රෝග පීඩා හෙවත් ලෙඩ දුක් සඳහා නොයෙකුත් ඔසු වර්ග තිබේ. එහෙත්, රෝග පීඩා හෝ ලෙඩ දුක් වශයෙන් නොසැළකෙන හෙවත් ‘නැති ලෙඩ’ සඳහා ද ඖෂධ වශයෙන් හඳුන්වමින් නිකුත් කළ යම් යම් දේවලින් නූතන වෙළඳ පළ පිරී පවතී. ඖෂධ ප්‍රචාරණය නීතිමය වශයෙන් මුළුමනින්ම තහනම් වුව ද නැති ලෙඩ සඳහා ඖෂධ නමින් වෙළඳ පළට පැමිණෙන විවිධාකාර දේ සඳහා එම තහනම අදාල නොවේ.
මීට දශක කිහිපයකට පෙර අපේ යොවුන් වියේ දී අප බියෙන් සලිත කළ පුවත් පත් දැන්වීම් වර්ගයක් තිබිණ. එම දැන්වීමක් දුටු සැනින් අපට ඒ පුවත් පත කියැවීම සේම ජීවිතය ද එපා වූ වගක් තවමත් මතකයේ තිබේ.
‘ස්වප්න මෝචනය’ යනුවෙන් ලොකු අකුරින් පළ වී තිබූ එම දැන්වීම් බොහොමයක සිහිනෙන් ධාතු පහවීම යනුවෙන් එය වඩාත් හොඳින් විස්තර කොට තිබණ. එහි වැඩිදුරටත් සඳහන් වූයේ අවිවාහක තරුණයන් කෙරෙහි බලපාන ස්වප්න මෝචනය නම් වන මෙම රෝගය තුළින් රාත්‍රී නින්දේ දී ඔවුන් නොදැනුත්වම ශුක්‍රානු පිටවීම පිළිබඳවය. එමෙන්ම එලෙස මෙම තත්වය නිරන්තරව පැවැතීම මත ඒ තරුණයා ගේ කායික, මානසික ශක්තිය දුබල වන බවත් අවසානයේ තරුණ විය ඉක්ම යාමටත් පෙරම මහළු ලක්ෂණ පළ කරන ඔහු මැද වයසේ දී අකල් මරණයකට ලක් වන බවත් ය. ඊට අමතරව විවාහයෙන් පසු ඔහු තුළ පවත්නා ඉන්ද්‍රීය බෙලහීනතාව මත යුගදිවිය ද අසාර්ථක වන බවත් ය. එම වෙළඳ දැන්වීම් මගින් පැවසුණු ඖෂධ නිතිපතා භාවිතයෙන් එම රෝගය නිට්ටාවටම සුව වී මනා කාය බලයෙන් යුතු පිරිපුන් ජව සම්පන්න තරුණ වියක් සේම දිවියක් හිමි වන බව ද එම වෙළඳ දැන්වීම් වල වැඩිදුරටත් සඳහන් විය.
අප තරුණ වියේ දී අද මෙන් සම වයසේ තරුණ පෙළ අතර විවෘත ලිංගික සන්නිවේදනයක් නොතිබිණ. එමෙන්ම තමන් සම්බන්ධයෙන් එබඳු තත්වයක් පැනනැඟී ඇති විටෙක පවා එය සමීප මිතුරකුට පැවසීමට වත් බොහෝ තරුණයෝ බිය වූහ. ඊට හේතුව එවිට තමන් ආයු කාලය පවා කෙටි කරවන දරුණු රෝගාබාධයකින් පෙළෙන අවාසනාවන්තයකු බව තම මිතුරු ප්‍රජාව ඇතුළු සමාජයම සිතනු ඇතැයි හටගත් බිය නිසා ය. එහෙත්, ඒ කාලයේ අප බොහෝ දෙනෙකුට එම ඖෂධ තැපෑලෙන් ගාස්තුව ගෙවා ලබා ගැනීමේ හෙවත් වී.වී.පී. ක්‍රමයට ගෙන්වා ගැනීමට ද නොහැකි විය. ඒ එම ‘ශෝචනීය රහස’ නිවෙස් වලට ද හෙළිවන බැවිනි.
ඒ කෙසේ හෝ පසු කලෙක අවිවාහක තරුණයන්ට වැළඳෙන ස්වප්න මෝචනය නම් වන මෙම රෝග තත්වය පිළිබඳ මූලය සෙවූ මට එය පැරණි ආයුර්වේද මතවාදයක් ඔස්සේ පැතිර ගිය ජන විශ්වාසයක් බව පසක් කර ගත හැකි විය.
සුශ්‍රැත සංහිතා නම් පැරණි ආයුර්වේද ග්‍රන්ථයෙහි සඳහන් වන අන්දමට ශරීරයේ ඇති රස, ලේ, මාංස, වේදස්, ඇට මිදුළු, ඇට සහ ශුක්‍ර යන ස්වප්න ධාතු අතුරින් ශුක්‍ර ධාතුවට හිමි වන්නේ අද්විතීය තැනකි.
“රසාද්‍රකතං තතො මාංසං මාංසානෙමදඃ ප්‍රජායතෙ,
මෙදසො‘සථි තතො මජ්ජා මඥඃ ශුක්‍රස්‍ය සමභවඃ.”
“රස ධාතුවෙන් ලේ ධාතුවද, ලේ ධාතුවෙන් මාංස ධාතුවද මාංස ධාතුවෙන් මේදො ධාතුවද, මේදො ධාතුවෙන් ඇට ධාතුවද, ඇට ධාතුවෙන් ඇට මිදුලු ධාතුවද, ඇටමිදුලෙන් ශුක්‍ර ධාතුවද හට ගන්නේ ය” යන්න එහි අරුතය. පිරිමින් විසින් ගනු ලබන කිනම් හෝ ආහාරයක වුව ක්ෂාරය පෝෂ්‍ය ගුණය ශුක්‍ර ධාතු වශයෙන් ශරීරය තුළ ස්ථාපිත වීමට මාසයක් පමණ ගත වෙයි. එහෙත්, එසේ ස්ථාපිත වනුයේ ද අතිශය සුළු ප්‍රමාණයක්, මාත්‍රාවක් ලෙසිනි. ඒ අනුව ශරීරයේ සප්ත ධාතුන් අතුරින් අතිශය දුර්ලභ ශුක්‍ර ධාතුන් ඉවත නොහෙළා ආරක්ෂා කරගැනීම විවාහයට පෙර තරුණයන් අනිවාර්යෙන් කළ යුත්තකි. විවාහයෙන් පසුව වුව ද පුරුෂ පක්ෂය එය මුදා හළ යුත්තේ ඉතා සීමිත ලෙසිනි.
එහෙත්, අතීත මානවයා තුළ ඇති වූ ස්වභාවික උපකල්පනයක් වන මෙහි කිසිදු විද්‍යාත්මක සත්‍යතාවයක් නැත. අවිවාහක තරුණයන් විසින් මුහුණ දෙන මෙම අත්දැකීම අතිශය ස්වභාවික සහ සරල සංසිද්ධියකි. ඒ අනුව එලෙස ශුක්‍ර නිකුත් කෙරෙන ශරීරය සම්බන්ධ වඩාත් නිවැරදි උපමාව නිති ජල සැපයුමක් රහිත නොව ජල සැපයුමක් සහිත ජල ටැංකියක් බව මට දැන ගත හැකි වූයේ ඉන් සෑහෙන කලකට පසුව ය.
අපගේ යොවුන් වියේ දී සඟවා ගෙන සිටි කරුණක් වශයෙන් සැලකෙන මෙම ස්වප්න මෝචනය නම් වන තත්වය පිළිබඳව බෞද්ධ ත්‍රිපිටකයට අයත් විනය පිටකයේ ද සඳහන් වන බව ද ජීවිතයේ යොවුන් වියෙන් මැද වියට පත් වූ පසු මට දැනගත හැකි විය. ශුක්‍ර මෝචනය උපසපන් භික්ෂුන් සම්බන්ධ ඇවැතක් හෙවත් විනයානුකූල වරදක් වුව අචේතනාත්මකව එනම් සිහිනයෙන් එම අත්දැකීමට මුහුණ දීම ඇවැතක්, වරදක් නොවන බව විනය පිටකයේ සඳහන් වෙයි. ඉන් ඉතා පැහැදිලිව පෙනෙනුයේ මෙය අවිවාහක තරුණයන්ට සේම බ්‍රහ්මචාරී දිවි පෙවෙතක් ගත කරන භික්ෂුන්ට ද එක සේ පොදු අද්දැකීමක් බව ය.
පැරණි ආයුර්වේදයේ රෝග තත්වයක් ලෙස හඳුන්වන මෙම ස්වප්න මෝචනය පිළිබඳව බටහිර වෛද්‍ය විද්‍යාවේ ද සඳහන් ය. එහෙත්, ඒ සාමාන්‍ය තත්වයක් ලෙසින් මිස රෝග තත්වයක් ලෙස නොවේ. තෙත සිහින (wet dreams) යනු ඒ සඳහා යෙදෙන පොදු ව්‍යවහාරයයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ එය හැඳින්වෙනුයේ නිශාගත විමෝචනය (Nocturnal emission) යනුවෙනි. ජීවිතයේ ළමා වියෙන් තරුණ වියට එළැඹීමේදී ශරීරය තුළ ලිංගික හෝමෝන උත්පාදනය වීම අතිශය සාමාන්‍ය සුලබ තත්වයකි. එම හෝමෝන වල බලපෑම නිසා ශරීරය තුළ ශුක්‍ර ධාතුව ද ස්වභාවික නිෂ්පාදනය වෙයි. නමුදු ප්‍රජනනය සඳහා මුලෝත්පාදක වන ලිංගික කටයුතු සඳහා ගබඩා වී ඇති එම ශ්‍රකු ධාතු එවැනි තත්වයන් නොමැති පසුබිමක වරින් වර ඉබේ නිකුත් වීම තරුණයකු සතු නිරෝගී පැවැත්මක ලක්ෂණයක් බව බටහිර වෛද්‍ය නිගමනයයි. මුළුමනින්ම විද්‍යාත්මක අර්ථ කථනයක් නොවුවද ස්වප්න මෝචනය නම් වන ක්‍රියාදාමය යොවුන් වියේ තරුණයන් ගේ ජෛවමය ව්‍යුහය වරින් වර යාවත්කාලීන වීමක් ලෙස සරලව නම් කළ හැක.
මේ අතර අවිවාහක තරුණයන් තුළ ඇති වන මෙම සංසිද්ධිය මෝහිනී නම් යක්ෂණිය ගේ බලපෑමෙන් සිදුවන බවට විශ්වාසයක් ද අපගේ පැරණි සමාජය තුළ තිබිණ. එපමණක් නොවේ මෝහිනිය විසින් රවටවා ගන්නා ලද තරුණයන් ඉන් මුදා ගැනීම අරමුණු කරගත් ශාන්ති කර්ම සම්ප්‍රදායන් ද අප පැරණි සමාජයේ තිබී ඇත. එහෙත්. ඔවුන් මෝහිනිය නමින් හඳුන්වන මෙම තත්වය තරුණයන් ගේ උපවිඥානය තුළින් ස්වභාවික ලෙසට පැන නඟින ලිංගිකාශාව බව නිසැක ය.
තරුණයන් තුළ පවත්නා මෙම තත්වය ස්වප්න මෝචනය නමින් හැඳින්වුව ද බොහෝ විට මෙහිදී සිදුවන්නේ යම් අනුරාගී සිහිනයක් දැක එය මුල්කොට ශුක්‍ර පහවීම නොවේ. එසේ සිදුවන ශුක්‍ර පහවීම මුල් කොට ක්ෂණිව යම් සිහිනයක් නිර්මාණය වීම ය. එමෙන්ම මෙය සිදුවනුයේ නින්දත් නොනින්දත් අතර පවතින අක්ෂි චලන වේග (Rapid eye movement REM) අවස්ථාවේදී බව මේ වන විට සනාථ වී තිබේ. අවිවාහක තරුණයන් මුහුණ දෙන ස්වප්න මෝචනය නම් වන මෙම තත්වය නින්දේ දී මුත්‍රා පහවීම හෙවත් නිශාගත මුත්‍රා විමෝචනය (Nocturnal enuresis) නම් තත්වයට සමාන ය. එහිදී ද නින්දේ දී මුත්‍රා පහවන විට ඊට මුහුණ දෙන්නා තුළ තමන් කුමක් හෝ සුදුසු ස්ථානයක මුත්‍රා පහකරන බවට සිහිනයක් ක්ෂණිකව නිර්මාණය වෙයි. එහෙත්, මෙය සිහිනයක් බව ඔහුට හෝ ඇයට ඒත්තු යන විට යහනේ මුත්‍රා පහ වී හමාර ය.
ස්වප්න මෝචනය නම් වන මෙම තත්වය රෝගයක් නොවුව ද නින්දෙන් මුත්‍රා පහවීම රෝගයක් හෝ රෝග ලක්ෂණයක් බව විද්‍යාත්මකව තහවුරු වී ඇති බැවින් ළමා වියෙන් පසු එම තත්වයට මුහුණ දෙන්නවුන් වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු ය. නමුදු මෙම ස්වප්න මෝචනය නම් තත්වය රෝගයක් නොවන මුත් ඒ සඳහා වන නිශ්චිත ප්‍රතිකාරයක් තිබේ. එනම් ලිංගික ජීවිතයක් ඇරඹීම ය. වඩාත් ශිෂ්ට ලෙසින් කිවහොත් විවාහ වීම ය. එවිට ද සිහින මුල් කොට ඇති වන එම අත්දැකීමට සිහිනයකින් තොරවම මුහුණ දීමට ඒ තැනැත්තාට අවකාශ ලැබේ.
තත්වය මෙසේ තිබිය දී ස්වප්න මෝචනය හෙවත් නිශාගත විමෝචනය නම් වන මෙම ස්වභාවික තත්වය රෝගයක් වශයෙන් තවමත් හඳුන්වන පිරිස් තවමත් ලොව පුරා සිටිති. ඒ සඳහා වන නවීන ඖෂධ වශයෙන් හඳුන්වන යම් යම් දේ තවමත් වෙළඳ පළේ දක්නට ලැබෙන්නේ ඒ නිසා ය. මේ බොහොමයක් ආයුර්වේදය මුල් කොට ගත් නවීන නිෂ්පාදන බව ද පෙනේ. මෙම සටහන මගින් අතීත ආයුර්වේද ග්‍රන්ථ, සූත්‍ර සංග්‍රහ ආදියේ එන අතැම් කරුණු සත්‍ය නොවන බව පැවසීමට අපට සිදුවී තිබේ. එහෙත්, ඒ අනුව විද්‍යාව පරම සත්‍යයක්ය යන නිගමනයට ඒමට අපට නොපුළුවන. ඊට හේතුව බටහිර වෛද්‍ය විද්‍යාත්මකව ගනු ලැබූ විවිධ නිගමනයන් ද සත්‍ය නොවන බව හෙළි වී ඒවා වෙනස් කිරීමට සහ යාවත්කාලීන කිරීමට සිදු වූ අවස්ථාවන් බටහිර වෛද්‍ය විද්‍යා ඉතිහාසයෙන් ද තොග පිටින් සොයා ගත හැකි බැවිනි.
තිලක් සේනාසිංහ