බලු දඩයමේ ආ දිවියෙක් කාමරයක් ඇතුළට “කඩා පාත් වෙලා”

සුනඛයකු දඩයම් කර ගැනීමට තලවකැලේ, ලිඳුල, ලෝගී වත්තේ කූමුඩ් කොටසේ වතු කම්කරු නිවසක වහළට මතට පැනීමත් සමඟ ඉලක්කය වැරදී ගොස් එම නිවසේ කාමරයක් තුළට වැටුණු දිවියෙකු(Panthera pardus kotiya ) නිර්වින්දනය කර වනයට මුදා හැරීමට වන ජීවී නිලධාරීහු කටයුතු කොට ඇත.අද(05)ට පමණ අලුයම 5ට වැටුණු කඳුකර කොටියා එම කාමරය තුළ සිරවී සිටියදී ඒ පිළිබඳව සොයා බැලීමට ගිය වතු කම්කරුවන් හත් දෙනකුගෙන් යුතු පිරිසෙන් එක් අයකුට කඳුකර කොටියා පහර දී ඇති අතර ඉන්පසු එම පුද්ගලයා ලිඳුල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට රැගෙන යාමට පියවර තිබේ.ඔහුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
පසුව රන්දෙණිගල වන ජීවී දෙපාර්තමේන්තු පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා ඇතුළු වනජීවී නිලධාරීන්, නුවරඑළිය, හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් සහ ලිඳුල පොලීසියේ නිලධාරීන් එක්ව එම නිවසින් දිවියාට පිටතට පැන ගැනීමට නොහැකි සේ නිවසේ දොර ජනෙල් ලී දඬු මුක්කු යොදා ආරක්ෂිත වටපිටාවක් සකසා කාමරය තුළ සිරවී සිටි කොටියාට නිර්වින්දන එන්නත් ලබා දීමට පියවර ගෙන තිබේ.
මෙලෙස පැය හතකට පමණ අධික කාලයක් දැඩි පරිශ්‍රමයක් යොදා කළ මෙහෙයුමකින් පසුව මෙම දිවියා ආරක්ෂිත ලෙස නිවසේ කාමරය තුළින් මුදා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිව තිබේ. පසුව දිවියාට ප්‍රතිකාර ලබා දිය යුතු තත්වයක් නොමැති බවට වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා නිගමනය කිරීමෙන් පසුව එම දිවියා මෙලෙස ආරක්ෂිතව මුදා හැර තිබේ.හෝර්ටන් තැන්න ආශ්‍රිත මධ්‍ය කඳුකරයේ උස්බිම් වල ජීවත් වන දිවියන් ආහාර සොයා රාත්‍රී කාල වල දී වතු ජනාවාස වෙත පල්ලම් බැසීම නිරතුරුව සිදුවන අතර කුකුළු කොටු ආශ්‍රිත දුර්ගන්ධය කෙරෙහි ඔවුන් වැඩි වශයෙන් ආකර්ශණය වන බව නිරීක්ෂණය වී තිබේ.එහි දී ඔවුන් උගුල් වලට හසු වී මිය යන අවස්ථා ද කොතෙකුත් නිරීක්ෂණය වී ඇතත් ඊට අමතරව එවැනි ඛේදනීය සිදු වීම් රැසක් අප්‍රකට ව සිදුවන බව ද ඒ සම්බන්ධ වැඩි දුර විමර්ශන වල දී අනාවරණය වී තිබේ.

කාලීන පුවත්