ගාලු මුවදොර අරගල බිමෙන් ප්‍රභාකරන්ගේ ගුණ වැයීමක් අසන්නට ලැබුණේ කොහොමද?

ගාලු මුවදොර අරගල භූමියේ සිටින පිරිසක් තමන් ඉදිරියේ සිටින ආරක්ෂක හමුදා සාමාජිකයන්ට පරුෂ වචනයෙන් බැන වදින වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල සේම ඇතැම් වෙබ් අඩවි මගින් ද ප්‍රචාරය වෙමින් තිබේ.එහි සිටින එක්තරා පුද්ගලයකු කියා සිටිනුයේ මෙරට ආරක්ෂක හමුදාවන්ට වඩා එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට ගරු කළ යුතු බවකි.එසේම ශ්‍රී ලාංකේය ආරක්ෂක හමුදා තමන් වෙත එල්ල වූ යුද අපරාධ චෝදනා වලට මෙතෙක් පිළිතුරු දී නොමැති බවට ද ඔව්හු තමන් ඉදිරියේ සිටින ආරක්ෂක භට පිරිස් වලට අවලාද නඟති.

එහෙත්, එසේ චෝදනා නැඟීමට ආසන්නතම හේතුව; එහි යුක්තායුක්ත භාවය ආදිය පිළිබඳව විමසීමට පෙර මෙම ගාලු මුවදොර අරගලය යන්න පිළිබඳ විධිමත් විශ්ලේෂණයක් හෙවත් සමාජමය කියැවීමක් කොට තිබිය යුතු ය. නොඑසේ නම් සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවගේම නොමඳ අවධානයට යොමුව ඇති අරගලයේ සැබෑ අනන්‍යතාව පිළිබඳ නිවැරදි වැටහීමක් ලබා ගත යුතු ය. මේ දිනවල වැඩිපුරම සමාජමය භාවිතයට ගැනෙන වදන් අතුරින් ‘අරගලය’ යන්නට හිමි වනුයේ ප්‍රධාන තැනකි. ගත වූ දීර්ඝ කාලය මුලුල්ලේ බොහෝ දෙනකුගේ සිත් තුළට නොපහන් බවක් එක් කළ අරගලය යන වදන පසුගිය මාස කිහිපය තුළ බොහෝ දෙනාගේ ප්‍රසාදයට හේතු වී තිබූ බව නොරහසකි. අප රටේ මධ්‍යම පාන්තික නාගරික තරුණ ප්‍රජාව කේන්ද්‍රකොට ගත් බවක් අප විශ්වාස කරන ගාලු මුවදොර අරගලය අප රටේ “ජනප්‍රිය සංස්කෘතිය”ට පවා එක්ව තිබීම ඊට හේතුව ය.

දැනට වසර ගණනාවක සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ද මෑත කාලයට ජනප්‍රිය සංස්කෘතික ධාරාවට එක් වූ පාරිභෝගික සැනකෙළියකි. පොත් කියැවීමට හුරු, නුහුරු අති විශාල ජනතාවකගෙන් එම පොත් ප්‍රදර්ශන භූමිය අතුරු සිදුරු නොමැතිව පිරී ගිය බව රහසක් නොවේ. එනිසාම පොත පත කියැවීම පිළිබඳ උනන්දුවක් ඇති, නැති නාගරික මධ්‍යම පාන්තික බොහෝ දෙනා එම පොත් ප්‍රදර්ශන භූමියේ සවාරියක් යෑමට පෙළඹුණහ. ඒ තම සමාජ තත්වයේ පසුවන කිසිවකු “පොත් ප්‍රදර්ශනයට ගියාද?” යනුවෙන් නඟන පැනයකට “නෑ” යන පිළිතුර දීමෙන් තමන් පිළිබඳ වන සමාජයීය ආස්ථානය බිඳ වැටීමක් සිදුවන්නේය යන බිය මුසු සැකය නිසා ය. ඉන්පසු එම ජනප්‍රිය සංස්කෘතික තලයට පිවිසි සමාජමය සංසිද්ධිය වූයේ ගාලු මුවදොර අරගලයයි.ඒ අනුව බොහෝ නාගරික මධ්‍යම පාන්තිකයන් තම ආශ්වාදය පිණිස ද මෙම අරගල භූමිය තෝතැන්නක් කර ගත් බව පෙනෙයි.

මෙම අරගලය යන වදන අප සමාජයට නුහුරු නුපුරුදු එකක් නොවේ. මෙම අරගල වල යෙදෙන පිරිස් නැතහොත් ජන කොටස් අනුව ඒවා පුද්ගල, පවුල් ප්‍රජා සහ සමාජමය වශයෙන් සිව් වැදෑරුම් ය. ඉහත සඳහන් ගාලු මුවදොර අරගලය මෙන් ජනකාන්ත නොවූව ද පවුල් අතර සහ සමාජමය ඒකක හෙවත් ප්‍රජාවන් දෙපාර්ශවයක් අතර හට ගන්නා අරගල සෑම සමාජයකම දක්නට ලැබේ. එහෙත්, සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට අසංවිධිත සමාජ, ආර්ථික පසුතලයන් තුළ ඒ එම අරගල බහුලවීමේ වැඩි සම්භාවිතාවක් තිබේ.

විශේෂයෙන් තමන් ගේ මූලික සහ අනෙකුත් අවශ්‍යතා ඉටු කර ගැනීම පිණිස වන සම්පත් ඌණතාවයන්ට නිරතුරු මුහුණ දෙන නාගරික පහළ මධ්‍යම පාන්තික සමාජ තුළ එකී ගැටළු අර්බුද බහුලත්වය මත හට ගන්නා අරගල ද සාපේක්‍ෂ ලෙස ඉහළ නැංවෙන බව සමාජ විශ්ලේෂකයන් ගේ පොදු මතයයි. එහෙත්, එම අරගල සමනය කර ගැනීම මුල් කොට ගත් අභ්‍යන්තර යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වීම ඔස්සේ එම අරගල හට ගැනීමට සාපේක්‍ෂව ඒවා මුල් කොට සිදුවන සාපරාධී ක්‍රියාවන් හි යම් අඩුවක් දක්නට ලැබේ.

එමෙන්ම එම ප්‍රජාවන් ගේ අභ්‍යන්තරික ව්‍යුහයන් තුළ ස්ථාපිත වී ඇති නායකත්ව ධූරාවලිය විසින් එම ප්‍රජාව තුළ යම් හික්මවීමක් ඇති කරනු ද දක්නා ලැබේ. බොහෝ විට මෙම ධූරාවලියේ නායකත්වයට පත් වනුයේ සුවිශේෂ කායික, බලයක්, පෞරුෂයක් සේම පිරිස් බලයක් ද තමන් වටා කේන්ද්‍ර කර ගත් පුද්ගලයෙකි. විවිධ නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වී නීතිමය දඬුවම් ලැබූවන් බොහෝ විට මෙම ධූරාවලියේ නායකත්වයට පත් වන අතර ඔව්හු තමන් වාසය කරන සීමාවේ ප්‍රජාව කෙරෙහි තමන්ම න්‍යෂ්ඨිය කර ගත් යුක්ති ධර්මයක් මත සිය බල ආධිපත්‍යය පතුරුවති. මීට දශක කිහිපයකට පෙර කොළඹ චණ්ඩියා ලෙස විරුදාවලී ලත් මොහොට්ටිගේ දොන් ධර්මදාස රාජපක්ෂ හෙවත් “චොප්පේ අයියා” එවකට මරියාකඩේ නමින් හැඳින්වුණු ප්‍රදේශයේ ප්‍රජාව අතුරින් මතු වූ සුවිශේෂ චරිතයකි.

මේ වන විට සමාජයේ ක්‍රියාත්මක වන පාතාල සාමාජිකයන් විසින් සිය‘තට ගෙන තිබෙන මෙම නාගරික ප්‍රජා බල ධූරාවලියේ නායකයා මීට දශක කිහිපයක් දක්වා හඳුන්වන ලද්දේ ‘අයියා” යනුවෙන් මෙය අයියර් යන ද්‍රවිඩ වදනින් භින්න වූවක් සේ සැලකෙයි. මෙම “අයියා” නම් වන භූමිකාව යටතේ ඔහුට නියෝජිතයන් සේ සේවය කරන ගෝල බාලයෝ ද සැලකිය යුතු පිරිසක් සිටිති. එහෙත්, අපගේ කතා බහට ලක් වන ගාලු මුවදොර අරගලය තුළ එවන් සංවිධිත ව්‍යුහයක් නැත. කිසියම් දේශපාලන පක්ෂයක,වෘත්තීය සමිතියක හෝ වෙනයම් සංවිධානයක මෙන් අඩුම තරමින් සාමාජිකත්වයක් හිමි කර ගත හැකි ක්‍රමයක් වත් මෙහි නැත. ඒ අනුව අරගලය යනු බහු විධ ක්‍රියාකාරී ජන සංයුතියකි. එහි මුඛය හා ආරම්භක අරමුණ වූ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් නෙරපීම පිණිස වන බහු ජන ක්‍රියාකාරීත්වයක් මෙම අරගලය තුළ දක්නට ලැබිණි. කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන බව ඇඟවීම පිණිස පසුව එයට නිර්පාක්ෂික යන හැඳින්වීම හිමි වූයේ ද එහි පැවැති එම බහු විධ ක්‍රියාකාරී ලක්ෂණය නිසාම ය.

ඒ අනුව එම අරගලය හැඳින්විය හැකි වඩාත් නිවැරදි නාමය ‘ජන සංයුතිය’ යන නම යැයි මට හැඟේ.පසුව ඒ සඳහා පුරෝගාමී වූවන් විසින් ඊට නිර්පාක්ෂික සහ සාමකාමී යන ආරෝපණයන් ද ලබා දෙන ලදී.පසුව මෙම අරගලය තුළින් මතු වූ එක්තරා අන්දමකින් පොදු හා සමාන අදහස් දැක්වූ පිරිසක් එහි නායකත්ව හෝ ක්‍රියාකාරී මණ්ඩලයක් ලෙස සමාජය හමුවේ පෙනී සිටියහ. එහෙත්, එය එම අරගලයේ අභ්‍යන්තර ව්‍යුහය තුළ ඒ සම්බන්ධ විකල්ප මත දරන්නෝ ද වූහ. ඔවුන් කියා සිටියේ අරගලය හැරුණු කොට මේ වන විට එක් විය හැකි අන් දේශපාලනික ක්‍රියාකාරකමක් තමන්ට නොපෙනෙන බවකි. එනිසාම ගත වූ දශක කිහිපයක් තුළ සන්නද්ධ අරගල කිහිපයක් මෙහෙය වූ ජනතා විමුක්ති පෙරමුණ සහ වාමාංශික සටන්කාමී ස්වරූපයක් ගත් පෙරටුගාමී සමාජවාදී සනද්ධ ද ඔවුන් හා සම්බන්ධ සංවිධාන ද මෙම අරගලය තුළට සම්ප්‍රේෂණය විය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් නෙරපීම හැරුණු කොට ඉනි`ක්බිතිව රට තුළ ක්‍රියාත්මක විය යුතු කෙටි කාලීන හෝ දිගු කාලීන සමාජ ආර්ථික දේශපාලන වෙනස්කම් පිළිබඳ නිශ්චිත පැහැදිලි එක් සාමූහික අදහසක් මෙම අරගල කරුවන් අතර පැවැති බවක් අපට දැන ගත නොහැකි විය. එහි එක් කොටසක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සහ නීති පද්ධතිය අතික්‍රමණය කරන ජනතා ක්‍රියාකාරීත්වයක් දක්වා මෙම අරගලය යෙමු කළ යුතු බවට මත පළ කළ ද ඊට එක් වූ තවත් පිරිසක් පවසා සිටියේ මෙම අරගලයේ අභිප්‍රායන් එතරම් අන්තගාමී නොවිය යුතු බවකි.

එමෙන්ම මෙම අරගලය සාමකාමී යන කේන්ද්‍රීය තේමාවෙන් ඔබ්බට නොයා යුතු බවට ඊට එක් වූ පිරිසක් අදහස් පළ කළ අතර ඊට එරෙහි වූ පිරිසක් ආරක්ෂක අංශ සමඟ ගැටුම් ඇති කර ගැනීමට හා ඔවුන්ට කායික හානි සිදු කොට ඔවුන් ගේ ගිනි අවි පැහැර ගැනීම තෙක් දුර දිග ගොස්
තිබු බවට තොරතුරු වාර්තා විය.

මේ සියලු තත්වයන් යටතේ මේ වන විට අරගලයේ සැබෑ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි තත්වයක් මතු වී තිබේ. පසුගිය දිනයෙක කොළඹ ගාලු මුවදෙර පිටියේ ස්ථාපිත කොට තිබූ එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායක ප්‍රතිමාවට හානි කිරීමට අරගල කරුවන් පිරිසක් උත්සාහ කරන බවට ලැබුණු තොරතුරක් මත එම ප්‍රතිමාවේ සිට මීටර් පහනක සීමාවක් තුළට පිවිසීම පවා තහනම් කරමින් නියෝගයක් පැනවීමට පවා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට සිදුවිය. මේ අතර පසුගිය කාලයේ තංගල්ලේ ස්ථාපිත කොට තිබූ ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව සහ එම යුවලගේ සොහොන් ස්මාරකයට යම් යම් පිරිස් හානි කොට තිබූ අතර නිට්ටඹුව ප්‍රදේශයේ දී ඇති වූ ගැටුමකින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ඝාතනයට ලක් ව දිවයින පුරා දේශපාලනඥයන් සියයකට ආසන්න පිරිසක ගේ නිවාස ගිනි තබා හානි කොට තිබිණ. එය විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් බහුවිධ අරමුණු ශාක්ෂාත් කර ගැනීම පිණිස කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියාවන් බැවින් ඒවා මෙම අරගලය හා මුඛ්‍ය සම්බන්ධතාවයක් ඇතැයි සිතීමට පූමාණවත් කරුණු නැත.

කිසියම් සමාජ ආර්ථික දේශපාලන විපර්යාසයක දී ඉන් පෙර පැවති සමාජ ආර්ථික දේශපාලනමය සංකේත හෙවත් ප්‍රතිමා ආදිය බිම හෙළීමේ මානව චර්යාවක් තිබේ.එහෙත් කිනම් හෝ ශිෂ්ටාචාර ලක්ෂණයක් වන ප්‍රතිමා ස්මාරක කඩා බිඳ දැමීම මුල් කොට ගත් අවිචාරවත් මනෝ භාවයන් එළි දැක්වීමේ සමාජ චර්යාවක් ද තිබේ. එය හැඳින්වෙනුයේ නාශකවාදය ( Vandalism ) යනුවෙනි. එම ව්‍යවහාරය සමාජ ගත වන ලද්දේ මානව ජනාවාස වල ඇති ශිෂ්ටාචාර ලක්ෂණ නිරූපණය කෙරෙන යම් යම් මූර්ති නිර්මාණ බිඳ හෙලූ වැන්ඩල් නම් ගෝත්‍රික පිරිසක් මුල් කර ගනිමිනි. එහෙත්, එම නාශකවාදය වත්මන් ගාලු මුවදොර අරගලය හා බද්ධ කෙරෙන සමාජ මානව විද්‍යාත්මක හේතු සාධක පිළිබඳ නිශ්චයකට ඒම අසීරු වී තිබේ.

මේ අතර මෙම අරගල භූමියේ මතු වූ එකි’නෙකට විවිධ විවිධ පුවත් වලින් මෙය යම් අරමුණක් මත ස්ථාපිත වුවද ඒකීයත්වයක් නොමැති චර්යා දාමයක් බව සනාථ කෙරෙන කරුණු තිබේ. සැමියා සමඟ මෙම අරගල භූමියට පැමිණි තරුණ බිරිඳක් එහි දී හමු වූ තවත් අරගල කරුවකු සමඟ අරගලය පසෙක ලා රහසින් පලා ගිය පුවතක් පොලිස් පොතට ද එක් වී ඇතැයි කියනු ලැබේ. ඊට අමතරව අරගල කරුවන් සතුව තිබූ බව පැවසෙන මත්ද්‍රව්‍ය ද එම පුද්ගලයන් සමඟ පොලිස් භාරයට පත්ව තිබේ.

මෙහි වඩාත්ම ශෝචනීය සිදුවීම නම් මෙම අරගල කරුවන් අරගලයේ නාමයෙන්ම අත්පත් කරගත් කොළඹ ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය යන රාජ්‍ය පාලනයේ කේන්ද්‍රස්ථාන තුළට පිවිසි පිරිස් විසින් ඒවායේ වටිනා දේපල වලට හානි සිදු කොට ඒවායින් සැළකිය යුතු ප්‍රමාණයක් සොරා ගෙන යාම ය.

මෙවන් කරුණු මුල් කොට මෙම අරගලය නම් වන බහු විධ ප්‍රජා ඒකරාශීත්වය මගින් අත්පත් කරගත් සුවිශේෂ ජයග්‍රහණයනට පැහැදිලි සමාජ, ආර්ථික හෝ දේශපාලනමය අගයක්,වටිනාකමක් තක්සේරුවක් දීමට නොහැකි වී තිබේ. ගාලු මුවදොර පිහිටියේ අරගල භූමියේ සිටින පිරිසක් ඔවුන් ඉදිරියේ සිට ආක්ෂක හමුදා සාමාජිකයන්ට යුද අපරාධ චෝදනා නගමින් වේළුපිල්ලේ ප්‍රභාකරන් ඔවුනට වඩා ගරු කටයුතු පුද්ගලයකු බව පවසා සිටීම එහි එක් දිගුවක් පමණි.

මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

එතෙර - මෙතෙර