අසරණ බලු බළල් දරුවන් සියයකට මවක වූ ජෙස්මින් ගේ කතාව

මනුෂ්‍ය ජීවිතවල අගය මනුෂ්‍යයන්ම නොහඳුනන යුගයක සතුන් ගැන මිනිසුන්ගේ ආකල්ප පිළිබඳව කවර කතාවක් ද ? නමුත් සතුන් යනු ජීවීන් බවත්, ඔවුන්ටත් මේ මහ පොළොව මත ජීවත් වීම සඳහා මනුෂ්‍යයන්ට හා සමාන අයිතිවාසිකම් ඇති බවත් දන්නෝ ඉතාමත්ම දුලබ ය. ඒ දුලබ වූ පිරිස සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් දිවි පරදුවට තබා කැප වෙති.

මේ කතා කරන්නේ ද එවැනි කාන්තාවක් පිළිබඳව ය.

ඇය ජෙස්මින් ජන්කීර් ය. සිංහල නොවූවද, බර්ගර් සහ මැලේ මිශ්‍ර සම්භවයක් ඇති ඇය ශ්‍රී ලංකාවේ ඉපිද සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා, සිංහල තරුණයෙකු හා විවාහ වී, සිංහලයෙකු ලෙස ජීවත් වන ශ්‍රී ලාංකීය කාන්තාවකි.

* මුලින්ම කියන්න අසරණ බල්ලන් හා බළලුන් කීදෙනෙක් ඔයාගෙ සෙවනේ ජීවත් වෙනවද ?

බල්ලන් 60 – 70ක් පමණ, බළලුන් 30-35ක් පමණ . සේරම100 ඉක්මවා ඉන්නවා.

* ජෙස්මින් කොහෙද ඉන්නෙ?

මගේ ගම නම් කළුතර. ඒ වුණාට මේ සත්තු නිසා මට ගම අතහැරලා එන්න සිද්ධ වුණා. දැන් මං ඉන්නේ අම්බලන්තොට කුලියට ගත් ඉඩමක තියෙන පුංචි ගෙදරක. සත්තුන්වත් තියාගෙන මං එහෙ ඉන්නවා.

* කොහොමද මේ තරම් බල්ලන් බළලුන් ගොඩක් එකතු වුණේ?

මං දැන් මේ විදිහට සත්තුන්ට සලකන්න පටන් අරන් අවුරුදු දහයක් විතර වෙනවා. මුලින්ම හිටියේ එක බල්ලෙක් විතරයි. ඒ සතා පාරෙ ඇක්සිඩන්ට් වෙලා ඉන්නකොට පශු වෛද්‍යවරයකුට පෙන්වලා බෙහෙත් කරල සනීප කළා.ඒත් ඒ සතාව ආයෙමත් පාරට දමන්න හැකියාවක් තිබුණෙ නැති නිසා ගෙදරම තියාගත්තා. මේ විදිහට තමයි ආරම්භය සිදුවුණේ. ඊට පස්සේ මං මූලික වෙලා සත්ව සංවිධානවල සහයෝගයෙන් පාසල්වල , රජයේ කාර්යාල, රෝහල, පොලිසිය වගේ පොදු ස්ථානවල ඉන්න බලු ගැහැනු සතුන්ට වගේම පිරිමි සතුන්ටත් වඳ සැත්කම් කෙරෙව්වා. මේ විදිහට කළුතර නගරයේ ඉන්න බල්ලන් දාහකට පමණ වඳ සැත්කම් කරන්න අපට හැකියාව ලැබුණා.

* පිරිමි සත්තුන්ට වඳ සැත්කම් කරන්න විශේෂ හේතුවක් තිබුණද?

පිරිමි සතුන්ට වඳ සැත්කම් කළාම පිරිමි සතුන් අතර සිදු වෙන පොරකෑම වැනි කලහකාරී හැසිරීම් නතර වෙනවා. ඒ වගේම රැලේ යාම සිදු වන්නෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි එක ගැහැනු සතෙක්ව හරි වඳ සැත්කම කරන්න බැරිවෙලා මගහැරිලා තිබුණොත් පිරිමි සතුන් ටික අර ගැහැනු සතා පසුපස යාම වළක්වන්න බැහැ. එවිට ඒ ගැහැනු සතාට නැවත පැටව් බිහි වෙනවා. මේ හේතුව නිසා තමයි පිරිමි සතුන් සියලු දෙනාටම වඳ සැත්කම් කළේ. එවිට ඔවුන් කොතරම් ගැහැනු සතුන් සිටියත් ඔවුන් හා කායිකව එකතු වෙන්න උත්සාහ දරන්නේ නෑ. මේ විදියට කරගෙන යද්දි පාරේ තියන්න බැරි තරමට අසරණ වූ සතුන් සහ පුංචි පැටවුන් මම ගෙදර ගෙනත් හදන්න පටන් ගත්තා. අන්තිමේ කළුතර මගේ ගෙදර බල්ලන් 50 ක් පමණ සිටින තත්ත්වයට පත්වුණා.

* ජෙස්මින් විවාහකයි කිව්වනේ. ඔයාට දරුවෝ ඉන්නවද?

ඔව්. මට දුවලා දෙන්නෙකුයි, එක පුතෙකුයි ඉන්නවා. එක දුවක් විවාහකයි. අනික් දුවයි පුතයි රැකියා කරනවා. ලොකු දුව රැකියාවක් කරන ගමන් උසස් අධ්‍යාපනය හදාරනවා. මගේ සැමියා ඩුබායි රටේ මේ දිනවල රැකියාව කරන්නේ.

* කළුතර ගෙදර අතහැරදාලා ද අම්බලන්තොට ට ගියේ ?

නෑ, අපේ ගෙදර මගේ දරුවෝ ඉන්නවා. මගේ සැමියා නම් ලංකාවේ නැහැනේ. මම විතරයි මේ සත්තු අරගෙන අරගෙන කළුතරින් අම්බලන්තොට ගියේ. ඇත්තටම මට එහෙම යන්න සිද්ධ වුණේ අසල්වැසියන් නිසයි. කිසි කෙනෙක් කැමැති වුණේ නැහැ මම මේ බල්ලො 50ක් විතර ගෙදර ඇතිදැඩි කරනවට. ඒක අහළ පහළ අයට හරි කරදරයක් වෙලා තිබුණා. ඒ ගොල්ලන් මට විරුද්ධව පොලීසියට පැමිණිලි කළා. පොලිස් නිලධාරීන් දන්නවා මම අවංකවම ⁣මේ අසරණ සතුන් කෙරෙහි ඇති කරුණාව නිසා මේ දේ කරනවා කියලා. නමුත් බල්ලන් බුරන නිසා කරදරයි කියලා අවට මිනිස්සු පැමිණිලි කළාම පොලිසියට නිකන්ම ඇහැ කන පියාගෙන ඉන්න බැරි නිසා මට අවවාද කළා සත්තු ටිකත් අරගෙන වෙන පාළු ප්‍රදේශයකට යන්න කියලා.

ඊට පස්සේ තමයි මම මේ ඉතාම පිටිසර පැත්තකට පදිංචියට ආවේ. මම මෙතැන ඉන්නෙ රුපියල් දහදාහක කුලියක් ගෙවලා. තරමක් ලොකුවට ඉඩම තියෙනවා, නමුත් කෑලි දෙකක පුංචි ගෙයක් තියෙන්නෙ. ඒනිසා සත්තුන්ට වෙනම කූඩු හදන්න මට සිද්ධ වුණා. මේ පැත්තට අලි පවා එනවා.

* දැන් මිනිස්සුන්ගේ කරදර නැතිව ගිහින් ඒ වෙනුවට අලින් ගේ කරදර ද?

ඇත්තටම නෑ. ඒකේ අනික් පැත්ත මට වෙලා තියෙන්නේ.

* ඒ කිව්වෙ?

අපේ රටේ සමහර මනුෂ්‍යයෝ ගැන හිතනකොට ඊට වඩා තිරිසන් සතුන් මොන තරම් ඉහළ ගුණාංගවලින් පොහොසත් ද කියන එක මම ඉතා හොඳින් අත්දැකපු කෙනෙක්.

* මේ ඉන්න පැත්තෙත් අසල්වැසියන්ගෙන් ඔයාට කරදරයිද?

ඇත්තටම මෙහාට අලින් නම් එන්නේ නෑ. ඒත් බල්ලන් බුරන එක කරදරයක් නිසා මට විරුද්ධව කීප දෙනෙක් පෙත්සම් ගහලා මාව එලවාගන්න. මෙහාට හම්බන්තොට වරාය කිට්ටුයි. වරායේ වැඩ කරන විදේශිකයින්ට මං බලු මස් විකුණනවා කියලා තමයි පෙත්සම් ගහලා තියෙන්නේ. සී. අයි. ඩී. එකෙන් දවසක් මෙහාට ආවා. ඒ මහත්තුරු අවබෝධ කරගත්තා මේක මට විරුද්ධව, මාත් එක්ක තරහට කරපු දෙයක් මිස මම මේ කරන්නේ එවැනි ජඩ ව්‍යාපාරයක් නොවන බව. අසරණ වූ බල්ලන් බළලුන් ගේ ජීවිත අමාරුවෙන් රැක දෙමින්, අතේ තිබෙන මුදල් පවා වැය කරගෙන මා කරනු ලබන මේ අප්‍රමාණ වූ කැප කිරීම සී. අයි. ඩී. නිලධාරීන් පැහැදිලිව වටහා ගත්තා. නමුත් වෙන තැනක් හොයාගන්න කියන අවවාදය ඒගොල්ලන් කළා. ඉන්පසුව මම මේක “ආදායම් නොලබන සංවිධානයක්” යන වර්ගීකරණය යටතේ සමාගම් මැදුරේ ලියාපදිංචි කළා. ඒ වෙනුවෙන් රුපියල් අසූ දාහක් පමණ වැය කරන්න මට සිද්ධ වුණා.

* මේ සත්තු සිය දෙනා වෙනුවෙන් දවසට ඔයාට කොයි තරම් ප්‍රමාණයක් කෑම පිසින්න සිදු වෙනවද?

දවසට හාල් කිලෝ 15 ක් , පෙට් ෆුඩ්ස් කිලෝ 6 ක් අවශ්‍යයි. ඒකටම පරිප්පු වට්ටක්කා වගේ දේවල් කලවම් කරලා තමයි බත හදන්නෙ සත්තුන්ට පෝෂණය අවශ්‍ය නිසා. ඒ වගේම කුඩා පැටවුන්ට ලැක්ටෝජන් කිරිත් ලබා දෙනවා.

* මාසෙකට කොපමණ මුදලක් මේ වෙනුවෙන් වැය වෙනවද ඔයාට ?

දවසට රුපියල් අටදාහක් විතර.

* කොහොමද මුදල් හොයා ගන්නේ?

මගේ ස්ථාවර ගිණුමකින් පොළියක් එනවා. ඒ වගේම මගේ දරුවො උදව් කරන එකට අමතරව එයාලා දන්න කියන අයගෙනුත් උදව් උපකාර අරන් දෙනවා. ෆේස්බුක් හරහා මට උදව් කරන අයත් ඉන්නවා. ඔය විදියට තමයි මම මේ සත්තුන්ට කෑම සපයා ගන්නේ. ඒ වගේම එයාලගේ ලෙඩ රෝගවලටත් වියදම් කරන්නේ.

* ජෙස්මින් තනියමද මේ සත්තුන්ට කෑම හැදීම, සාත්තු සප්පායම් කිරීම, පිරිසිදු කිරීම වගේ හැම වැඩක්ම කරන්නේ ?
එහෙම නැත්නම් ඔය ඉන්න ප්‍රදේශයේ කවුරුහරි ඔයාට උදව් කරනවා ද?

ඉස්සර නම් එක්කෙනෙක් හිටියා. එයාට මම දවසකට රුපියල් 2000 ක වැටුපකුත් දුන්නා. නමුත් දැන් එහෙම කෙනෙක් තියාගන්න තරම් මට ශක්තියක් නෑ. හැමදේම තුන්හතර ගුණයකින් මිල වැඩි වෙලා නිසා තව කෙනෙකුට වැටුපක් දෙන්න තරම් මුදලක් මා ළඟ ඉතිරි වෙන්නේ නෑ. ඒ නිසා සියලුම දේවල් මම තනිවම කර ගන්නවා.

* හදිස්සියේ අසනීපයක්වත් හැදුනොත් ඔයාට, මොකද කරන්නේ?

ඇත්තම කියන්නම්, එහෙම කිසිම දෙයක් දැන් මේ අවුරුදු ගණනාවටම

* දැන් මේ ඉන්න ප්‍රදේශයේත් ඔයාට කෙනෙහිලිකම් කරනවා නේ. මොකක්ද ඊළඟට ඔයාගේ තීරණය ?

මට එක්තරා ආයතනයකින් කළුතර ප්‍රදේශයේම ටිකක් දුර බැහැරට වෙන්න ඉඩමක් පරිත්‍යාග කරන්නට සූදානමින් ඉන්නවා. පස්සේ ඒකෙ පොඩියට ගෙයක් හදාගන්න ඕනේ මගේ පවුලේ දරුවන්ට මගේ සැමියාට මාව බලන්න එන්න පහසු නිසා. එතකොට මටත් මගේ ගෙදරට නිතර යන්න එන්න අවස්ථාව සැලසෙනවා.

* සැබෑම සත්ව කරුණාව හඳුනන අය ඔයාගේ මේ අවංක ප්‍රයත්නය වෙනුවෙන් ඔයාට උදව් කරාවි. ඔයාගේ දුරකථන අංකය අපි මෙම ලිපියට ඇතුලත් කරනවා. එතකොට ඒ අය ඔයාට කතා කරයි.

හොඳයි බොහොම ස්තූතියි.

අසරණ අනාථ සුනඛයන් සහ බළලුන් වෙනුවෙන් සිය ජීවිතයම කැප කර සිටින ජෙස්මින් වෙනුවෙන් ඔබට හැකි අයුරින් උපකාර කරාවි යැයි අප අපේක්ෂා කරනවා .ඒ වගේම ඇගේ මෙම කටයුත්තට උදව් උපකාර කිරීමේ අවංක අරමුණ සහිත කාරුණිකයන් පමණක් ඇය අමතනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.
071 1460853

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය