වීදි සුනඛයන් ගේ “ජීවන මට්ටම” ඉහළ නැංවූ හැඟීම්බර කතාවක් රැගත් සිනමා කෘතියක් ‘777 චාලි’

777-charlie-release-date

සුරතල් ලැබ්‍රඩෝර් සුනඛයකු සහ ජීවිතයේ තනි වූ මිනිසකු අතර ගොඩ නැගෙන සංවේදී සබඳතාවක් පසුබිම් කර ගත් ‘777 චාලි’ චිත්‍රපටය මේ දිනවල සිනමා ලෝලීන් අතර මහත් ජනප්‍රියත්වයක් හිමිකර ගත් චිත්‍රපටයක්. ඉන්දියානු සිනමාපටයක් වන එය කන්නඩ බසින් නිපදවන ලද්දක්. සිනමා පටයට පසුබිම් වන්නේ වෙනත් කිසිදු ඥාති හිතවතකු නැති ධර්ම නමැති කම්කරුවකු සහ චාලි නැමැති සුනඛයකු අතර ඇති වන සම්බන්ධය යි.අද වන විට මේ චිත්‍රපටය ලෝකයේ සැලකිය යුතු පිරිසකගේ සිත් සතන් තුළ සත්ව කරුණාව රෝපණය සහ ප්‍රවර්ධනය කිරීමට සමත් ව තිබෙනවා.ඒ සම්බන්ධයෙන් සත්ව අහිංසාවාදීන් තුළ පවතින පොදු මතයක් වන්නේ මෙම සිනමා කෘතිය වීදි සුනඛයන් ගේ “ජීවන මට්ටම”යම් තරමකින් ඉහළ නැංවීමට පවා සමත් වූ භාවාත්මක කලා කෘතියක් බවයි.

‘777 චාලි’කතා පුවතට අනුව චාලි මුලින් ජීවත් වන්නේ සුනඛයන් බෝ කිරීමේ ව්‍යාපාරයක් හිමි පුද්ගලයකු ළඟයි. නමුත් ඔහු තමා වෙත සිටින සුනඛයන්ට ඉතා කෲර වධ හිංසා පමුණුවන අයකු නිසා චාලි ඔහුගෙන් මිදී පලා යනවා. මෙසේ යන අතර ඔහු රාත්‍රි සංගීත සංදර්ශණයක් පැවැත්වෙන තැනකට පැමිණෙනවා. සංදර්ශණයේ ඝෝෂාව නිසා චාලි මහත් බියට පත් වෙනවා. කෙසේ හෝ වේවා, ධර්මගේ නවාතැන පිහිටා තිබෙන්නේත් ඒ ආසන්නයේම යි. ධර්ම ද කාත් කව්රුත් නැති, හුදෙකලා ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්. ඔහුගේ මවත්, පියාත්, එකම සොහොයුරියත් ඔහු කුඩා කාලයේ ම රිය අනතුරකින් මිය ගිහින්.

සංගීතයේ ඝෝෂාව නිසා සිය නින්දට අවහිර වීම හේතුවෙන් කෝපයට පත්වන ධර්ම සංදර්ශණය පැවැත්වෙන තැනට පැමිණ එහි ගායකයන්ට සහ වාදකයන්ට ගුටි පූජාවක් දී එම ඝෝෂාව නතර කරනවා. ධර්ම තම ජීවිතයේ දුෂ්කර බව නිසාම තද ගතිගුණ හිමිකරගත් පුද්ගලයකු බවයි පෙනෙන්නේ.

ධර්ම සංගීතයේ ඝෝෂාව නතර කළ නිසා චාලි සිතන්නේ ඔහු තමාගේ ගැලවුම්කාරයා ලෙසයි. ඉන්පසුව චාලි ධර්ම පසුපසින් යාමට පටන් ගන්නවා. ඔහු ධර්මට කරදරයක් වෙනවා. නමුත් චාලි අනපේක්‍ෂිත ලෙස රිය අනතුරකට මුහුණ දීමත් සමග ධර්මගේ සිත වෙනස් වෙනවා. ඔවුන් දෙදෙනා අතර සමීප සම්බන්ධයකට මග විවර වන්නේ එයින් පසුව යි. ධර්ම චාලි චැප්ලින් ගේ චිත්‍රපටවලට ඇලුම් කරන්නකු වන අතර ඔහු තමාට හමු වූ සුනඛ සුරතලාට චාලි යයි නම් තබන්නේ ඒ නිසයි.

මේ ආකාරයෙන් ඉදිරියට යන ධර්ම සහ චාලි අතර සම්බන්ධය චාලිට පිලිකාවක් වැළඳී ඇති බව අනාවරණය වීමත් සමග ප්‍රේක්ෂකයන් හඬවන්නට සමත්වන වඩාත් සංවේදී තලයකට ළඟා වෙනවා. චිත්‍රපටය ප්‍රේක්‍ෂකයන් වසඟයට ගන්නට සමත් වන්නේ මෙම හැඟීම්බර බව නිසායි. හැඟීම්බර කතාවක් කියන අතර සත්ව හිංසාවට එරෙහි ප්‍රබල පණිවුඩයක් ලබා දීමටත් ‘777 චාලි’ සමත් වෙනවා.

මෙහි කාගේත් වැඩිම ආකර්ශණය දිනාගන්නේ චාලි ලෙස රඟපාන ලැබ්‍රඩෝර් සුනඛයායි. සුනඛයන් පුහුණු කරවන්නකු වන ප්‍රමෝද් මෙම සිනමාපටය වෙනුවෙන් ලැබ්‍රඩෝර් සුනඛයන් තුන් දෙනෙකු සති තුනක කාලයක් තිස්සේ පුහුණු කළ බව පැවසෙනවා. මෙම කාලය තුළ මෙහි ධර්මගේ චරිතය නිරූපනය කරන රක්‍ෂිත් ෂෙට්ටි සහ චාලි අතර සැබැවින්ම ඉතා සමීප සම්බන්ධයක් ගොඩ නැගී තිබුණාලු. චිත්‍රපටයේ ද ඔවුන් අතර සම්බන්ධය වඩාත් සංවේදී බවක් ගන්නේ මේ නිසා විය හැකියි.

‘777 චාලි’ අධ්‍යක්‍ෂණය කළේ කිරන්රාජ් කේ. එය ඔහුගේ පළමු වෘත්තාන්ත චිත්‍රපටය යි. එහි තිරනාටකය රචනා කළේත් ඔහුම යි. චිත්‍රපටයේ එන ඇතැම් අවස්ථා ඔහුගේම පෞද්ගලික අත්දැකීම් මත පදනම්ව ලියූ ඒවා බවත් පැවසෙනවා. මෙම සිනමා කෘතිය තිරගත වීමෙන් පසු බොහෝ සත්ව සංවිධාන පවා වීදි සුනඛයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ බව පැවසෙනවා.

‘777 චාලි’ සාමාන්‍ය ප්‍රේක්‍ෂකයන්ගේ මෙන්ම සිනමා විචාරකයන්ගේ ද නොමඳ පැසසුමට ලක් වූ සිනමාපටයක්. රක්‍ෂිත් ෂෙට්ටිගේ සහ චාලි ගේ රඟපෑම් ගැනත්, කතා පුවතේ අපූර්වත්වය ගැනත් ඔවුන් මහත් ඉහළින් වර්ණනා කර තිබුණා.

ආදායම් අතින් ද මෙය බෙහෙවින් සාර්ථක වූ සිනමාපටයක්. ඉන්දියානු රුපියල් කෝටි 100 කට වැඩි ආදායමක් උපයන්නට මෙම සිනමාපටය සමත් වූ බව සඳහන්. ඒ වනවිට කන්නඩ සිනමාවේ වැඩිම ආදායම් උපයා තිබූ සිනමාපට අතර පස්වැනි තැන දිනාගන්නටත් ඊට හැකි වී තිබුණා.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර