පසුගිය දා සාහසිකයකුගේ වෙඩි පහරින් මරණයට පත් ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ වෙනුවෙන් අවමගුල් උත්සව දෙකක් පැවැත්වීමට නියමිතව තිබූ අතර පවුලේ අය සහ සමීප මිතුරන් සහභාගි වූ එක් අවමගුල් උත්සවයක් සඳුදා පැවැති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. දේශපාලන ක්ෂේත්රයේ හිතවතුන් සහභාගි වන තවත් අවමගුල් උත්සවයක් ඊයේ (12) දින පැවැත්වෙනු ඇති බව ද මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
වැඩිම කාලයක් ජපානයේ අගමැති ධුරය දැරූ පුද්ගලයා ලෙස වාර්තාවක් පිහිටුවා තිබූ ෂින්සො අබේ ගේ ඝාතනය මුළු ලොවම කම්පනයට පත් කළ සිදුවීමක් වූයේය. පසුගිය 8 වැනි සිකුරාදා ඔහු ඝාතනය කෙරුණේ ජපානයේ නාරා නගරයේ මාර්ගයක් අසළ කුඩා දේශපාලන රැස්වීමක් අමතමින් සිටියදී යි. තෙත්සුයා යමගාමී නැමැති 41 හැවිරිදි පුද්ගලයකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම සැකකරු පිලිබඳව වැඩිදුර තොරතුරු ද මේ වනවිට අනාවරණය වෙමින් තිබේ. ඔහු කලක් ජපාන නාවුක බලකායේ සාමාජිකයකු ලෙස කටයුතු කර තිබිණි. එයින් ඉවත් වීමෙන් පසු කර්මාන්ත ශාලා සේවකයකු ලෙස රැකියාව කර තිබූ බව ද සඳහන් ය.
ෂින්සෝ අබේ ඝාතනය කිරීමට හේතුව එක්තරා ආගමික සංවිධානයක් සමග තමාගේ පැවැති වෛරයක් බව යමගාමි සඳහන් කර ඇතැයි ආරංචි මාර්ග පවසා තිබිණි. අබේ ද මෙම සංවිධානයට සම්බන්ධ බවට අදහසක් යමගාමි තුළ තිබී ඇත. මාධ්‍ය සඳහන් කර ඇති ආකාරයට ඔහු මෙම සංවිධානය සමග වෛර බැඳගෙන ඇත්තේ තම මවගේ ආර්ථික තත්ත්වය විනාශ කිරීමට මෙම සංවිධානය හේතු වූ බවට පැවැති විශ්වාසයක් නිසා ය. යමගාමීගේ මව මෙම සංවිධානයේ සාමාජිකාවකව සිට ඇති බවත්, ඇය ඒ වෙනුවෙන් විශාල වශයෙන් දායක මුදල් ගෙවා ඇති බවත් යමගාමි ගේ ඥාතියකු අනාවරණය කර තිබිණි. කලකට ඉහත යමගාමි ගේ පියා මියගොස් සිටි බැවින් මව ජීවිතයේ බෙහෙවින් අසරණව සිටි ආකාරයක් පෙනේ. ඇය ආගමික සංවිධානය තුළින් ජීවිතයට යම් සහනයක් බලාපොරොත්තු වන්නට ඇති බව ද ඉහත කී ඥාතියා පවසා තිබිණි.
යමගාමි ගේ පියා ඉදිකිරීම් සමාගමක් පවත්වාගෙන ගිය කෙනෙකි. ඔහු මියගොස් තිබුණේ යමගාමි කුඩා කාලයේදීම ය. ඔහුගේ මරණයෙන් පසු සමාගමේ කටයුතු මවගේ කරපිට පැටවී තිබිණි. නමුත් පසුව එය වසා දමන්නට සිදුව තිබූ බව ද සඳහන් ය. මෙම තත්ත්වය තුළ යමගාමි කුඩා කාලයේ සිටම බොහෝ දුක් කම්කටොළුවලට මුහුණ දී ඇති බවක් දැකිය හැකි වේ. මෙම දුක් ගැහැටවලට හේතුව තම මව සම්බන්ධ වී සිටි ආගමික සංවිධානය බවට විශ්වාසයක් ඔහු තුළ තිබූ බවක් පෙනේ. පවුල බොහෝ ආර්ථික අපහසුතාවලින් පීඩා විඳිමින් සිටි කාලයේ පවා ඇය මෙම සංවිධානය වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වැය කළ බවක් යමගාමි පවසා ඇතැයි සඳහන් වේ. සමහර දිනවල පවුලේ දරුවන් කුසගින්නේ සිටි බවක් ද ඉහත කී ඥාතියා පවසා තිබිණි. ඒ කාලයේ තමා ඔවුන්ට මුදලින් සහ ආහාරවලින් උදව් කළ බවක් ද ඔහු කියා ඇත.
යමගාමීගේ මුල් සැලසුම වී තිබී ඇත්තේ මෙම ආගමික සංවිධානයේ නායකයා ඝාතනය කිරීමයි. නමුත් එය තරමක් අපහසු කටයුත්තක් වූ නිසා ෂින්සෝ අබේ ඔහුගේ ඉලක්කය බවට පත්ව තිබිණි. අබේ ද මෙම සංවිධානයට සම්බන්ධ බව සැකකරුගේ අදහස වූ බැව් සඳහන් ය.
අබේ ඝාතනය කිරීම සඳහා සැකකරු කලක සිටම සැලසුම් කරමින් සිට ඇති බව ද පැවසේ. මෙයට පෙර ද අබේ සහභාගි වූ රැස්වීම් පැවැත්වුණු ස්ථානවලට ඔහු ගොස් තිබිණි. නමුත් ඔහුට තම ඉලක්කය සපුරා ගැනීම සඳහා අවස්ථාව උදා වී තිබුණේ නාරා නගරයේ පැවැති රැස්වීම අවස්ථාවේ ය. සැකකරු වෙඩි තැබීම සඳහා යොදාගෙන තිබූ ගිනි අවිය ඔහු විසින්ම සාදා ගන්නා ලද්දක් බවද අනාවරණය වී තිබේ. ජපානය තුළ ගිනි අවි සම්බන්ධයෙන් ඉතා දැඩි නීති ක්‍රියාත්මක වන නිසා කෙනෙකුට ගිනි අවියක් මිල දී ගැනීම පහසු නොවේ. විමර්ශණ කණ්ඩායම් පසුව යමගාමි ගේ නිවස පරීක්ෂා කිරීමේ දී එවැනි තවත් ගිනි අවි කිහිපයක් ද, පුපුරණ ද්‍රව්‍ය ද සොයා ගැනීමට හැකි වී තිබිණි.
නිහාල් පීරිස්.