක් වුණත් දැන් ඛණිජතෙල් මිල දී ගැනීම ඇමතිගේ කාර්යක් ලෙසයි හැමෝම සිතන්නේ.බෙදා හැරීම පිරවුම්හල් හිමියාට ඕනෑ හැටියට.පිරවුම්හල ආක්‍රමණය කරන තෙල් රැස් කරන්නන්, පොලිසියේ නිලධාරීන්, ප්‍රාදේශීය මැරවරයින්, ගමේ වටේ,පිටේ ඉන්නා අය, පාතාලයින් සන්නද්ධ හමුදා සාමාජිකයන් අද මේ අපේ රටේ තෙල් බෙදා හැරීමේ කොටස් කරුවන්.ඛනිජ තෙල් විකිණීමේ බලය ඇති ඛනිජ තෙල් සංස්ථාව හා ලංකා අයි ඕසී සමාගම දෙක ඒකාබද්ධව අදාල අමාත්‍යංශයට රටේ ඉන්ධන හිඟයක් පවතින බැවින් සාධාරණව වාහනයකට සතියකට ලබාදෙන ඉන්ධන උපරිමය තීරණය කර එය පමණක් නිකුත් කිරීමට ක්‍රමයක් සැකසීම පහසුවෙන් කරන්න පුළුවන්.

නමුත් ඒ ආයතන ව්‍යුහයට ඒගැන වගේ වගක් නැහැ.රටපුරා ඉන්ධන හල්වල පුද්ගල ගැටුම් ඉන්ධන හල් සේවකයින් සමග ගැටුම් විවිධ පිරිස් පොලිසිය සමඟ හා හමුදා සාමාජිකයින් අතර ඇති වන ගැටුම් සේම පොලීසිය හා අමුදාව අතර ඇති වන ගැටුම් ආදී ලෙස ගැටුම් විවිධාංගීකරණය වී තිබෙනවා.මීළඟ නැව් වලින් ගෙනෙන තෙල් බෙදා හැරීමේදී ඉන්ධන හල් අසල එකෙක් දෙන්නෙක් මිය යාමට වුවද ඉඩ ඇතත් අදාල රජයේ අංශ හා නිලධාරීන් නිහඬයි.මෙය ආණ්ඩුවේ වුවමනාවට ජනතාව හා ආරක්ෂක අංශ අතර ගැටුම් නිර්මාණය කිරීමට කරන වැඩක් යැයි ජනතාව කරන චෝදනා ද අමතක කරන්න බැහැ.

මේ සියල්ලෙන්ම පෙනෙන්නේ අපේ රටේ අර්බුදය ඇත්තේ රජය මෙහෙයවීමට හදාගන්නා ආණ්ඩු විසින් රජය අකර්මන්‍ය කර තමන්ට හිතූහිතූ හැටියට ඒකටයුතු කිරීමට ආණ්ඩුවේ සාමාජිකයින්ට ඉඩ හදා දී තිබීම නිසා බවයි. ඒ නිසා ආණ්ඩු වෙනසකින් පමණක් රටගොඩ ගත නොහැකි බවත් මුලුමහත් රාජ්‍ය යන්ත්‍රයම බලවත් ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු බවත් මනාව පැහැදිලි වන බව කිව යුතුමයි.

සුනිල් කන්නන්ගර

හිටපු අම්පාර,රත්නපුර සහ කොළඹ දිසාපති

 

 

එතෙර - මෙතෙර