යකා කියන තරම් කලු නැති බව පසක් කළ චීන නැවේ සිදුවීම

yaka

චීන තාක්ෂණික හා සන්නිවේදන නෞකාවට මෙරටට පැමිණිමට අවසර ලබාදීමත් සමඟ ඇතිවූ රාජ්‍ය තාන්ත්‍රික ගැටළුව මේ වන විට අවසන්ව ඇත. චීන නෞකාව ද අද (18) හෝ හෙට (19) මෙරටින් පිටව යාමට නියමිත ය. ඉකුත් 16 දා මෙරටට පැමිණි චීන නෞකාවට ලබන 22 දා දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට හාබර් මාස්ටර් විසින් අවසර ලබාදී තිබුණි. ඒ නෞකාවට අවශ්‍ය පහසුකම් සපයා ගැනීම වෙනුවෙනි.

නමුත් මෙම නෞකාව ඔත්තු බැලීමට පැමිණෙන නෞකාවක් බවට චෝදනා කළේ ඉන්දියානු රජය හා ඇමරිකා එක්සත් ජනපදය විසිනි. ඉන්දියානු සාගරය වෙත ඔවුන් පැමිණීම ගැන ඉන්දියාව අප්‍රසාදය පළ කිරීම නිසා දැඩි අපහසුතාවයකට පත්වූයේ ශ්‍රී ලංකා රජය යි. ඒ ඉන්දියාව මෙන්ම චීනය ද ශ්‍රී ලංකාවට වැදගත් රාජ්‍යයන් දෙකක් වීම නිසා ය.

ඉන්දියාව හා ඇමරිකාව සෘජුව චෝදනා කළේ චීන නෞකාව සතුව අධි තාක්ෂණික මෙවලම් පවතින නිසා ඔවුන් ඉන්දියානු සාගර කාලපයට එන්නේ දකුණු ආසියානු හා පැසිපික් කලාපයේ ඔත්තු බැලීම වෙනුවෙන් බවට ය. එහෙත්, මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළ චීනය සඳහන් කළේ ඔවුන් කිසිදු ජාත්‍යන්තර නීතියක් උල්ලංඝනය කරන වැඩසටහන් දියත් නොකරන බවට ය. එසේම ලංකාවේ ස්වෛරීත්වයට මෙන්ම කිසිදු රටක ස්වෛරීත්වයට බාධා එල්ල කරන්න කිසිදු රාජ්‍යයකට අයිතියක් නැති බවට ද චීනය කියා සිටියේය.

චීන නෞකාවට මෙරටට පැමිණීමට අවසර ඉල්ලා තිබුණේ ඉකුත් ජුලි මාසයේදී ය. ඊට අවශ්‍ය අවසරය විදේශ අමාත්‍යාංශය විසින් ලබාදී තිබුණේ ජුලි 12 දා ය. ඒ එවක විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් විසිනි. ඉන්පසුව ලංකාව තුළ පැවැති දේශපාලන අස්ථාවර කාලවකවානුව හේතුවෙන් මේ ගැන මත බේදයක් මතු නොවුණ ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයට පත්වී ස්වල්ප දිනකට පසු ජාත්‍යන්තර මාධ්‍ය මේ ගැන කතා බහ කරන්නට පටන් ගත්තේය.

චන්ද්‍රිකා තාක්ෂණික මෙහෙයුම් පහසුකම් සහිත නෞකාවක් මෙරටට පැමිණෙන බව මුලින්ම වාර්තා වූ අතර පසුව වාර්තා වූයේ මෙය ඉන්දු පැසිපික් කලාපයේ ඔත්තු බැලීමට පැමිණෙන නෞකාවක් බවටය. චීනය අභ්‍යවකාශ තාක්ෂණයට යොමු වූයේ 1990 දශකයේ ය. නමුත් ඒ වන විටත් ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවක් අභ්‍යවකාශ තාක්ෂණයට යොමුව සිටි අතර ඒ වෙනුවෙන් ඇමරිකානු නාසා ආයතනය ද පිහිටුවා තිබුණි. රුසියාව ඇතුළු රටවල් ගණනාවක් නාසා ආයතනය සමඟ එක්ව වැඩ කටයුතු කළ ද චීනය නාසා ආයතනයට සම්බන්ධ කර ගැනීම ඇමරිකාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

එම නිසා චීනයට මහද්වීපිකව ගොඩබිම සිට චන්ද්‍රිකා තාක්ෂණික කටයුතුවල නිරතවීම නොහැකි විය. ඇමරිකාව විසින් සියළු රටවල අධිතාක්ෂණික උපකරණ සවිකොට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අභ්‍යවකාශ ගවේෂණයේ නිතර වුවද චීනයට ඊට අවස්ථාව හිමිවූවේ නැත. එම නිසා ඔවුන්ට මහද්වීපික ග‍වේෂණ කටයුතු වෙනුවෙන් භාවිතා කිරීමට සිදුවූයේ සාගරයේ සිටය. ඒ වෙනුවෙන් ඔවුන් අධි තාක්ෂණික නෞකාව නිපදවූවේය.

එම නෞකාව ජාත්‍යන්තර මුහුදේ සිට මෙම ගවේෂණ කටයුතුවල නිතරවන අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට ඒ ආසන්නයේ ඇති රටවලට යාම සාමාන්‍ය සම්ප්‍රදාය බවට පත්ව තිබුණි. ජාත්‍යන්තර නාවුක ප්‍රඥප්තීන්ට අනුව නෞකාවකට අවශ්‍ය මූලික පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් ආසන්නයේ තිබෙන ජාත්‍යන්තර වරායකට යාමට අවස්ථාව තිබේ. නාවුක කටයුතුවල නිතරවන එම රාජ්‍යයන් ද අවශ්‍ය පහසුකම් සැපයීමට ජාත්‍යන්තර නීතිය අනුව බැදී සිටියි.

චීන නෞකාව ද මෙරටින් ඉල්ලා සිටියේ එම බැඳීමය. නමුත් එම අවස්ථාව සැලසීමට බාධා කරනු ලැබූවේ ඉන්දියාව හා ඇමරිකාව විසිනි. ඇමරිකානු තානාපතිනිය විසින් චීන නෞකාවට මෙරටට පැමිණීමට ඉඩ දීම ගැන විරෝධය පළ කර තිබූ අතර ඊට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විමසා සිටියේ චීන නෞකාවට මෙරටට පැමිණීමට විරෝධය පළ කරන්නට හේතු දක්වන ලෙස ය. සාධාරණ හේතු තිබේ නම් ඊට අවශ්‍ය සොයා බැලීම් කිරීමට සුදානම් බව ද ජනාධිපතිවරයා ඇමරිකානු තානාපතිනියට දන්වා තිබුනි.

ඒ අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දියානු විදේශ අමාත්‍යාංශය සමඟ ද මේ ගැන සාකච්ඡා කර තිබුණි. එහිදි ඔහු දන්වා සිටියේ ඉන්දියානු සාගරයේ කිසියම් හෝ පාර්ශවයක් පර්යේෂණ කටයුතු කරනවා ද නැතිද යන්න සොයා බැලීමට මෙරට සතුව තාක්ෂණික උපකරණ නැති බව ය. ඒ සම්බන්ධයෙන් 2018 දී ද තමන් ඉන්දියාවෙන් ඉල්ලීමක් කළ බව ද ඔහු විදේශ අමාත්‍යවරයාට දන්වා තිබුණි.

චීන නෞකාව මෙරටට පැමිණෙන කාලයේ ඔවුන් කරනා කටයුතු ගැන සොයා බැලීමට අවශ්‍ය පහසුකම් ඒ අනුව ලබාදීමට ඉන්දියාව එකඟ වූ අතර වහාම තොරතුරු සෙවීමේ ඩෝනියර් යානයක් ලංකාවට ලබාදීමට පියවර ගත්තේය. ඒ අනුව චීන නෞකාවට මෙරටට පැමිණීමේ බාධාව ඉවත් වූ අතර ජනාධිපතිවරයා එක ගලින් කුරුල්ලන් දෙදෙනාම අල්ලා ගැනීමට කටයුතු කළේය.

අවසානයේ චීන නෞකාව තමන්ට රැඳී සිටීමට අවසර ලබාදුන් කාලයටත් කලින් මෙරටින් පිටව යාම අනුව පෙනෙන්නේ ඔවුන් මෙරටට පැමිණීයේ පහසුකම් සපයා ගැනීම මිසක් වෙනත් කාරණයකට නොවන බව ය. චීනය 17 දා ද නිවේදනය කළේ ඔවුන් කිසිදු නිත්‍යානුකූල නොවන පර්යේෂණයක් නොකරන බව ය. එසේම නීත්‍යානුකූල පරියේෂණයකට බාධා කිරීමට කිසිදු පාර්ශවයකට අයිතියක් නොමැති බවට ද ඔවුහු කියා සිටියහ.

හම්බන්තොට වරාය ආරංචි මාර්ග සඳහන් කරනුයේ ඔවුන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ජලය හා ඉන්ධන ටොන් ගණනින් ලබාගත් බවය. කෙසේ නමුත් අවසානයේ බලවතුන් දෙපාර්ශවයක් අතර සිරවීමට ගිය ශ්‍රී ලංකාව ඉන් මිදීම සතුටට කරුණකි.මෙම සිදුවීම තුළින් අපට වැටහී යන කරුණක් තිබේ.එනම් යකා කියන තරම් කලු නැති බව ය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර