භරණ ඇත් රජු විදුලි සැර වද්දවා මරා දමලා

කලාවැවට ආභරණයක් වූ භරණ හස්තියාගේ මරණය විදුලි සැර වද්දවා සිදු කළ ඝාතනයක් විය හැකි බව එම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා කියයි.භරණ හස්තියාගේ සිරුර සොය ගත් ගල්කිරියාගම උල්පතගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමකට යාබද ජාතික නාමල් උයන රක්ෂිතයේ ගස් කිහිපයක දවටා අනවසර විදුලි රැහැනක සළකුණු ද වනජීවී නිලධාරීන් විමර්ශනයට ලක් ව ඇති අතර එම රැහැන් ඇදීමට යොදා තිබූ බවට සැලකෙන විදුලි කම්බි තොගයක් ද එම ස්ථානයට යාබද වගා බිමක තිබූ අනාරක්ෂිත වගා වතුරේ ගිල්වා තිබිය දී සොයා ගෙන තිබේ.වයස අවුරුදු 35ක් පමණ වූ අඩි 09ක උසකින් යුක්ත අඩි 04කට වැඩි දිගකින් යුත් පිරිපුන් දළ යුගලයකට ද හිමිකම් කියූ භරණ හස්තියාට මීට කලකට ඉහත ඒ නම තබා ඇත්තේ වන සත්ව ලෝලියකු වන සජිත් ප්‍රේමදාස මහතා විසින් බව ප්‍රදේශ වාසීහු කියති. පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා පැවසුවේ පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණූ අනුව භරණ හස්තියාට විදුලි සැර වැදීමකින් හෘදයවස්තුවට සිදුව ඇති තීව්‍ර බලපෑම මරණයට හේතු වී ඇති බවයි. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව හස්තියාගේ දළ යුගලය සහිත හිස කොටස ගල්කිරියාගම වනස්ව අඩවි ආරක්ෂක කාර්යාලය භාරයට ගෙන තිබේ.භරණගේ අකල් මරණයෙන් කම්පාවට පත් ගල්කිරියාගම සහ ඒ අවට ගම්වාසීන්ගේ ද සහභාගීත්වයෙන් හස්තියාගේ සිරුර එම ස්ථානයේදීම මිහිදන් කෙරුණු අතර හස්තියා සමග නිරන්තරයෙන් සැරිසැරූ බව කියන තවත් වන අලියෙකු ද භරණට “අවසන් ගෞරව දැක්වීම සදහා” එම ස්ථානයට පැමිණීම ද විශේෂත්වයකි.

කාලීන පුවත්