පිරිසක් නීති විරෝධී කැකුණ තැලීම හා තවත් පිරිසක් රජ මඟුල් කෑම

බලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහජන ආරක්ෂක පනත යටතේ පැනවූ හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුවේදී ඊයේ (27) වැඩි ඡන්දයෙන් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර විරුද්ධව 63 ක් ලැබුණි. නොපැමිණි මන්ත්‍රීන් සංඛ්‍යාව 41 කි. එහි ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු අඩු වැඩි වශයෙන් සිටිති

එහෙත්, හදිසි නීතියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව විපක්ෂය කියා සිටියේය. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි ගාලුමුවදොර අරගලකරුවන්ට ආණඩුව හමුදාව යොදවා පහරදීම ය. සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය කියා සිටියේ මේ නිසා ඔවුන් හදිසි නීතියට විරුද්ධව ඡන්දය භාවිතා කරන බවකි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කීවේ ජනාධිපති තෝරන ඡන්දයේදී රනිල්ට ඡන්දය දුන් මන්ත්‍රීවරුන් හදිසි නීතියේ දී සොයා ගත හැකි බව ය. ඒ මන්ද ජනාධිපති තෝරන ඡන්දය රහස් ඡන්දයක් වූ බැවිනි. කෙසේ නමුත් ජනාධිපති තෝරන ඡන්දයේදී ඩලස් අලහප්පෙරුම පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි පක්ෂ 11 කණ්ඩායම හදිසි නීතියට පක්ෂව ඡන්දය ලබාදීමට තීන්දු කළේය.ඉන් අනුර කුමාරගේ තර්කය බිඳ වැටුණි.

මාධ්‍ය වාර්තාවල පළ වූයේ ඩලස් අලහප්පෙරුම ද හදිසි නීතියට පක්ෂව ඡන්දය භාවිතා කළ බවකි. පක්ෂ 11 කණ්ඩායම වෙනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා හදිසි නීතියට පක්ෂව ඡන්දය භාවිතා කිරීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් විවරණයක් පාර්ලිමේන්තුව තුළ දී ඉදිරිපත් කළේය. ඔහු හදිසි නීති විවාදයට එක් වෙමින් කීයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තමන්ට විවේචනයක් ඇතත් රාජ්‍ය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් හදිසි නීතියට පක්ෂව ඡන්දය ලබා දෙන බවකි.

ඒ අනුව ජනාධිපති ඡන්දයේදී මන්ත්‍රී ඡන්ද 83 ක් ලබා ගත් විපක්ෂය සිය මන්ත්‍රී ඡන්ද සංඛ්‍යාව 63 දක්වා පහත හෙලා ගත්තේය. විපක්ෂය උදම් ඇනුවේ ජනාධිපතිවරණයෙන් පසුව විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව ඉහළ ගොස් ශක්තිමත් විපක්ෂයක් බිහි වූ බව ය. ගණිත මිනිත ක්‍රමයට අන්‍ය මත විමසන රාජිත සේනාරත්න මේ මතය දැඩිව ප්‍රකාශ කර සිටියේ හදිසි නීතියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට මාධ්‍ය හමු පවත්වමිනි.

විමල් වීරවංශගේ ප්‍රකාශය මධ්‍යස්ථ මතධාරීන්ගේ ඇස් අරවන්නක් විය. ඔහුගේ රාජපක්ෂ ගැති භාවය වෙනුවෙන් සමාජයේ දැඩි විවේචනයක් පැවැති නමුත් ජනාධිපති ඡන්දයේ දදී විපක්ෂය පැත්තේ සිට ගැනීම නිසා ඔහුට විපක්ෂයේ විවේචන අඩු විය. එම නිසා ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විශාල විරෝධයක් සමාජය තුළ මතු වූයේ නැත.

විමල් කියන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ ඇමරිකානු තානාපතිනියට අවශ්‍ය ආකාරයට ය. එම නිසා ඔහු ආර්ථිකය සම්බන්ධයෙන් මෙන්ම සමාජය සම්බන්ධයෙන් පියවර ගෙන ඇත්තේ ද ඇමරිකාව කියන ආකාරයට ය. එම නිසා ඔහු නීතිය ක්‍රියාත්මක කළ යුතු අවස්ථාවලදී පවා නීතිය ක්‍රියාත්මක කර නැත.

එම නිසා ඔහුට ධූරය හැරයාමට පවා සිදුව තිබේ. එසේම ආර්ථික ප්‍රශ්න හමුවේ ඇත්තටම මහමඟට පැමිණි තරුණ කොටස් පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි කණ්ඩායමක් විසින් මෙහෙයවා රට අරාජික කිරීමේ මෙහෙයුමක නිරත වන්නේ ලිබියාව, හයිටිය වැනි රටවල් අස්ථාවර කළ ආකාරයට බව විමල් කියා සිටියේය.

නීති අංශවලට රාජ්‍ය නොවන සංවිධානයක් හරහා මුදල් ලැබුණු ආකාරයක් ගැන ලිපි ලේඛන කිහිපයක් ද ඔහු පාර්ලිමේන්තුවේ දී සභාගත කළේය. මේ අතර ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හදිසි නීති විවාදයේ දී කියා සිටියේ රනිල් වික්‍රමසිංහ ධූරයෙන් පලවා හැරිම සඳහා අගොස්තු 09 දින මහජනතාව කොළඹට පැමිණිය යුතු බවකි.

එසේම අගෝස්තු 09 දින කොළඹට පැමිණෙන ජනතාවට අවි එසවීමෙන් වළකින්නැයි ඔහු හිටපු හමුදාපති ලෙස ආරක්ෂක අංශ වෙත “නියෝගයක්” ද නිකුත් කළේය. විමල් ඊට කදිම පිළිතුරක් දුන්නේ ය. එනම් එන එන ජනාධිපතිවරයා ඉවත් කිරීමට හැම මාසෙම කොළඹට එනවාට වඩා තමන් කැමති පුද්ගලයා කවුදැයි කෙලින්ම කියා ඔහු ජනාධිපතිවරයා කොට මේ ප්‍රශ්නය විසඳා ගත යුතු බවකි.

ආර්ථික ප්‍රශ්න හමුවේ පාරට බැස්ස ජනතාව ඉල්ලා සිටියේ ඔවුන්ට සහන දෙන ලෙස ය. විරෝධතා පුවරු රැගෙන මංසන්දිවල දී ජනතාව නිහඩ උද්ඝෝෂණ කළේ ආර්ථික ප්‍රශ්නවලින් මිදෙන්නට මිස සිටින පාලකයා පන්නා දැමීමේ අරමුණෙන් නොවේ. එහෙත් මේ ජනතා පීඩනය දෙස බලා සිටි කණ්ඩායම් කිහිපයක් ගෝටාගෝහෝම් නමින් සටන් පාඨයක් ගෙනා අතර එය ජනතා ආකර්ෂණයට බඳුන් වූහ.

ඉන් පසු ජනතාව සිය විරෝධතා ගෙන ආවේ ගෝඨාගෝහෝම් සටන් පාඨය ද පෙරදැරි කරගෙනය. එය උච්චතම අවස්ථාවට පැමිණියේ ජනාධිපති ලේකම් කාර්යාලය අවහිර කරමින් ගාලුමුවදොර දක්වා ඉදිවූ ගෝටාගෝ ගමට මැයි 09 දා අරලිය ගහ මන්දුරයේ සිට පැමිණි පිරිසක් විසිනි ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ ය. එය රටපුරා ක්ෂණයෙන් ඇවිලි ගිය අතර රටම ගිනි ජාලාවක් බවට පත්වූයේ එක් මන්ත්‍රීවරයෙකු ද ඝාතනය කරමිනි.

ඉන් පසුව එළැඹි අරාජික තත්ත්වය තුළ අගමැති ධූරයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් වූ අතර ජුනි 09 දා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිධූරයෙන් ඉල්ලා අස් විය. ජුලි 09 දා කොළඹට පැමිණි මහජන ගඟ හේතුවෙන් ජනාධිපතිවරයා රටින් පලා ගියේ ජනතා විරෝධයට සෑම ක්ෂේත්‍රයකම සහාය හිමිවූ බැවිනි. ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසුව වැඩ බලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පත් නොවිය යුතු බව කියමින් අගමැතිවරයාගේ පෞද්ගලික නිවසට ද අරගලයට පැමිණි පිරිස් විසින් ගිනි තබා විනාශ කළහ.

රනිල් වික්‍රමසිංහ ද ඉල්ලා අස්විය යුතු බවට ජන මතයක් ගොඩ නැඟීමට පිරිසක් කටයුතු කරද්දී අරගලකරුවන් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය අත්පත් කරගත් අතර තවත් පිරිසක් ජාතික රූපවාහිනියට ද කඩා වැදුනහ. සවස් යාමයේ පාර්ලිමේන්තුව ද වට කරමින් විරෝධතාකරුවන් පාර්ලිමේන්තු සංකිර්ණය අත්පත් කර ගැනීමට උත්සාහ කරද්දී වැඩබලන ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පනවා අරගලකරුවන් පාර්ලිමේන්තුවට පැමිණීම වළක්වාලීය.

ඊයේ සම්මත කෙරුණේ එම හදිසි නීති රෙගුලාසි ය. හදිසි නීතිය පැනවූයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය පාලනය කිරීමටය. එය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ ශක්තිමත් යැයි පාරම් බෑ විපක්ෂයේ ශක්තිය නම් හීන වී ගියේය. අවසානයේ හදිසි නීතියට විරුද්ධව ඡන්දය ලබාදී තිබුණේ සමගි ජනබලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ කණ්ඩායම පමණකි. ආණ්ඩුවෙන් ඉවත්වූ කණ්ඩායම් හදිසි නීතියට විරුද්ධව ඡන්දය භාවිතා කළේ නැත.

අරගලකරුවන් වරද්දාගත් තැන වූයේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟහැර යාමට උත්සාහ කිරීම ය. එයට පෙළඹවූයේ දියවන්නාවෙන් එපිට බලයක් ගොඩනැගිය යුතු බවට වූ මතවාදයක් පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් ගොඩ නැඟීමය. එම මතය පදනම්ව අරගලකරුවන් කටයුතු කළ නිසා මන්ත්‍රීවරුන් 73 දෙනෙකුගේ නිවාස ගිනිබත් විය..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව උත්තරීතර ආයතනය පාර්ලිමේන්තුව ය. ඉන් ඔබ්බට යාමට කටයුතු කිරීමෙන් සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති පද්ධතිය උල්ලංඝනය වීමයි. මන්ත්‍රීවරුන් ගේ අවධානය අරගලය දෙසට යොමු කරගැනීම පසෙකලා ඔවුන් සමඟ ගැටීමට යාමෙන් අරගලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය සහ නීති කරයි. එවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍ය ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දී සිටින; නීතියෙන් බැඳීසිටින ආරක්ෂක අංශ සමඟ ඝඨ්ටනයකට ගොස් අරගලකරුවන් මර්දනය වීම ය.”ඌරන් කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මඟුල්” යන ජන පිරුළ අපගේ වත්මන් දේශපාලන තත්වයට 100%ක්ම ගලපා ගත හැක්කේ එවිටය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර