ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනොෆ් 32 දරන යානයෙන් තම බිරිඳ සහ ආරක්ෂකයන් දෙදෙනකු ද සමඟ අද අළුයම 1.10 ට මාලදිවයින බලා පිටත් වී තිබේ.ඔහු මෙම ගුවන් ගමන් පහසුව ලබා ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයා සහ සේනාධිනායක වරයා වශයෙන් ස්වකීය බලතල භාවිතා කරමිනි.පසුගිය 11 වන දා ඔහු විසින් අත්සන් කළ ඉල්ලා අස්වීමේ ලිපිය අද කතා නායක වරයා වෙතට පත් වීමත් සමඟ ඔහු ජනාධිපති වරයාගේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතු ය.එතැන් සිට ගෝඨාභය රාජපක්ෂ සතු විධායක ජනාධිපති මුක්තිය අහෝසි වන බැවින් ඔහුට එම ගුවන් ගමන් හිමිකම ද ද අහිමි වනු ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාවේ පවත්නා නීතිය අනුව ජනාධිපති වරයා රටින් බැහැර වන අවස්ථාවක ඔහු වළකා ලීමේ බලයක් ආගමන විගමන නිලධාරීන් සතුව නැත.ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස් කනුගල ද ඒ බව පවසා තිබේ. ජනාධිපති වරයා ඇතුළු පිරිසට මාලදිවයින බලා යාමට ගුවන් යානයක් සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මතු දැක්වෙන නිවේදනය නිකුත් කොට තිබේ. “ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනපති වරයෙකුට හිමි බලතල ප්‍රකාරව, පවතින රජයේ ඉල්ලීමට අනුව, ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියට යටත්ව, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ඇති ආගමන විගමන, රේගු සහ අනෙකුත් සියලුම නීතිවලට යටත්ව, ජනාධිපති තුමා සහ එම මැතිනිය සමග ආරක්ෂකයන් දෙදෙනෙකු හට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට මාලදිවයින බලා පිටත්ව යාමට ගුවන් හමුදාවේ ගුවන් යානයක් 13 වන දින අලුයම ලබා දෙන ලදි.”(උපුටා දැක්වීම අවසන්) නිල නොලත් ආරංචි මාර්ග මඟින් පැවසෙන අන්දමට ඔවුන් මෙම ගමනේ දී කිලෝ ග්‍රෑම් දහය බැගින් වන කළු පැහැති බෑග් හයක් රැගෙන ගොස් ඇත.එහෙත් ඒවායේ කුමක් තිබිණි ද යන්න පරීක්ෂාවට ලක් වී නැත.
කටුනායක සිට මාලේ දක්වා ගුවන් ගමනක් සඳහා ගත වන කාලය පැය එක හමාරකි. ඒ අනුව ඔවුන් මාලේ ගුවන් තොටුපලෙන් බසින විට ශ්‍රී ලංකාවේ වෙලාව අළුයම 2.40 පමණ වන්නට ඇත.එහි දී ද ඔහු ශ්‍රී ලංකා ජනාධිපති වශයෙන් ඔහුට සුවිශේෂතා හිමි වෙයි.ඔහුගේ ඉල්ලීම මත එම ගමනේ රහස්‍යභාවය රැකීමට ද මාලදිවයින් රජය කටයුතු කරනු ඇත. මීට පෙර ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් ඉන්දියාවට යාමට බලාපොරොත්තුව සිටිය ද ඉන්දියාව එරට භූමියට එම ගුවන් යානය ගොඩ බැස්සීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වෙයි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවට යාම සඳහා ඉදිරිපත් කරන ලද වීසා අයදුම් පත්‍රය ද ප්‍රතික්ෂේප වී ඇති බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය තහවුරු කොට ඇත.
ඇමරිකානු පුරවැසිභාවය අතහැර දමන ලද අයකුට අමුත්තන් සේ වීසා බලපත්‍ර නැවත ලබා නොදෙන බවත් පවුලේ සාමාජිකයකුගේ හදිසි මරණයක්, වෛද්‍ය ප්‍රතිකාරයක් වැනි ඉතා සුවිශේෂ තත්වයන් යටතේ පමණක් වීසා බලපත්‍ර ලබා දෙන බවක් ඇමරිකානු පුරවැසිකම අතහරින සෑම අයකුටම සිහිපත් කරන බවත් ඒ අනුව ජනාධිපති වරයා හට ද ඒ අවස්ථාවේ එය සිහිපත් කිරීම ලද බවත් තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර ඇත. ජනාධිපති වරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී විදේශගත වූ බවක් ඇතැම් දේශීය ජන මාධ්‍ය මඟින් අඟවා තිබුණ ද බොහෝ විදෙස් මාධ්‍ය දක්වා තිබුබුණේ ජනාධිපති වරයාට එරෙහිව නැඟුණු දැවැන්ත ජන රැල්ලක් විසින් ඔහුට ඉල්ල අස්වන ලෙස බල කරමින් ඔහුගේ ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය වටලා ඇති පසුබිමක තම ආත්මාරක්ෂාව සළසා ගනු පිණිස දින කිහිපයක් සැඟව සිටි ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයා අද අළුයම මාල දිවයින වෙත පලා ගිය බවකි.ඔහු ජනාධිපති ධුරයෙන් සමු ගැනීමක් නොකොට රහසිගතව එය කළ බැවින් එම සිදුවීම හා වඩාත් සත්‍ය සිද්ධිය වනුයේ එය බව අපගේ ද වැටහීමය.
එහෙත් බීබීසිය උපුටා දක්වමින් එම පුවත පළ කළ මෙර ඉංග්‍රීසි වෙබ් අඩවියක් පවා බීබීසිය සඳහන් කළ Flee (පලා යාම) යන වදන ඉවත් කොට ඒ වෙනුවට Leave(හැර යාම) යන වදන යොදා තිබිණ.මේ අතර දශක ගණනාවක් තිස්සේ මෙරට ආධිපත්‍යය රඳවා ගෙන සිටි රාජපක්ෂ පවුලේ තවත් ප්‍රබලයකු වන ජනපතිගේ බාල සොයුරු බැසිල් රාජපක්ෂ ද විදෙස් ගත වීමට දින කිහිපයක් වෙර දරා නොහැකි වුවද අද අළුයම ඇමරිකාව බලා පිටත් වී තිබේ.බීබීසී ඇතුළු විදෙස් ජනමාධ්‍ය ඒ පිළිබඳව ද සඳහන් කොට ඇත.මේ අතර රාජ්‍ය නායකයකු මෙසේ ජනතාවගෙන් සැඟවී සිට තම තනතුර අතහැර පලා යාම පිළිබඳ පුවත තුළ යම් “කතා රසයක්” ද ගැබ් ව ඇති බැවින් මෙම සිද්ධිය රාජපක්ෂ පවුල් රජපෙළපතේ(Dynasty )නිමාව ලෙස ද බීබීසී ඇතුළු විදෙස් ජන මාධ්‍ය හඳුන්වා දී තිබේ.මෙසේ අප රට “පවුල් පාලනයකට” යටත් ව ඇති බව පැවසීම ජාත්‍යන්තර වශයෙන් අත්වන ලොකුම අවමානයකි.
කෙසේ හෝ යළි ඇමරිකාවේ පදිංචියට යා නොහැකි වුව ද අධි සුඛෝපභෝගී තට්ටු නිවාස ඇතුළු රාජපක්ෂ පවුල සතු වත්කම් ඩුබායි හි ඇති බැවින් ජනපති පදවිය අත හැර පලා ගිය ගෝඨාභය රාජපක්ෂ මේ වන විට ශ්‍රී ලංකාව තුළ තනි වී සිටින සිටින අප මෙන් අසරණ නොවනු ඇතැයි තතු දත් ආරංචි මාර්ග පවසයි.
හේමන්ත රන්බණ්ඩාර