පැරණි වැට මායිම් කෝන්තරයකට සුනඛයෙකුට හක්ක පටස් දුන් අයෙක් රිමාන්ඩ්

මතුගම,පොල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක ආහාර ගනිමින් සිටි අවුරුදු එක හමාරක් වයසැති සුනඛයකුට හක්ක පටස් දී මරණයට පත් කළ පුද්ගලයකු මතුගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අගෝස්තු 08 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

එම නිවැසියන් පවසනුයේ එම ම්ලේච්ඡ් ක්‍රියාව කළ පුද්ගලයා වැට මායිමක් සම්බන්ධයෙන් තම කලින් පරම්පරාව සමඟ ඇති කර ගත් බහින් බස් වීමක් මුල් කොට අදටත් තම පවුලේ සාමාජිකයන් සමඟ සේම මෙම සුනඛයා කෙරෙහි ද බද්ධ වෛරයක් උපදවා ගෙන සිටින බවකි.

මීට පෙර ද කිසිවකු විසින් මෙම සුනඛයාට වස දී මරණයට පත් කිරීමට තැත් කළ ද මහත් පරිශ්‍රමයක් දරා එවර එම සතාගේ ජීවිතය බේරා ගත් බව ද එම නිවැසියෝ කියති. ඊයේ (30) රාත්‍රීයේ මෙම සුනඛයාට කෑම දී ටික වේලාවකින් කිසියම් පිපිරුම් හඬක් ඇසුණු වගත් ඒ සමඟම නිවසේ ඉදිරි පස හිසට බලවත් හානි සිදු වූ මෙම සුනඛයාගේ සිරුර දක්නට ලැබුණු බවත් එම නිවැසියෝ වැඩිදුරටත් කියති.

එමෙන්ම ඒ සුනඛ පැටවාගේ සිරුර අවට රුධිර පැල්ලම් විසිරී තිබූ අන්දමට එම හක්ක පටස් පිපිරීමෙන් පසුව පවා සුන් වූ හිසින් යුතු ඒ සුනඛයා නිවස දෙසට දුව ගෙන ඒමට උත්සාහ දරා ඇති බවක් පෙනෙන්නට ඇතැයි අසල් වැසියෝ ද කියති.එම සැකකරු මතුගම පොලීසියේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ ඉන් පසුවය.

සතුන්ටත් හිමි අපේ ලෝකය