රටේ අරාජිකත්වය දුරලන කඩිනම් විසඳුමක් මෙන්න! – සුනිල් කන්නන්ගර හිටපු මහ දිසාපති /දිස්ත්‍රික් ලේකම්,කොළඹ ,අම්පාර,රත්නපුර

අරගලයේ ජයග්‍රහණයෙන් ප්‍රමොදයට පත්වී ජනාධිපති මන්දිරයේ අරලියගහ මන්දිරයේ විසිතුරු බලමින් අප සිටින අතරතුර රට වැටී තිබූ ප්‍රපාතයෙන් ආගාධයටම වැටීම ඇරඹී ඇත.ඛනිජ තෙල් කවදා එන්නේදැයි කීමට කෙනෙක් දැන් නැත.මේ වනවිට ඉන්දීය තෙල් සමාගමේ පිරවුම් හල් අසල මාරාන්තික අරගල සඳහා පිටි සකසා ඇත්තේ ඊළඟට එන බවුසරයෙන් තෙල් පොදක් හෝ ගැනීමට ය.වාහන නැතිව මහාමාර්ග පාලුවට ගොස්‍ ය. කළු කඩයේ පෙට්‍රල් ලිටරය රුපියල් 2000 සීමාවෙනුත් උඩ ය.වෙළඳ සල්වල රාක්ක හිස් ය.එලවලු බක්කි, මාලු ලෑලි හිස්‍ ය.ගෙවල්වල ආහාර රැස් කරගත් අය තවම කෑවත් දෛනික ව ආහාර සොයාගන්නා අය හාමතේ ය.චූන් පාන් රථයේ හඬ නිහඬ වෙමින් තිබේ.ඒ සමග වූ බල්ලන්ගේ උඩුබිරුම ද නිහඬ ය.මීළඟට ඇරඹෙන අරගලය ජීවත්වීම සඳහා යමක් ඇති තැනින් කොල්ලකා ගැනීම අරමුණු කරගත් මාරාන්තික එකක් වන බවට ලකූණු හැම අතින්ම පහලවී ඇත.

ඒ මදිවාට රට දැන් ඇත්තටම අරාජක ය. ජනාධිපතිවරයෙක් කොහේදෝ ඇතැයි කිව්වත් ඔහු දැන් අක්‍රිය ය.ජනාධිපතිවරයා දැන් ඇත්තේ ශරීරය අකර්මන්‍ය තැලි වලේ හුස්ම පමණක් ඇති එහෙත් අවසන් හුස්ම වැටීම ආයාසයෙන් නවත්වා ගෙන සිටින තණ්හාධික මරණාසන්න මහල්ලෙකුගේ තත්වයේ ය. අගමැතිවරයා කවර හෝ උප්පරවැට්ටියකින් ඊළඟ ජනාධිපතිවෙතැයි බියෙන් ගැහෙන බොහෝ දෙනා ජනාධිපති සමඟම ඔහුත් යා යුතුයැයි කෑගසමින් සිටිති.ඒ නිසාම ඔහුට ක්‍රියාත්මක විය නොහැක .ඇමතිවරු එක එකා ආණ්ඩුව නමැති මළකුණ අතහැර ඉවත් වෙමින් සිටිති..

මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක රෝහලේ යහනක සිටිමින් ජනාධිපති සිහිනය දකී.ඔහුගේ සගයෝ කැබිනට් සිහින දක්මින් සර්ව පාක්ෂික ආණ්ඩුවකට හොරගල් අහුලමින් සිටිති.අරගලයේ පෙරටුගාමීන් සර්ව පාක්ෂික ආණ්ඩු සිහිනයට තර්ජනය කරමින් ඊළඟ ආන්ඩුව තමන්ගේ සිහිනය අනුව නැටවීමට අවශ්‍ය කොන්දේසි දමමින් සිටිති.අරගලයේ සුන්දර කට්ටිය සැන්දෑවට ජනාධිපති මන්දිරයේ අරලියගහ මන්දිරයේ සිංදු කියමින් නටමින් තමන්ගේ ආතල් අපූරුවට විඳිමින් සිටිති.මේ සියල්ලෝම හවසට මාධ්‍ය ඉදිරියේ පෙනී සිට මිළඟ පියවරට කොන්දේසි දමමින් සිටිති.ඒ අතර අරාජිකත්වයේ සෙවැනැලි මධ්‍යයේ සන්නද්ධ හමුදාවන් අගනුවර මර්මස්ථාන ආරක්ෂාවට ස්ථානගත වෙමමින් සිටිති. දැන් විසාලා මහා නුවර තුන්බියට ඇවැසි සියල්ලම ශ්‍රීලංකාවේ සූදානම් ය.

හෙට අනිද්දාට තෙල් ලැබීම අඛණ්ඩව සිදුකර රටේ ප්‍රවාහනය යථාවත් කිරීම අංක එක බවට පත්ව ඇත.ගොවි ධීවර නිෂ්පාදන වහා වෙලඳපොලට ගෙනැවිත් මිය යමින් පවතින වෙළඳපොල සක්‍රිය කළ යුතු ය. වෙළඳපොල සක්‍රිය කිරීමට සමගාමීව කෘෂි නිෂ්පාදන ධීවර කර්මාන්තය ඇතුලු අනිකුත් කර්මාන්ත සක්‍රියව පවත්වා ගත යුතු ය.නො එසේනම් නගර කුසගින්නේ මියයන තැන් බවට පත්වීම වැලැක්විය නොහැක. රටේ දිළිඳුම මිනිසුන් දැනටමත් බාගෙට මියගොස් ඇති බවට මුන් එකෙකුටවත් තේරී නැත.තම තමන්ගේ බලය රැක ගැනිමටත් බලය අල්ලා ගැනීමටත් බලය දරණ එවුන්ව තමන්ට ඕනෑ විදියට මෙහෙයවීමටත් දතකමින් වෙහෙසෙමින් කෑගසමින් තර්ජනය කරමුන් දඟලමින් ඉන්නවා මිස අරාජක වූ රට වහා ස්‍ථාවර කිරීමට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍යයැයි හැඟීමක් එකෙකුටවත් නැත.

සාමාන්‍ය මිනිසා මුහුණ දී ඇති මේ දරුණු තත්වය ගැන වගේ වගක් නැතුව කා කොටා ගනිමින් තර්ජනය කරමින් දේපල ගිනි තබමින් ආතල් ගනිමින් ඉන්නා හැතිකරයට කිව යුත්තේ මේ මොහොතක්වත් රට අරාජකතත්වයේ තිබිය යුතු අවස්ථාවක් නොවන බවය.ඒනිසා වහාම එකි`නෙකාගේ බහුවිධ මති මතාන්තර ඉවත දමා ව්‍යවස්ථාවට අනුව සාමකාමී බලහුවමාරුවක් මේ සතිය තුළ සිදු කළ යුතුවීම අනිවාර්‍ය ය. මෙය ව්‍යවස්ථාවට අනුවම කළයුතු යැයි කියන්නේ ද තේරුමක් ඇතුව ය.ජනතාවගේ පරමාධිපත්‍ය බලය සහතික කර ඇත්තේ ව්‍යවස්ථාවෙනි.

ගොං මරිමෝඩ දේශපාලඥයින්ගේ හෝ අදූරදර්ශී නිලධාරීන්ගේ කඩි කුලප්පුවට ව්‍යවස්ථාව කොතනින් හෝ බිඳ දැමීමට පෙර ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට දිවුරුම් දී ඇති ලක්ෂ දෙකකට අධික ආරක්ෂක හමුදා ඇතුලු රාජ්‍ය සේවාවක් රටේ පවතින බව අමතක නොකළ යුතු ය.එබඳු අවස්ථවක ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නෛතික වගකීමක් ඔවුන්ට ස්වකීය දිවුරුමෙන් ලැබී ඇති බව සිහි තබාගත යුතු ය.

ව්‍යවස්ථානුකූල බලහුවමාරුව සිදුවියයුත්තේ මෙසේ ය. දැනට මහජන විශ්වාසය අහිමි කරගෙන අවලංගු පොට්ට කාසියක් බඳුවූ ජනාධිපති වහාම ඉල්ලා අස්විය යුතු ය.ව්‍යවස්ථානුකූලව ධුරය දරණ අගමැතිවරයා වැඩ බලන ජනාධිපති ලෙස දිවුරුම්දී අගමැති ධුරයේ වැඩ බැලීමට ඉතිරිව ඇති ඇමතියෙක්ව පත්කළ යුතු ය .කතානායකවරයා මේ සතියේම පාර්ලිමේන්තුව කැඳවා ව්‍යවස්ථානුකූලව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගතයුතු ය.එසේ තෝරාගත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා නැකත් බල බලා නොසිට වැඩ භාරගතයුතු ය.එවිට වැඩ බැලූ ජනාධිපතිගේ ධුර කාලය මේ සතියට පමණක් සීමාවනු ඇත.ඊළඟට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා අගමැතිවරයාට ඉල්ලා අස්වීමට ඉඩදී හෝ ඉවත් කර නව අගමැතිවරයෙක් හා අමාත්‍ය මණ්ඩලයක් පත් කළ යුතු ය.ඒ පත්වීම් සඳහා මූලික එකඟතාවයන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සාකච්ඡාකර සකසා ගත යුතු ය.

ලබන සතියේ බදාදා වන විට මේ සියල්ල නිම කිරීමෙන්‍ රටේ දේශපාලන අර්බුදය සමනය කළ යුතු ය.මෙසේ පත් වන නව ආණ්ඩුව සර්ව පාක්ෂික වීමට වඩා වටින්නේ දැනට පාර්ලිමේන්තුවේ සිටින ඕනෑම පක්ෂයක මහජන ප්‍රසාදය යම් මට්ටමකට හෝ පවතින මන්ත්‍රීවරුන්ගෙන්‍ සැදුණු විස්සක උපරිමයෙන් යුතු අමාත්‍ය මණ්ඩලයකින් යුතු එකක් වීම ‍ය. ඒ ආණ්ඩුව අවම මාස හයක ද උපරිම අවුරුද්දක ද කාලයක් තුළ රට සමනයකර සාමකාමී මැතිවරණයකට රට සූදනම් කළ යුතු වීමත් ආර්ථික අර්බුදයෙන් පීඩිත දිළිඳුම කොටස්වලට ජීවත්වීම සඳහා වහා සහන සැලසීමත් රටේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමත් සිය ප්‍රධාන අරමුණු කරගත යුතු ය .මේ අන්දමින් රට අරාජක කරවූ මේ දේශපාලන අර්බුදය වහා කලමණාකරණය කර ගැනීමට සියලුම පාර්ශවයන්ගේ වගකීම බව අවසාන වශයෙන් සටහන් කරමි.

සුනිල් කන්නන්ගර

හිටපු මහ දිසාපති /දිස්ත්‍රික් ලේකම්,කොළඹ ,අම්පාර,රත්නපුර

එතෙර - මෙතෙර