ගෝඨා එලවීම සහ රාජ්‍යය ඇල්ලීම

ධුර කාලය තුළ දී අකර්මණ්‍ය වූ පලමු ශ්‍රී ලාංකීය ජනාධිපති වරයා ගෝඨාභය රාජපක්ෂ යි.රටේ ඉතිහාසයෙහි මීට පෙර ගෝඨභය කෙනෙක් නිසා රාජ්‍ය නායකයෙකුට පලා යන්නට සිදුවූ පුවතක් අපි අසා ඇත්තෙමු.ඒ ස්වකීය මලණුවන් වූ ගෝඨාභය ඇති කළ කැරැල්ලට මුහුණ දීමට අකමැතිව අප්‍රසිද්ධියේ පලා ගිය සිරිසඟබෝ රජතුමාගේ කතාව ය.මෙදා සිරිසඟබෝ වන්නට වුණේ දීර්ඝ දේශපාලන අත්දැකීම් සහිත නායකයෙකු වන මහින්ද රාජපක්ෂට ය.ගෝඨාභය බාල මල්ලී විසින් ඇති කරගත් කැරැල්ලට මුහණ දෙන්නට ප්‍රහාරය යොදාගත් මහින්ද ඊට ලද ප්‍රති ප්‍රහාරයෙන් උන් හිටි තැනුත් අහිමි ව බලය නමැති හිස මලණුවන්ට දන් දී දේශපාලනයෙන් “අභාවප්‍රාප්ත” විය.සිය කිර්තිමත් සහෝදරයා දිගු කලක් තිස්සේ උපයා සපයා ගත් ජන බලය නමැති ධනය වසර දෙකක් තුළ කාබාසිනියා කර ගත් නූතන ෆෝඨාභයට හොර පාරෙන් නවාතැනක් සොයා පිට වන්නට සිදු විය.

රටේ නායකයා අකර්මණ්‍ය වීම යනු ඕනෑම රටකට මුහුණ දීමට සිදුවන බරපතල අවස්ථාවකි.මෙබඳු බරපතල අවස්ථාවන්ට මුහුණදීම සඳහා පූර්වයෙන් සැකසූ වැඩ පිළිවෙලවල් සෑම රටකම ඇත.ඒ අනුව ශ්‍රී ලංකාව නම් වර්තමානයේ අතිශය දුර්වල රාජ්‍යයේ මේ අවස්ථාවට මුහුණදීමට ඇති වැඩපිළිවෙල කුමක් දැයි සලකා බැලීම සුදුසු ය.

ශ්‍රී ලංකා රාජ්‍යයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත. පරමාධිපත්‍යයට මූලික අයිතිවාසිකම් ද ඡන්ද බලය ද ඇතුලත් ය. ඒ අනුව මහජනයා රාජ්‍යයේ පරම බලධාරීහු වෙති.මෙසේ පිළිගෙන ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙනි.මේ පරමාධිපත්‍ය බලය සහිත දෙකෝටි විසි ලක්ෂයක් ඉක්මවූ ජනතාවට එක්‍ රැස්ව සාකච්ඡා කර තීරණ ගත නොහැකි නිසා පරමාධිපත්‍යය ක්‍රියත්මක කළ යුතු අන්දම ගැන සම්මුතියක් ද සකස් කරගෙන ඇත.ඒ සම්මුතිය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතා පරමාධිපත්‍යය කොටස් තුනකට බෙදා ක්‍රියාත්මක කළ යුතු ය.ඒ ව්‍යවස්ථාදායක විධායක හා අධිකරණ යන කොටස් තුන වශයෙනි.

ව්‍යවස්ථාදායක බලය යනු රට පාලනය කිරීම සඳහා අවශ්‍ය නීති පැනවීමට ඇති ජනතා බලය වේ.ඒ නීති පැනවීමේ බලය ක්‍රියාත්මක වන්නේ ජනතාව විසින් මැතිවරණයන් මගින් පත් කළ පාර්ලිමේන්තුව හරහා ය.ඇතැම් සුවිශේෂ අවස්ථාවල නීති පැනවීමේ කාර්‍යයන් සඳහා ජනතාවට කෙලින්ම සම්බන්ධ වීමට ද ඉඩ සලසා ඇත. එබඳු අවස්ථා වලට ජනතාව සම්බන්ධ වන්නේ ජනමත විචාරණ හරහා ය.ඒ අනුව ජනතාවට නීති සකස් කිරීමට ඇති බලය පාර්ලිමේන්තුවට පවරා දී ඇති අතර ඇතැම් විශේෂ අවස්ථාවන් වලදී විචාරණ මගින් කෙලින්ම ජනතාවට ද ක්‍රියාත්මක කළ හැකි බව පැහැදිලි වෙයි.

ජනතාවගේ විධායක බලය එනම් නීති ක්‍රියාත්මක කිරීමේ බලය පැවරී ඇත්තේ ජනතාව විසින් සිය ඡන්දයෙන් පත්කරනු ලැබූ ජනාධිපතිවරයාට ය. මේ විධායක බලයට රාජ්‍යයේ ආරක්ෂාව ද ඇතුලත් වේ.ජනාධිපතිවරයාගේ විධායක බලය ක්‍රියාත්මක කිරීමේ පාලන ජාලයට කැබිනට් මණ්ඩලය හා රාජ්‍ය සේවාව ද ඇතුලත් ය. තුන්වැනි කොටස වන්නේ ජනතාව සතු අධිකරණ බලයයි.ඉන් අදහස් කරන්නේ ව්‍යවස්ථාදායකය විසින් පැනවූ නීති විධායකය විසින් ක්‍රියාත්මක කිරීමේදී මතුවන්නා වූ ගැටළු නිරාකරණය කිරීමයි. ජනතාව සතු මෙම බලය ක්‍රියාත්මක කිරීම නීතියෙන් හා ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර ඇති අධිකරණ පද්ධතිය මගින් ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවට පවරා ඇත.පාර්ලිමේන්තුව සතු වරප්‍රසාද පිළිබඳව වූ අධිකරණ බලය පමණක් පාර්ලිමේන්තුවටම ක්‍රියාත්මක කළ හැකි ය.

මේ අනුව ජනතාව සතු පරමාධිපත්‍යය භුක්ති විඳීම ද ඉහත පරිදි ව්‍යවස්ථාදායක විධායක හා අධිකරණ ලෙස කොටස් තුනකට බෙදා ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවට හා ජනාධිපතිවරයාට පවරා ඇත.මේඅන්දමට පරමාධිපත්‍යය භුක්ති විඳිනවා මිස කිසියම් පිරිසකට මහාමාර්ගයට පොදු ස්ථානයකට හෝ රජයේ ගොඩනැගිල්ලකට ඇතුලු වී ජනතා පරමාධිපත්‍යය යටතේ ඒවා අත්පත් කර ගැනීමට හෝ අවශ්‍ය දේවල් කිරීමට අයිතිවාසිකමක් නැත.රාජ්‍යයේ සිදුකෙරෙන සියලුම කටයුතු ඉහත කී පරමාධිපත්‍යය ක්‍රියාත්මක ක්‍රීමේ ක්‍රමවේදයන් තුළ පමණක් සිදුකිරීමට සමස්ත ජනතාවම බැඳී සිටිති.

දැනට මතුවී ඇති අර්බුදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ ක්‍රියාත්මක වීමත් එය විසඳා ගැනීමට ඒ තුළින් සකසා ඇති මාර්ගයත් කුමක්දැයි විමසා බැලීම වැදගත් වේ. රටේ මහජනතාව විසින් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයෙකු පත්කර ගන්නා ලදී.එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයක දී සිය නියෝජිතයින් ද තෝරා පත් කරනු ලැබූහ.විධායකයේ ප්‍රධනියා වූ ජනාධිපතිවරයා ගේ මෙහෙයවීම යටතේ ආරම්භයේ සිටම ගත් තීරණ කෙලින්ම ශ්‍රී ලංකා ආර්ථිකයට හා .රජයට අහිතකර ලෙස බලපාන්නට පටන් ගත්තේය.රාජ්‍යයේ ආදායම සැලකිය යුතු මට්ටමින් අඩු කිරීමට හේතුවූ බදු සහන ලබාදීම ආර්ථිකයට අහිතකර ලෙස බලපෑ ප්‍රධාන තීරණය විය එමෙන්ම රටේ ප්‍රධන ආහාරය වන සහල් ඇතුලු ආහාර නිෂ්පාදනයටත් වාණිජ බෝග නිෂ්පාදන වලටත් දරුණු ලෙස බලපෑ කබනික වගා ප්‍රතිපත්තිය ද එබඳුම වැරදි තීරණයක් විය.මේඅතර ඇතිවූ කොවිඩ් වසංගත තත්වය නිසා සංචාරක කර්මාන්තයෙන් ලද ආදායම ද දැවැන්ත ලෙස පහලට වැටුණි.

රටේ මහ බැංකුව පාලනය කල මූල්‍ය මණ්ඩලය දිගින් දිගටම විනිමය අනුපාතයන් පහළ මට්ටමේ තබා ගැනීම සඳහා තමන් සතු ඩොලර් සංචිත හා රන් සංචිත පවා යෙදවීම තුළ විදේශ ණය වාරික ගෙවා ගැනීම පිලිබඳ අවදානම ඉහල ගියේය.ජ්‍යත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල දී ශ්‍රී ලංකාව පහල මට්ටම් වලට වර්ග කරන ලදී. ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය කලමණාකරණ හැකියාව පිළිබඳ ස්වකීය වාර්තා වලින් පෙන්වා දුන්නත් ඒවාට කිසිදු ක්‍රියා මාර්ගයක් ගැනුණේ නැත.රජය මේ සියල්ලට විසඳුම ලෙස කළේ මුදල් අච්චු ගසමින් රාජ්‍ය වියදම ආවරණය කිරීම ය.මෙයින් උද්ධමනය වැඩිවෙන්නට පටන්ගත්තේය.රටපුරා ජනතාව රජයේ ක්‍රියමාර්ග හා තීරණ වලට එරෙහිව සාමකාමී උද්ගෝෂණය පැවැත්වීමද ඇරඹිණි.

මේ උද්ඝෝෂණ වර්ධනය වෙද්දී ඊට ඇහුන්කම් දීමක් සිදුවූයේ නැත සාමකාමී උද්ඝෝෂණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර දී ඇති පරමාධිපත්‍යයේ කොටසක් වන මූලික අයිතිවාසිකම් යටතේ ජනතාව භුක්ති විඳින නිදහසකි.එය රැස්වීමේ නිදහස භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ආදී මූලික අයිතිවාසිකම් වලින් තහවුරු කෙරී ඇත.

අවසානයේ දී ඉන්ධන ගෙන්වා ගැනීමට ඩොලර් ප්‍රමාණවත් නොවීම නිසා මතු වූ ඉන්ධන හිඟය නිසා විදුලිය කප්පාදුවත්, ගෑස් භූමිතෙල් වැනි අත්‍යාවශ්‍ය ද්‍රවයන් සැපයුම සීමාවීමත් නොනවත්වා ඉහළ යන පාරිභෝගික භාණ්ඩ මිලත් නිසා පීඩාවට පත් ජනතාව සංවිධනාත්මක උද්ඝෝෂණයකට ගාලු මුවදොර ජනධිපති ලේකම් කාර්‍යාලය අසලට ඒකරාශී වූහ. .මේ ගාලු මුවදොර ඒකරාශී වී ගෝඨාගෝගම ලෙස හැඳින්වූ උද්ඝෝෂණය පවත්වන ස්ථානය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතියක්වූ සාමකාමී රැස්වීම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස යටතේ මහජන උද්ඝෝෂණ ස්ථානයක් ලෙස වෙන්කරනු ලැබුවේ ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයාම ය.ඒඅනුව මහජනතාව එහි සිය හාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිවාසිකම භුක්ති විඳීම අතිශය ව්‍යවස්ථානුකූල හා නීත්‍යනුකූල ක්‍රියාවකි.

ගෝටාගෝගම කේන්ද්‍ර කර පැවැත්වූ උද්ඝෝෂණ පා ගමන් ආදිය තහනම් කිරීම් සඳහා නියෝග ඉල්ලා රජය අධිකරණයට ගිය සැම විටකම ශ්‍රී ලංකාවේ නීතීඥ සංගමය තහනම් නියෝග ඉල්ලීමට එරෙහිව කරුණු දැක්වූයේ මේ උද්ඝෝෂණ මහජනතාවගේ අයිතියක් ලෙස ව්‍යවස්ථාවෙන් තහවුරු කර දී ඇති බැවිනි.මෙතෙක් නීත්‍යානුකූල උද්ඝෝෂණයක් ලෙස පැවැත්වූ ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බලකිරීමේ උද්ඝෝෂණය අමුතුම මුහුණු වරක් ගත්තේ ජුලි 9වෙනි දා ය.එදින උද්ඝෝෂණ කරුවන් විසින් කොළඹ වානිජ අගනුවරට කැදවූ ජනතාව සමග ජනාධිපති මන්දිරය වට කළ උද්ඝෝෂණ කරුවෝ එම පෞරාණික ගොඩනැගිල්ල අත්පත් කරගෙන ජනාධිපති ලේකම් කාර්‍යලයත් අගමැති වරයාගේ නිල නිවස වන අරලිය ගහ මන්දිරයත් අල්ලා ගත්හ.එතෙක් නීත්‍යානුකූල ,ව්‍යවස්ථානුකූල තත්වයක පවත්වාගෙන ආ උද්ඝෝෂණය ඒ අන්දමින් නීත්‍යානුකූලභාවය අතික්‍රමණය කර රාජ්‍ය දේපල බලහත්කාරයෙන් අත්පත්කරගත් නීති විරෝධී ජන රාශියක් බවට පත්විය.

මේ තත්වය යටතේ ජනාධිපතිවරයා රටෙන් බැහැර වී වැඩබලන ජනාධිපති ලෙස අගමැතිවරයාව ව්‍යවස්ථානුකූලව පත්කිරීමට කටයුතු කිරීම උද්ඝෝෂණ කරුවන්ගේ අභියෝගයට දැන් හේතු වී තිබේ.උද්ඝෝෂණයේ පාර්ශව කරුවන් ඇතමෙකු ප්‍රකාශ කරන්නේ අගමැතිවරයාත් ඉල්ලා අස්විය යුතු බව ය.පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂය ඉන්නේ ද ඒ මතයේම ය.ඒ සඳහා ඔවුන් පෙන්වන්නේ අගමැතිවරයාට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ජනවරමක් නැති බව ය.ඒ ඔහු පසුගිය මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කර එකදු මන්ත්‍රී ධුරයක්වත් දිනා නොගැනීම නිසා ය.

ඔහුගේ පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය යටතේ පාර්ලිමේන්තුවට පැමිණීම ජනවරමක් නොමැතිව පැමිණීමක් ලෙස විපක්ෂ පෙන්වා දෙයි.එහෙත්,මෙය සම්පූර්ණයෙන්ම මහජනතාව නොමඟ යැවීමකි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත්විය හැක්කේ ජාතික ලැයිස්තුවේ නම සඳහන් අයෙකුට හෝ මැතිවරණයට තරඟ කළ අයෙකුට ය යනුවෙනි.ඒ අනුව වත්මන් අගමැතිවරයා ගේ පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට ඔහු පත්වීම ව්‍යවස්ථානුකූල ය. මේ අන්දමටම මැතිවරණයට තරඟ කර පරාජය වූ අපෙක්ෂකයන් ලෙස පසුගිය පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු දෙදෙනෙක් පත්ව සිටියහ.ඒ මාතර දිස්ත්‍රික්කයට තරඟකර පරාජය වූ සුන්ල් හදුන්නෙත්ති හා කොළඹ දිස්ත්‍රික්කයට තරඟකර පරාජයට පත්වූ සරත් ෆොන්සේකා ය.ඔවුන්ට එදා ජනවරමක් නැතැයි තර්ක නොකර අද රනිල් වික්‍රමසිංහට පමණක් එම හේතුව මත ජනවරමක් නැතැයි ප්‍රකශ කිරීම අවස්ථාවාදී ප්‍රකාශයකි.

අගමැතිවරයා ලෙස එක් මන්ත්‍රී ධුරයක් සහිත මන්ත්‍රිවරයෙකු පත් කිරීම වැරදි බවට ද විපක්ෂය කරන ප්‍රකාශයට කිසිදු පදනමක් නැත.2015දී මන්ත්‍රීවරු 45ක් පමණ සුළු සංඛ්‍යාවක් නියෝජනය කරද්දී අගමැති ධුරය ලබා පත් කළ අමාත්‍ය මණ්ඩලයේ සේවය කළ ඇමතිවරු පවා අද විපක්ෂයේ නායකයන් ලෙස මේ කතාව කියන්නේත් අවස්ථාවාදීව බව පෙනේ.අගමැතිවරයෙකු ලෙස පත්වීමට අවශ්‍ය සුදුසුකම වනුයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී වරයෙකුවීම හා ජනාධිපතිවරයාගේ කැමැත්ත පමණි.අගමැතිවරයා පත්ව මාස දෙකක් ගත්වෙද්දීත් ඔහුට බහුතර සහය නැති බව පෙන්වීමට ව්‍යවස්තාථාකූලව කිසිම පියවරක් විපක්ෂය විසින් ගෙන නැතිවීම ද විශේෂ ය.

මේ තත්වයන් තුළ වැඩ බලන ජනාධිපති ලෙස කළ පත්වීම ව්‍යවස්ථානුකූල ය.මේ අතර ජනාධිපතිවරය ඉල්ලා අස්වන බවත් 20වන දින නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසින් තෝරා ගනු ලබන බවත් ප්‍රකාශ වී ඇත. ව්‍යවස්ථානුකූල මාර්ගය ද එයයි.ශ්‍රීලංකාව මහ මුහුද මැද දරුණු ලෙස අබලන්ව ක්‍රමයෙන් ගිලෙමින් පවතින නැවක් මෙනි.මේ නැවට දැන් කුණාටුවලට මුහුණ දීමට හෝ නාවිකයින්ගේ කැරලි වලට මුහුණ දීමට ශක්තියක් නැත.කුණාටුවක් හෝ කැරැල්ලක් ඇතිවීමෙන් වන්නේ නැව ගිලීයමයි. නැව මුහුදු බත් වූ පසු නැවේ සියලු දෙනාම විනාශවේ.ඒනිසා ව්‍යවස්ථානුකූලව මේ ඇතිවී තිබෙන අර්බුදය විසඳා ගන්නවා මිස අවස්ථාවාදීව ක්‍රියා නොකරන ලෙසත් නීති විරෝධීව හැසිරී ශ්‍රීලාංකීය ජාතිය ලොව ඉදිරියේ අවමානයට පත් නොකරන ලෙසටත් දේශපාලන පක්ෂ වෙතින් හා අරගලයේ නිරත වූවන් වෙතින් ඉල්ලා සිටිය යුතු වේ.

සුනිල් කන්නන්ගර,හිටපු කොළඹ,රත්නපුර සහ අම්පාර මහ දිසාපති

එතෙර - මෙතෙර