සාධාරණ පියා වියපත් වූ පසු අසාධාරණ වුණේ ඇයි?

ඔහු විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. අතිශය සාධාරණ දිවි පෙවෙතක් ගත කරමින් නීතිගරුකව තම රාජකාරිය අකුරට ඉෂ්ට කර තිබූ අතර රාජකාරිය දේවකාරියටත් වඩා මහ ඉහළින් සැලකූ අයෙක් විය. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු අසූව ඉක්මවා තිබිණි . ඔහුගේ බිරිඳ ඊට වසර දහයකට පමණ ඉහතදී මෙලොව හැර ගොස් සිටියා ය.

මේ වනවිට ඔහු ඩිමෙන්ෂියා ⁣රෝගය වැළඳීම හේතුවෙන් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි ⁣රෝගියෙකි. දියණියන් දෙදෙනකු සහ එක් පුතකු ඔහුට සිටි අතර ඒ තිදෙනාම විවාහ වී වෙන් වෙන්ව ජීවත් වූහ. සෑහෙන ඉඩකඩම් ප්‍රමාණයකට පරම්පරාවෙන්ම උරුමකම් කීවද ඒවා දරුවන් හට වෙන් කරදී ඒවායෙහි භුක්තිය ඔවුන් හට පවරා දීම දිනෙන් දිනම ඔහු අතින් අතපසු විය.

පසුව වැඩිමහල් දියණියගේ බල කිරීම මත මේ තැනැත්තා තමන්ට අයිති ඉඩකඩම් දරුවන් තිදෙනාට නීතියෙන් වෙන් කර දුන්නේය. නමුත් මේ පවරාදීම සම්බන්ධයෙන් බාල දියණිය සහ පුතු තුළ ඇතිවූයේ මහත් කුකුසකි. එයට හේතුව එම පියා තම දේපළ වලින් දෙකෙන් එකක් ම පවරා දී තිබුණේ වැඩිමහල් දියණියට ය. බාල දියණියට සහ පුතුට ඉතිරි දෙකෙන් පංගුව බෙදා දී තිබිණි.

කිසිදා තමන්ට මොනම අයුරකින්වත් වෙනසක් නොකළ පියා මෙලෙස කටයුතු කර තිබෙන්නේ වැඩිමහල් සොයුරියගේ සැමියා හට නතුවීමක් ලෙසින් බව මේ දරුවන්ට වැටහී ගියේය.අවසානයේ ඔවුන් කළේ සාධාරණයක් දීලා ඉල්ලා නඩු මගට යොමු වීමය.
වියපත් වීමත් සමග මොළයේ විවිධ වෙනස්කම් සිදුවේ. ශරීර ශක්තිය අඩුවීම, කන් ඇසීම අඩුවීම, ඇස් පෙනීම අඩුවීම ආදී ශාරීරික වෙනස්කම් සේම මොළයේ ක්‍රියාකාරිත්වයද අඩුවනු ඇත.

ඉන් එකක් වන්නේ මතක ශක්තිය අඩු වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉහළ බුද්ධි මට්ටමට අදාළ හැකියාවන් අඩු වී යයි. කරුණු මොළයට ගැනීමේ හැකියාව, කරුණු විශ්ලේෂණය කිරීමේ හැකියාව, කරුණු මත පිහිටා තීරණ ගැනීමේ හැකියාව වැනිදේ සිදු වන්නේ ද එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

සමහරුන්ට සමාජයේ හැසිරෙන ආකාරය, තැනට සුදුසු ලෙස කතා කිරීමේ හැකියාව සහ ඇඳුම් පැළඳුම් කිරීමේ හැකියාව වැනි දෑ ද වයසට යාමේදී මොළයේ සිදුවන වෙනස්කම් නිසා හීන වනු ඇත. මෙය එක්තරා ආකාරයකින් නැවත ළමා කාලයට යාමකි. මේ තත්ත්වය හඳුන්වන්නේ ඩිමෙන්ෂියා ලෙසිනි.

මෙලෙස ඉහළ බුද්ධි මට්ටමේ හැකියාව අඩු වුවද වියපත් වූ පමණින් සමාජ වගකීම් අඩු වන්නේ නැත. පෙර මෙන්ම වැඩ කරන්නට, සමාජය සමග ගැවසෙන්නට සිදුවෙයි.

තමන් වියපත් වූ පසු එතෙක් පරිහරණය කරමින් සිටින දේපළ දරුවන්ට සමව බෙදා හදා දීම පියකුගේ වගකීමකි. නමුත් ඩිමෙන්ෂියා තත්වය ඇති විට තමන්ගේ දේපළ පිළිබඳ තිබෙන නිවැරදි අවබෝධය අඩු වී යයි. එහි ප්‍රමාණය කොතෙක්ද ? එහි ස්වභාවය කවර ආකාරද? වැනි දේවල් පිළිබඳ වැටහීම නැති වෙයි. කෙනෙකුගේ බලපෑම්වලට නතු වන්නට ද පුළුවන . මේ නිසා වැරදි තීරණ ගැනීමට පෙළඹෙයි. ඒ හේතුවෙන් තමන්ට සැලකිය යුතු අය නොසලකා හැරීම ද සිදුවෙනු ඇත.

පවුලේ දරුවන්ට සම ව දේපළ බෙදා හදා දීමක් සිදු නොවූ කල ඊට එරෙහි වන දරුවන් නීතියේ පිහිට පැතීමට අවකාශ තිබේ. මෙවැනි අවස්ථාවලදී එම පුද්ගලයාට අන්තිම කැමති පත්‍රයක් ලිවී⁣මේ හැකියාවක් තිබේ දැයි අධිකරණය විසින් සොයා බලනු ඇත. ඒ අනුව අධිකරණය විසින් අදාළ පුද්ගලයාව විශේෂඥ මනෝ වෛද්‍යවරයකුගේ පරීක්ෂාවට භාජනය කිරීම සඳහා නියම කිරීම සිදුවෙයි .
මෙහිදී විශේෂඥ වෛද්‍යවරයා පහත සඳහන් කරුණු පිළිබඳව රෝගියා තුළ ඇති අවබෝධය පිළිබඳව කරුණු සොයා බලනු ඇත.

1. දේපළවල ස්වභාවය සහ ප්‍රමාණය පිළිබඳව ඔහු තුළ ඇති අවබෝධය
2. දේපළවල උරුමක්කාරයන් පිළිබඳව ඔහු තුළ ඇති අවබෝධය
3. තමාගේ කැමැත්ත නිවැරදිව හා පැහැදිලිව ප්‍රකාශ කිරීමට රෝගියා තුළ ඇති හැකියාව
4. දේපළ පවරා දීමේදී අනෙකකුගේ බලපෑමකට යටත් වී තිබේද යන්න

මෙම කරුණු වලට නිවැරදි තොරතුරු ලබාදීමට එම තැනැත්තාට හැකියාවක් තිබේද යන්න මනෝ වෛද්‍යවරයා අධිකරණයට වාර්තා කළ යුතුය. ඉන්පසු අධිකරණය විසින් ඒ පිළිබඳව සලකා බලා තීන්දුවක් ලබා දෙනු ඇත.

තමන්ගේ මවට හෝ පියාට ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ පහළ වෙමින් තිබෙන බව ඔවුන්ගේ පෙර නොවූ ලක්ෂණවලින් දරුවන්ට වටහා ගැනීම අසීරු නොවනු ඇත. එම රෝග ලක්ෂණ උත්සන්න වීමට පෙර නොබෙදූ දේපළ තිබේ නම් ඒවා සාධාරණ ලෙස උරුමක්කාරයන් හට බෙදා හදා දෙන්නට දෙමාපියන් පොළඹවා ගැනීම සුදුසුය. නැතහොත් එම දේපළ පවරා දීම පිළිබඳ වගකීම, එනම් ඇටෝර්නි බලය වෙනත් කෙනෙකුට අධිකරණය විසින් පවරා දීමටද පුළුවන. නමුත් වඩාත් සුදුසු වන්නේ දෙමාපියන් හට ඩිමෙන්ෂියා රෝග තත්ත්වය වැළඳීමට පෙර එම දේපළවල අයිතිය නිරවුල් කර ගැනීමය.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

ඉන්දු පෙරේරා

ඉරා අදුරුපට