උදාර ජන අරගලය අන්තිමේ “අල” වුණේ කොහොමද?

ala

ලක් ඉතිහාසයේ රන් අකුරින් සටහන් කළ මහජන අරගලයේ නිමාව සටහන් කළේ කවරෙක්ද? යන්න පිළිබඳව අනාගතයේ කුමක් ලියවේදැයි සිතීම බොහෝ අසීරු කරුණකි.

එසේ වුව ද අරගලය ආරම්භයට හේතු වූ ගෝඨාභය විසින්ම අරගලයේ නිමාව සටහන් කළ බව නම් සටහන් කිරීමට කිසිදු බාධාවක් නැත. ඒ 2022 ජූලි 9 දින බලයෙන් ඉවත් වී පලා ගොස් තනතුරින් ඉල්ලා අස්වීමෙන් ගෝඨා ගෝ හෝම් අරගල නිමාවට පත් කිරීමෙනි.
මීට පෙරද මා ලියා ඇති පරිදි මේ ජන අරගලය ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ පීඩාකාරී ආර්ථික හා සමාජිය අර්බුදයකට එරෙහිව ස්වේච්ඡාවෙන් පැන නැගුණු සමාජීය ප්‍රකාශනයකි. එහි මූලික පදනම වූයේ මධ්‍යම පංතික උගත් තරුණ තරුණියන්ගේ ක්‍රියාකාරීත්වයයි. මේ මධ්‍යම පංතික උගත් තරුණ ප්‍රජාව දේශපාලනය තුළ ක්‍රියාකාරීවීම ගතවූ වසර දහය පහලොව තුළ දක්නට නොලැබුණි.බොහෝ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වයේ තරුණ වයස ඉක්මවූවන් වැඩි වශයෙන් දැකගත හැකිවුණේ ඒ හේතුව නිසා ය.

ගතවූ දශක එකහමාරක පමණ කාලයක සිට තරුණ කොටස් වැඩි වශයෙන් ආකර්ශනය වූයේ සේවා සැපයීමේ ආර්ථිකමය ක්‍රියාකාරකම් වලට ය. එමෙන්ම තරුණ කාන්තා කොටස් බොහෝ කොට උසස් අධ්‍යාපනයට හා රාජ්‍ය සේවාවට ආකර්ෂණය වෙද්දී තරුණයින් ත්‍රිරෝද රථ සේවාව පරිගණක ආශ්‍රිත රැකියා හා විදේශ ගත රැකියා වලට ආකර්ෂණය වනු දක්නට ලැබුණි. මේ නිසා දේශපාලන ව්‍යාපාර වලට තරුණ සහභාගීත්වය බොහෝ සේ හීන වීම ගතවූ කාල පරිච්චේදයේ දක්නට ලැබුණු විශේෂත්වයක් විය. සමාජ ක්‍රියාකාරකම් වලදී තරුණ තරුණියන් ආකර්ශණය වූයේ දේශපාලනයට නොවේ. පරිසර ක්‍රියාකාරකම් ආගමික ක්‍රියාකාරකම්, ආදී ක්‍ෂේත්‍රවල ඔවුන් ක්‍රියාකාරී වීම වැඩිවිය. මෙයින් බලවත් ගැටලුවට මුහුණ දුන්නේ වාමාංශික දේශපාලන ව්‍යාපාරයි.

සාමාන්‍යයෙන් වාමාංශික දේශපාලන ව්‍යාපාර වලට තරුණ ආකර්ශණය ඇති වන්නේ විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය ව්‍යාපාරය හරහා ය. ප්‍රධාන වාමාංශික බලවේගය වන ජනතා විමුක්ති පෙරමුණට මේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ සම්බන්ධතාවය අහිමි වුණේ එම පක්ෂය තුළ ඇති වුණු දෙකඩ වීමේ සිද්ධියත් සමඟ ය. ශිෂ්‍ය ව්‍යාපාරය මේ බෙදීමේදී මුළුමනින්ම පාහේ පෙරටුගාමී පක්ෂයට අයිති විය. ඉන් සිදුවූයේ ජනතා විමුක්ති පෙරමුණත් වැඩිහිටියන් ගේක්‍රියාකාරීත්වය මත පවතින පක්ෂයක් වීම ය. පෙරටුගාමී පක්ෂය සතුව ද විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ බලය හැරෙන්නට වෙනත් කොටස් කෙරෙහි ආකර්ශනීය බලපෑමක් ද දැකගත නොහැකි විය. එමෙන්ම ඔවුන්ටත් විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දීමට සිදුව ඇත්තේ සරසවිවල වසර අට නමය ගතකළ පැරණි සිසු නායකයින් යොදා ගැනීමෙන් බව පෙනෙන්නට ඇති නිසා නව සිසු නායකත්වයන් ඒ තුළ බිහි නොවීම පිළිබඳව තත්වයක් ද නිරීක්ෂණය වේ.

පසුගිය දශක එක හමාරක පමණ කාලයක් තුළ මධ්‍යම පංතිය දේශපාලන අංශයෙන් දරුණු අපේක්ෂා භංගත්වයකට ඇද වැටුණි. රටේ දේශපාලන ක්‍ෂේත්‍රයේ හොරකම් හා දූෂණ වලට මුල්තැන දෙමින් සිදුවූ ක්‍රියාදාමය පිළිකෙව් කළ ඔවුහු 2015දී ”යහපාලනය‘ කෙරෙහි විශ්වාසය තැබූහ. යහපාලනය කෙරෙහි තැබූ විශ්වාසය බිඳ වැටී මධ්‍යම පංතියේ යහපාලන සිහිනයෙන් ඔවුන් අවදි කළේ මහ බැංකු බැඳුම්කර සිද්ධියෙනි.බැඳුම්කර සිද්ධිය තුළ සිදුවූ වංචාව හා දූෂණය කුමක්දැයි සරලව පැහැදිලි කිරීමක් අදටත් නැති වුවත් “මහ බැංකුව බින්දා” යන යෙදුමෙන් යහපාලන සිහිනය සුණු විසුණු වූ බව නම් ඇත්ත ය. ඊට පසුව යහපාලනයේ අභ්‍යන්තර අර්බුද කා කොටා ගැනීම් වලින් අපේක්ෂා භංගත්වය වැඩි වී පාස්කු ප්‍රහාරයෙන් පසු යහපාලනය පිළිබඳ බලාපොරොත්තු සෝදා ගියේය.

මේ අපේක්ෂා භංගත්වය තුළින් මධ්‍යම පංතියේ බලාපොරොත්තුව මතු වූයේ දේශපාලකයෙකු නොවන දේශප්‍රේමී දක්ෂ පුද්ගල චරිතයක් පිළිබඳව ය.ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය සිදුවූයේ දරුණු දේශපාලනික අපේක්ෂා භංගත්වයෙන් පෙලෙමින් සිටි ශ්‍රී ලාංකීය මධ්‍යම පංතිය තුළ නව බලාපොරොත්තු දල්වමිනි. මධ්‍යම පංතියේ බලාපොරොත්තු හා මනාව ගැළපෙන චරිතය ලෙස පෙනී සිටීමට ගෝඨාභය සමත් විය. මෙහිදී මධ්‍යම පංතික තරුණ ප්‍රජාව ඔහු පිළිබඳව බොහෝ බලාපොරොත්තු තැබූහ. දේශපාලනයට සම්බන්ධතාවක් නොවූ ඔවුහු තමන් අපේක්ෂා කරන සමාජ වෙනස සිදු කළ හැක්කේ ගෝඨාභයට බව අවංකව විශ්වාස කළෝය. ඒ මත ගෝඨා රැල්ල මතුවී හැටනම ලක්ෂයේ ජනවරම ලැබී ගෝඨා ජනාධිපති විය. කොටින්ම කිවහොත් ප්‍රාදේශීය සභාවක සභිකයෙකු වත් නොවූ කෙනෙක් තමන් තරඟ කළ මුල්ම මැතිවරණයෙන් රාජ්‍ය නායකයා ලෙස පත්විය. මෙසේ ආරම්භ වූ ගෝඨාභය යුගය තුළ මහජනයා අපේක්‍ෂා භංගත්වයට පත්වීමට වැඩිකලක් ගත වූයේ නැත. ඔහුගේ පාලනයේ අකාර්යක්ෂමතාවය, තීරණ ගැනීමේ දුර්වලකම, අනවශ්‍ය ලෙස රාජ්‍ය පාලනය,හමුදා කරණය කිරීම, කොවිඩ් අර්බුදය, ඊනියා කාබනික වගා ව්‍යාපෘතිය. සමගම කෙමෙන් මතුවූ ආර්ථික අර්බුදය රටේ සෑම අංශයකම ජනතාවගේ පීඩනය උග්‍ර කළේය.

මෙසේ මතුවූ පීඩනයට ප්‍රතිචාර දැක්වූ ගෝඨා ගැන වූ මහමෙරක් බලාපොරොත්තු සිඳීගිය මධ්‍යම පංතික තරුණ ප්‍රජාවගෙන් ”ගෝඨා ගෝ හෝම්” සටන් පාඨය නිර්මාණය වීමත් එයින්ම ”ගෝඨා ගෝ ගම” නිර්මාණය වීමත් දෛවයේ සරදමක් සේ ද පෙනීයයි.මෙසේ මධ්‍යම පංතික තරුණ කොටස් වල නිර්මාණයක් වූ අරගලය හැඩ වැඩ ගැන්වීමට විවිධ හේතූන් මත විවිධ කණ්ඩායම් ඊට එක්විය. ඕනෑම කණ්ඩායමකට එක්වීමට හැකි විවෘත භාවය ඊට මනා පිටුවහලක් විය. ඒ අතරම අරගලයට ඉහළ මධ්‍යම පංතියෙන් ලැබුණු අනුග්‍රහය එහි පැවැත්මට හා වර්ධනයට බෙහෙවින් හේතු විය. අරගලයට මැයි නව වෙනිදා එල්ල කළ ප්‍රහාරය අරගල කරුවන්ට මෙන්ම අණ්ඩුවේ බලය ගෝඨාගෙන් මහින්දට මාරු කරගැනීම ඉලක්ක කළ ප්‍රහාරයක් ද වූ බව පෙනෙන්නේ එතෙක් අරගලය ගැන ගෝඨා දැක්වූ මෘදු භාවය පිළිබඳ විරෝධය ද ආණ්ඩුවේ ප්‍රහාරකයින් ගෙන් එළියට පැන තිබිමෙන් පෙනේ.

මේ අනුව පැහැදිලි වන්නේ ”ගෝඨා ගෝ හෝම්” අරගලය දේශපාලන ඉලක්කයක් සඳහා සංවිධානය කළැ අරගලයකට වඩා ගෝඨාව බලයට එසවූ මධ්‍යම පංතික බලවේග වලට ආර්ථික පීඩනයත් සමඟ පැනනැගුණු කේන්තිය පිටකිරීමේ මෙහෙයුමක් වූ බව ය.තමන් විසින් බලයට එසවූ කෙනා තමන් අපේක්ෂා කළ දේ වෙනුවට තමන් පීඩාවට පත් කරන දේ සිදුකරන විට ඔහුව එලවා දැමීමට සටන් කිරීම අතිශය සාධාරණ මෙන්ම යුක්ති සහගත ක්‍රියාවකි. අරගලය පෝෂණය කළ බොහෝ බලවේග දේශපාලන බලවේග නොවූහ. ඔවුන්ට තම තමන්ට අනන්‍යවූ ගැටලු ගෝඨා පාලනය සමඟ තිබුණි. බහුතර කතෝලික ප්‍රජාවට වූයේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සිදුකිරීමට
උනන්දුවක් නොතිබීමේ ගෝඨා ප්‍රතිපත්තිය ගැනවූ විරෝධයයි. මුස්ලිම් ප්‍රජාවට දීර්ඝ කාලයක් තිස්සේ ආගමික අනන්‍යතාව මත අයුක්ති සහගත පීඩනයන් ලබාදුන් බලවේග වලට රැකවරණය සැලසීමත් තමන්ව සමාජයෙන් කොන් කිරීමත් තම ආගමික අනන්‍යතාවට ගරු නොකිරීමේ ප්‍රතිපත්තියට එරෙහිවත් විරෝධයක් තිබුණි. පරිසර සංවිධාන වලට ගෝඨාගේ පරිසර ප්‍රතිපත්තිය සමඟ වූ විරෝධයක් ද තිබුණි. සීනි වංචාව,මාර්ග කොන්ත්‍රාත් හරහා සිදුවන බරපතල දූෂණයන් ආදිය ගැන පොදු මහජන විරෝධයක් ද මතුවී තිබුණි. ආගමික පැත්තෙන් ගෝඨා වටා සිටි ජාතිකවාදී බෞද්ධ භික්ෂූන් හා ජාතිකවාදී බලවේග ද ගෝඨා රැකීම අතහැර තිබුණි. මේ ආදී සියලු විරෝධයන් ඒකරාශී කෙරුණු ගෝඨා ගෝ හෝම් අරගලයේ කූට ප්‍රාප්තිය සිදුවුණේ ගෝඨා ගේ පලා යාමෙනි.

ගෝඨා පලා යාම මෙන්ම ඉල්ලා අස්වීමෙන් පසු ගෝඨා ගෝ හෝම් අරගලයේ අරමුණු සාක්ෂාත් කෙරුනේ වාර්තාවක් ද තබමිනි. ඒ ජනතා විරෝධය මත පාලනයෙන් ඉවත් වීමට සිදුවුණු ශ්‍රී ලංකාවේ පළමු පාලකයා වීමේ වාර්තාවයි.ගෝඨාභය පාලනය නිම වීමෙන් අරගලයේ සිටි පදනම් බලවේග වල අරමුණු ඉටු වුවද ඒ හා බැඳී සිටි වාමාංශික හා ඇතැම් දේශපාලන බලවේගවල අරමුණු ඉටු වූයේ නැත. ඒ බලවේග වල ද ඒකමතික අරමුණක් නොතිබුණි. ඇතැම් බලවේග බලාපොරොත්තු වූයේ අරගලයේ තරුණ පිරිස් තමන් වෙත ආකර්ශණය කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ඔස්සේ මැතිවරණයක් ලබා ගැනීම දක්වා අරගලය මෙහෙයවා මැතිවරණයකින් බලය ලබා ගැනීම ය.

තවත් කණ්ඩායමක් මැතිවරණ දේශපාලනය හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ විසඳුමක් අපේක්ෂා නොකළ අතර ඔවුන්ට අවශ්‍ය වූයේ මහජන සභා ග්‍රාමීය මට්ටමෙන් ස්ථාපිත කර ආණ්ඩුකරන ක්‍රියාවලියට ඒ ඔස්සේ බලපෑම් කරමින් සම්බන්ධ වී අවසානයේ විප්ලවකාරී බල හුවමාරුවක් මගින් බලයට පත්වීමට අරගලය යොදා ගැනීමටයි. තවත් දේශපාලන කණ්ඩායමකට ගෝඨා යවා රනිල් බලයට ඒම පිළිබඳ තත්වය දරාගැනීමේ අපහසුවක් ද තිබුණි. මේ අරමුණු අතර කාටත් අනෙකා අභිබවා අරගලයේ සාර්ථකත්වයට අයිතිවාසිකම් කීමේ ඕනෑකම නම් තිබුණි. එම හේතුව නිසා එක් එක් කණ්ඩායම් අතර ද වෙනම අරගලයක් ද ක්‍රියාත්මක විය.

එහි ප්‍රතිඵල ලෙස පාර්ලිමේන්තුව අසල තවත් අරගල මධ්‍යස්ථානයක් බිහි කිරීමේ අසාර්ථක උත්සාහයක් ද දියත් කෙරිණි. මෙසේ වූ විවිධ හේතූන් නිසා අරගලය අඛණ්ඩව ගෙන යාමට ඔවුන්ට අවශ්‍ය විය. ඒ සඳහා රනිල් ගෝ හෝම් නම් සටන් පාඨයක් ඉදිරියට ගෙනැවිත් අරගලයට බද්ධ කිරීමට උත්සාහ කළහ.

අරගලය දේශපාලන ස්වරූපයෙන් ඉදිරියට ගෙන යාමට දේශපාලන කණ්ඩායම් සිය වෘත්තීය සමිති ශිෂ්‍ය සංවිධාන සහ දේශපාලනමය ශක්තිය යොදා ගනිමින් සමාජ මාධ්‍ය ද භාවිතා කරමින් ප්‍රචාරාත්මක වැඩසටහන් ද දියත් කළත් එය බෙහෙවින් අසාර්ථක උත්සාහයක් විය. අරගලයේ ගාමක බලවේගයන් විසිරී අවසානය ඉතිරි වී ඇත්තේ දේශපාලන අරමුණු සහිත කණ්ඩායම් දෙක තුනක් හා අරගලය ඔස්සේ සිය පැවැත්ම තහවුරු කර ගන්නා කීප දෙනෙක් පමණි. මේ අය පසුගිය ඕනෑම රජයක් යටතේ කළ ක්‍රියාමාර්ග මෙන්ම උද්ඝෝෂණ, පා ගමන්, පිකටිං, පෙත්සම් අත්සන් කිරීම කරමින් ඉදිරියටත් කටයුතු කරනු ඇත.

එහෙත් ඒවා මහජන විරෝධයන් වන්නේ නැති බව පැහැදිලිය. මේ බලවේග සිය පැවැත්ම තුළ කෙදිනකවත් මහජන අරගලයක් ගොඩ නංවා නැත. ඉදිරියේදී එසේ රනිල් ගෝ ගමක් හදාගත හැකි දැයි දැන්ම කිව නොහැක. නමුත් ගෝඨා ගෝ ගම අරගලය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටත් ඉදිරියට බලයට එන වෙනත් ඕනෑම පාලකයෙකුටත් අමතක නොවන පාඩමක් ඉගැන්වූ ශ්‍රේෂ්ඨ ජන අරගලයක් බව සටහන් කළ යුතු ය. එසේ අනාගත පාලකයින්ටත් පාඩමක් වීම අරගලය සාර්ථක වූ බවට ඇති හොඳම සාධකයයි. අරගලයේ නම භාවිතයෙන් පමණක් එබඳු සාර්ථකත්වයක් ලැබිය නොහැකි බව ඊට සම්බන්ධව සිටි දේශපාලන බලවේග ද අද තේරුම් ගත්තේ නම් බෙහෙවින් වටනේය.

සුනිල් කන්නන්ගර හිටපු කොළඹ,රත්නපුර සහ අම්පාර මහ දිසාපති

එතෙර - මෙතෙර