යමක සුලබ වීම මත එහි අගය අඩුවීම ස්වභාවිකවම සිදු වන්නකි. මෙය වර්තමානයේ ද නොයෙක් අයුරින් අද්දකින්නට ලැබෙන දෙයක් බවට පත්වී තිබේ. එහෙත්, එහි අභාග්‍ය සම්පන්නම කරුණ නම් බුදු දහමේ උත්තරීතර ම කාර්යයක් වන ධර්ම දේශනය ද මේ වන විට එවැනි තත්වයකට ඇද වැටීම ය. යමක දුලබ බව අනුව සියල්ලෝම එය කෙරෙහි උනන්දු වෙති. එය සොයා යාමට පෙළඹෙති. එහෙත්, එහි සුලබ බව අනුව එවැන්නක් සිදුවේ. ලෝක සම්මතයට අනුව මැණික් වැනි ඛනිජ වර්ගවලට වටිනාකමක් හිමි වී ඇත්තේ එහි දුලබතාව ද අනුව ය. එහෙත්, යම් හෙයකින් තිරුවනා කැට ද මැණික් සේ අතිශය දුලබ වී නම් ඒවා ද වටිනා ඛනිජ සම්පත් ලෙස ගැනෙනු ඇත. අද ශ්‍රී ලාංකේය ජන සමාජයේ බොහෝ දෙනකුට තමන් කැමති ඕනෑම වේලාවක ධර්ම ශ්‍රවණයකට සවන් දිය හැක.
ඒ සඳහා තමන් භාවිතා කරන ජංගම දුරකථනය වුව යොදා ගත හැක. එමෙන්ම දිනපතා ධර්ම දේශනා වැඩිම ගණනක් ප්‍රචාරය වන ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා ද තිබේ. මේ කිසිවක් නරක, අයහපත් දේ යැයි කිව නොහැක. එහෙත්, යහපත පිණිස යොදා ගත හැකි මෙවැනි දේ ද නූතන සමාජය අයහපත පිණිස යොදා ගෙන ඇති බව පැහැදිලිවම පෙනී යයි. අප සමාජයේ කුඩා දරුවන්ට පවා කට පාඩමින් කිව හැකි මංගල සූත්‍රයේ “කාලේන ධම්ම සවනං” අනුවෙන් පාඨයක් තිබේ.එහි කාලේන යන්නෙන් අරුත් දෙකක් පළ කරන බව ධර්ම ශාස්ත්‍ර ගවේශකයෝ කියති.ඉන් එක් කොටසක් පවසනුයේ කාලේන යන්නෙන් කල්‍යාණ හෙවත් උතුම් යන්න හැඟවෙන බවකි.එහෙත්, ඒ සම්බන්ධ පොදු මතය නම් කාලේන යන්නෙන් සුදුසු කල්හි යන්න හැඟවෙන බවකි.මක් නිසා ද යත් සෑම කරුණක් සම්බන්ධයෙන්ම ප්‍රමාණයක් හෙවත්,මාත්‍රාවක් දැන ගැනීමේ වැදගත්කම (මත්තඤ්ඤූ) පිලිබඳව බුදු දහමින් පැවසෙන බැවිනි.
මළවුන්ට පින් පැමිණවීම පිණිස අද බොහෝ නිවෙස් වල ධර්ම දේශනා සංවිධානය කෙරේ. ඒ සඳහා තම ඥාතී මිත්‍රාදීන් සිය ගණනකට ඇරැයුම් කිරීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. එහෙත්,වර්තමානයේ එම ධර්ම දේශනාව නිමාවේ පැමිණි සෑම වෙනුවෙන් රසවත් රාත්‍රී භෝජනයක් ද සංවිධානය කෙරේ. එමෙන්ම අද වන විට මෙහි ධර්ම දේශනාමය කොටසට ඇති වැදගත්කම කෙමෙන් අව ප්‍රමාණ වීමත් රාත්‍රී භෝජන සංග්‍රහයට ඇති අගය වටිනාකම ශීඝ්‍රාකාරයෙන් ඉහළ යාමත් මත ධර්ම දේශනා ශ්‍රවණය කිරීම පිණිස ධර්ම දේශක භික්ෂුන් වහන්සේ ඉදිරියේ පෙනී සිටිනුයේ පවුලේ පිරිස සහ ඔවුන් ගේ සමීපතම ඥාති මිත්‍රාදීන් පමණි. සෙසු සියළු දෙනා ධර්ම දේශනාව පැවැත්වෙන ස්ථානයෙන් බැහැරව ඔවුනොවුන් සතුටු සාමීචි කතාවල යෙදී සිටිති. මේ අතර තවත් සමහරකු එම පින්කම් ගෙදරට පැමිණෙනුයේ රාත්‍රී භෝජන සංග්‍රහය ඉලක්ක කොට ධර්ම දේශනය නිමා වන අවස්ථාව අනුමාන කර ගනිමිනි.බැලූ බැල්මටම මෙය ජනතාව ධර්මයෙන් දුරස්වීමක් සේ අර්ථ දැක්වීමට අපට පුළුවන. එහෙත්, එය අධානග්රාහී මතයක් මිස සාධාරණ විනිශ්චයක් නොවේ. සැබැවින්ම ඔවුන් බොහෝ විට එලෙස ධර්ම දේශනයෙන් දුරස් වනුයේ ධර්මයෙන් දුරස්වීමක් ලෙස නොවේ. එම ධර්ම දේශනය ධර්මයෙන් දුරස්තර බාහිර කරුණු ප්රකාශනයක් බව අද සමාජයේ බොහෝ දෙනකු අත්දැකීමෙන් ප්රත්යක්ෂ කර ගෙන හිඳින බැවිනි. අප රටේ ධර්ම දේශනා සඳහා ත්‍රිපිටක කේන්ද්‍රීය පදනමක් ලැබීම දුරාතීතයේ සිට සිදු වූ බවට නොයෙකුත් එෛතිහාසික සාක්ෂි තිබේ.
එහෙත්, එම ධර්ම දේශනා පැයක වැනි කාලයක් සඳහා සංයුක්ත කරන ලද්දේ පැලෑනේ ශ්‍රී වජිරඥාන නාහිමියන් ගුවන් විදුලියෙන් සිදුකළ ධර්ම දේශනා මගිනි. ඒ ඔස්සේ පසු කාලීන ගුවන් විදුලි ධර්ම දේශනා සඳහා ධර්ම දේශක ස්වාමීන් වහන්සේ බෞද්ධ ත්‍රිපිටක මූලාශ්‍ර පදනම් කර ගත යුතු බවට නියමයක් පැනවිණි. එමෙන්ම එම ධර්ම දේශනාවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම පිණිස විද්වත් පැවිදි උපදේශක මණ්ඩලයක් ද පත් කරන ලදී. එහෙත් වර්තමාන රූපවාහිනී සහ ගුවන්විදුලි ධර්ම දේශනාවල පවා කිසිදු ප්‍රමිතිගත බවක් නැත. ඒවායේ අරමුණ වී ඇත්තේ චිත්ත දමනය පෙරදැරි කර ගත් බෞද්ධ සදාචාර මාර්ගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම නොවේ. කවර ලෙසකින් හෝ “රූපවාහිනී ප්‍රේක්ෂකයා පිනවීම” පමණි.
“ආනන්දය, අනුන්ට දහම් දෙසීම පහසු නැත” යනුවෙන් බුදුන් වහන්සේ දෙශනා කොට තිබේ”. ආනන්දය, අනුන්ට දහම් දෙසන්නහු විසින් කරුණු පසක් තබා තුළ තබාගෙන අනුන්ට දහම් දෙසිය යුතු ය. කවර කරුණු පසෙක් ද? යත් :- දාන කථා ශීල කථාදී වශයෙන් පිළිවෙලින් කරන කථාවක් කරමි යි අනුන්ට දහම් දෙසිය යුතු ය. කරුණු දැක්වීම් වශයෙන් කරන කථාවක් කරමි යි අනුන්ට දහම් දෙසිය යුතු ය. දුකට පත් සත්ත්වයන් ඉන් මුදවමිය යන කරුණාවෙන් කථාවක් කරමි යි අනුන්ට දහම් දෙසිය යුතු ය. යම්කිසි ආමිෂයක් නිසා මේ ධර්ම කථාව නො කෙරෙමි යි අනුන්ට දහම් දෙසිය යුතු ය. තමාගේ ද අනුන්ගේ ද ගුණ නො නසා කථාවක් කරමි යි අනුන්ට දහම් දෙසිය යුතු ය.
අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ සද්ධම්ම වග්ගයේ බුදුන් වහන්සේ විසින් ධර්ම දේශනය සම්බන්ධයෙන් කළ මාර්ගෝපදේශන වර්තමාන බොහෝ භික්ෂුන් වහන්සේලා දන්නා බවක් නොහැඟේ.
අපගේ ජන සංස්කෘතියේ ධර්ම දේශනා වල අඩංගු කරුණු සේම ධර්ම දේශනා සඳහා යොදා ගන්නා ලද විවිධ උපක්‍රම පිළිබඳව ද සඳහන් ඉතා පැරණි සිංහල බණ කතා තිබේ.එමෙන්ම සංයුක්ත නිකායේ කස්සප සංයුක්තයේ ධර්ම දේශනයක පවත්නා ශුද්ධ අශුද්ධ බව පිළිබඳව ද බුදුන් වහන්සේ මෙලෙස දේශනා කොට තිබේ.
“මහණෙනි, යම් භික්ෂුවක් මෙ වැනි සිතින් දහම් දෙසා ද, මාගේ දහම ඇසුව හොත් හොඳය, අසා පැහැදුණ හොත් හොඳ ය, පැහැදුණාහු පැහැදුණවුන් කරන සත්කාර කළ හොත් හොඳය, මහණෙනි,මෙබඳු මහණහු ගේ ධර්මදේශනය අපරිශුද්ධ ය.මහණෙනි, යම් භික්ෂුවක් මෙබඳු සිතින් දහම් දෙසා ද භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය මනා කොට දේශනය කරන ලද්දක් ය, තමා විසින් ම දත හැකියක, එකෙණෙහි ම ලැබිය හැකි ඵල ඇතියක, එන්න බලන්න යයි කියා දැක්වීමට සුදුසු වූවක, තම තමන්ගේ සිත්වලට ඇතුළු කරගත යුත්තක, නුවණැතියන්ට තමා ගේ සන්තානයෙහි ම දැකියක හැකියක, මගේ ධර්මය ඇසුවහොත් යහපත, ඒ ධර්මය තේරුම් ගතහොත් යහපත, ඒ ධර්මය අනුව පිළිපන් හොත් යහපත, මෙසේ ධර්මයේ යහපත් බව නිසා ම දහම් දෙසා ද කරුණාව නිසා ම දහම් දෙසා ද එබඳු භික්ෂුව ගේ ධර්ම දේශනය ශුද්ධ ය.” ඉහත සඳහන් ධර්ම ඛණ්ඩය අනුව බුදුන් අනුදැන වදාළ භික්ෂු චර්යාවන් හි ධර්ම දේශනා සඳහා හිමි කොට දී ඇති ප්‍රමුඛත්වය පැහැදිලිය.මේ සියළු තත්වයන් හමුවේ ගිහි පැවිදි සියළු දෙනා හමුවේ බුදු සසුනේ චිරස්ථිතිය පිණිස අප විසින් ගෙනෙනු ලබන එක් යෝජනාවක් තිබේ.එනම් වර්තමාන භික්ෂුන් වහන්සේලා සැබෑ ධර්ම විනය පදනම් කර ගනිමින් තමන් වහන්සේලා විසින් දෙසනු ලබන ධර්ම දේශනා වල ප්‍රමිතිය ඉහළ නංවා ගත යුතු බවකි.
කදුරුපොකුණේ සුමංගල හිමි