නව අමාත්‍යංශ ලේකම්වරුනි;දැන් ඉතින් “වැඩ පෙන්වනු” මැනවි

නව අමාත්‍යංශ ලේකම්වරුන් පත්කර ඇත. සැබෑ වෙනසක් එහි දක්නට තිබීම ගැන සතුටු ය. ගෝඨාගේ ආණ්ඩුවේ ලේකම්වරු පත් කිරීමට වඩා ප්‍රශස්ත ලෙස මේ පත් කිරීම් කර තිබීම මගින් ජනාධිපතිවරයා යම් පණිවුඩයක් රාජ්‍ය සේවාවට ලබාදී ඇත. පුද්ගල චරිත පිළිබඳව කෙසේ වෙතත් නව ලේකම්වරුන් ගේ වෘත්තීය පරිසරය අනුව වර්ග කළ විට පහත පරිදි විග්‍රහ කළ හැකි ය.

1) ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ 20
2) ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලන සේවාවේ 2
3) වෘත්තීය ඉංජිනේරු වරු 1
4) ශ්‍රී ලංකා සැලසුම් සේවාවේ 1
5) ශ්‍රී ලංකා විදේශ සේවාවේ 1
6) ශ්‍රී ලංකා මහ බැංකු සේවාවේ 1
7) ශ්‍රී ලංකා යුධ හමුදාවේ 1
8) විශ්ව විද්‍යාල මහා චාර්ය 1

මේ අනුව බැලූ කල නව අමාත්‍යංශ ලේකම්වරුන් විවිධ ක්‍ෂේත්‍ර නියෝජනයෙන් යුතුව තෝරා ගෙන තිබීම වැදගත් ය. අමාත්‍යංශ වල විෂය පථයන් තීරණය කිරීමේ දී ද බොහෝ දුරට සමබරතාවය ආරක්ෂා කිරීම කෙරෙහි සැලකිල්ලක් දක්වා තිබීම ද මෙවර දැක ගත හැකි විශේෂයකි.
ගෝඨාභය ජනාධිපති වරයාගේ අමාත්‍යංශ විෂය පථයන් තීරණය කිරීම මුළුමනින්ම අවුල් ජාලයක් විය. ඒ අවුල් ජාලා ප්‍රමාණය තේරුම් ගැනීමට ඒ වෙනුවෙන් නිකුත් කළ ගැසට් නිවේදන සංඛ්‍යාවේ විශාලත්වය ප්‍රමාණවත් ය.

අමාත්‍යංශ විෂය පථයන් අවුල් කළා පමණක් නොව ඒ සඳහා ලේකම්වරුන් පත් කිරීමේදී ද විෂය පථයට අදාල නොවන නිලධාරීන් ලේකම්වරුන් ලෙස පත් කිරීම ගෝඨා පාලනයේ සුලභ අත්දැකීම විය. උදාහරණ ලෙස එහි බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු ලේකම්වරයා ලෙස මුලින් පත්වීම් ලද සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳව ප්‍රාමාණික දැනුමක් සහිත දක්ෂ පරිපාලන සේවා නිලධාරියා ඉතා කෙටි කලකින් ඉවත් කර වෘත්තියෙන් වෛද්‍ය වරයෙකු වන රාජ්‍ය සේවාවේ කිසිදු අත්දැකීමක් නැති අයෙකු ඊට පත් කළේය.

ආරක්ෂක අමාත්‍යංශය පත් කළ යුධ හමුදා විශ්‍රාමික ජෙනරාල්වරයා ආරක්ෂාව පිළිබඳව දක්ෂ හා ඊට ගැලපෙන නිලධාරියෙකු වුවත් ඔහු යටතට රටේ දිස්ත්‍රික් ප්‍රාදේශීය හා ග්‍රාම පාලනය ද එක්කර එම ක්‍ෂේත්‍රය මුලුමනින්ම අවුල්කර දැමීය. 1931 සිට ආරම්භක අමාත්‍ය මණ්ඩලයේ සිට පැවත ආ ප්‍රධාන කැබිනට් අමාත්‍යංශයක් වූ ස්වදේශ කටයුතු අමාත්‍යංශ නාමය මුල් වරට අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කළේ ගෝඨාභය ජනාධිපතිවරයා ගේ පාලනය යටතේ ය.

සන්නද්ධ හමුදාවන් වල සේවාව කළ උසස් නිලධාරීන් අතර තම විෂය පථයන් තුළ පරිපාලන සැපයුම්, බෙදා හැරීම්,ගබඩාකරණය, ඉදිකිරීම්, තාක්ෂණික ආදී කළමණාකරණ කටයුතු සම්බන්ධව පලපුරුදු නිලධාරීහු ද සිටිති. විශේෂයෙන් යම් වයස් සීමාවකදී විශ්‍රාම ගන්නා ඔවුන් ගේ පලපුරුද්ද දක්ෂතා වලින් රටට සේවාවක් ලබා ගැනීම ද වරදක් නොවේ. ඒ සඳහා ඒ නිලධාරීන් අමාත්‍යංශ ලේකම් පදවියකට අනුයුක්ත කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක්කේ ආරක්‍ෂක අමාත්‍යංශයේ දී පමණක් බව කිව යුතු ය.

ගෝඨාභය ජනාධිපතිවරයා යටතේ අමාත්‍යංශ ලේකම්ධුර හතරක් පමණ ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික හමුදා නිලධාරීන් භාරයේ පැවතුණි.ඒ කෘෂිකර්ම, සෞඛ්‍ය, මහජන ආරක්ෂාව හා ආරක්ෂක යන අමාත්‍යංශ වේ. මීට අතිරේකව බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍යංශය ද එසේ ලේකම් ධුරය හමුදා නිලධාරියෙකු පත් කර තිබූ එකකි. මේ අමාත්‍යංශ වල ඇති වූ ගැටලු අමාත්‍යංශ තුළ පමණක් නොව රටේම ප්‍රචලිත වූ ගැටලු බැව් පමණක් සටහන් කරමි. ඒ තුළින් රටට පමණක් නොව ඒ ධුර දැරූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට ද වූයේ අගතියකි. හමුදාවන් තුළ දී දක්ෂ නිලධාරීන් වූ ඔවුන්ට නොගැළපෙන කාර්යයන් භාරදීම නිසා ඔවුන්ටත් වූයේ අසාධාරණයකි. මෙහිදී දක්ෂ හමුදා මේජර් ජෙනරාල් වරයෙකු වූ රංජිත් ද සිල්වා මහතා සිවිල් තනතුරක් වූ ත්‍රිකුණාමලයේ දිසාපති පදවිය වසර නවයක පමණ දීර්ඝ කාලයක් දැරීමෙන් පෙන්වූයේ නිසි අවස්ථාවේ නිසි සිවිල් තනතුරක් ක්‍රියා කිරීමට හැකි හමුදා නිලධාරීන් ද සිටින බවය.

කෙසේ වෙතත් මෙවර පත්කර ඇති අමාත්‍යංශ ලේකම් වරුන්ගේ සංයුතිය බොහෝ දුරට ගැලපීමක් සහිත වීමත් හැකිතාක් දුරට අදාල ක්‍ෂේත්‍රයන්ට ගැලපීමට උත්සාහ දරා තිබීමත් අගය කළ යුතු ය. සෞඛ්‍ය අමාත්‍යංශයට සුදුසුම ලේකම්වරයා පරිසර අමාත්‍යංශයට පත් කිරීමත් අදාල කාන්තාවන් ප්‍රමාණවත් නොවීමත් අඩුවක් ලෙස පෙනුණ ද කලින් තිබුණු හැටියට මේ “ඉහටත් උඩින්” ප්‍රමාණවත් ය.දැන් ඇත්තේ මේ ලේකම්වරුන්ට වැඩ පෙන්වීමට ය.

මෙහිදී තම තමන්ගේ අමාත්‍යංශ වලින් රටට සාර්ථක ප්‍රතිඵල ලබාදීම පිළිබඳ වගකීම ඇත්තේ ලේකම් වරුන්ට ය. ලේකම් වරුන් කරබා ගෙන වැල යන අතට මැස්ස ගසා ගෙන සිට අමාත්‍යංශයෙන් හා ඒ යටතේ ඇති ආයතන වලින් රට අපේක්ෂිත ප්‍රතිඵල ලබා දෙන්නට බැරි වූ පසු දේශපාලකයන් සමග වැඩ කළ නොහැකි යයි කියමින් ඇමති පිටට වරද පටවා නිදොස් වීමට බැරි බව ද පෙන්වා දිය යුතු ය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ලේකම්වරයා ඇමතිවරයා ගේ විධානය අනුව ක්‍රියා කළ යුතු යැයි කියා තිබීම නිසා ඇමතිකියන හැම දේම කරන්න වුණා යැයි කියා ව්‍යවස්ථාවට දොස් පැවරීම ද නොකළ යුතු ය.

ජනාධිපතිත්, ඇමතිත්, ලේකමුත් අනික් සියලුම නිලධාරීනුත් ප්‍රතිඥා දී ඇත්තේ තමන් ගේ ධුරයේ කාර්යය හා කර්තව්‍ය නීතියේ හැටියටත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හැටියටත් කරන බවට ය. ඒ නිසා නීතියට පිටින් නියෝග දෙන්නට ඇමතිට බැරි බවත් එසේ දුන්නාට ඒවා ක්‍රියාත්මක කරන්නට තමන් බැඳී නැති බවත් පෙන්වා දීම ලේකම්ගේ කාර්යයකි. ඇමති හා ලේකම් නීතියට පිටින් නියමයන් කළාට ඒවා ක්‍රියාත්මක කරන්නට තමන් බැඳී නැති බව අනිකුත් අවශේෂ නිලධාරීන් ද දැන ගෙන සිටීම මෙන්ම නිසි අවස්ථාවේ දී පෙන්වා දීමට ක්‍රියා කිරීමෙන් ද බොහෝ වැරදි වලක්වා ගත හැකිය.

සුනිල් කන්නන්ගර හිටපු කොළඹ,රත්නපුර සහ අම්පාර මහ දිසාපති

එතෙර - මෙතෙර