ෆින්ලන්තයේ අගමැතිනි සන්නා මරින් බොහෝ අවස්ථාවල ලෝක අවධානයට ලක් වූ චරිතයක්. 2019 වසරේ ඇය එරට අගමැති ධුරයට පත් වූ අවස්ථාවේ ඇය ඉතිහාසගත වූයේ ලොව ලාබාලම අගමැති හැටියටයි. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 34 ක් පමණයි.
කෙසේ හෝ වේවා, මේ දිනවල නැවතත් ඇය වෙත විශාල අවධානයක් යොමු වෙමින් තිබෙනවා. මෙවර නම් ඇය අවධානයට ලක්ව ඇත්තේ එතරම් යහපත් කාරණයක් නිසා නොවෙයි. එය මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්ණයක්. සන්නා මරීන් සහභාගි වූ ප්‍රිය සාදයක් අතරතුර ඇය මත්ද්‍රව්‍ය භාවිත කළාද යන්න සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව සැක මතු කර තිබෙනවා. ඒ නිසයි මේ දිනවල ඇය පුවත් මවන්නියක බවට පත්ව තිබෙන්නේ.
ෆින්ලන්ත අගමැතිනිය මෙම සාදයට සහභාගි වී තිබුණේ පසුගිය 13 වැනි සෙනසුරාදා යි. එය ඉතා උද්වේගකර සාදයක් වූ බවයි ඒ සම්බන්ධයෙන් නිකුත් ව තිබූ විඩියෝ දර්ශණවලින් පෙනෙන්නේ. තරුණ අගමැතිනිය එහිදී තම මිතුරු මිතුරියන් සමග නැටුම් නටමින් විනෝද වන ආකාරය මෙම විඩියෝ දර්ශණවල දැකිය හැකියි. ෆින්ලන්තයේ ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන්, කලාකරුවන් වැනි අය ද මෙම සාදයට සහභාගි වී සිටියා.
කෙසේ හෝ වේවා, මෙම විඩියෝ දර්ශණ ප්‍රසිද්ධියට පත්වීමත් සමග ඒ ගැන විශාල හාහෝවක් ඇතිවන්නට පටන් ගත්තා. ඊට හේතු වුණේ අගමැතිනිය ඒවායෙහි හැසිරෙන ආකාරය යි. එරට විරුද්ධ පක්ෂ නායකයකු වන රීක්කා පූරා පවසා තිබුණේ අගමැතිනිය මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට මුහුණ දිය යුතු බවයි. ඇයගේ හැසිරීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව ද ඔහු තවදුරටත් සඳහන් කර තිබුණා. මේ අතර සන්නා මරීන්ගේ ආණ්ඩුවටම සම්බන්ධ තවත් පක්ෂයක මන්ත්‍රීවරියක වන මික්කෝ කර්නා සඳහන් කළේ අගමැතිනිය සිය කැමැත්තෙන්ම මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට මුහුණ දෙන්නේ නම් එය බුද්ධිමත් තීරණයක් වනු ඇති බවයි.
මෙම සාදයට අදාළව මෙවැනි ආන්දෝලනයක් මතුවීමත් සමග කා තුළත් කුතුහලයක් ඇති වූයේ අගමැතිනිය සැබැවින්ම මත්ද්‍රව්‍ය භාවිත කළා ද යන්න ගැනයි. මේ සම්බන්ධයෙන් සිකුරාදා (19) පළ වී තිබූ අලුත්ම පුවතකින් පැවසුණේ සන්නා මරීන් මත්ද්‍රව්‍ය පරීක්ෂාවක් සඳහා ඉදිරිපත්ව ඇති බවයි. ඇය ඒ බව සඳහන් කරමින් ප්‍රකාශයක් ද කර තිබුණා. මෙම පරීක්ෂාවෙහි ප්‍රතිඵල සතියක් තුළ ලැබෙනු ඇති බවත් මරීන් සඳහන් කර තිබෙනවා. එම ප්‍රතිඵල වාර්තාව නිකුත් වන තුරු කව්රුත් මහත් කුතුහලයෙන් බලා සිටිනු ඇති බවට සැකයක් නැහැ.
සන්නා මරීන් නිතර මෙවැනි ප්‍රිය සාදවලට සහභාගි වන, ඉතා විනෝදයෙන් කල්ගෙවන කෙනෙකු හැටියට ප්‍රසිද්ධයි. පසුගිය සතියේ එක්තරා ජර්මන් මාධ්‍ය ආයතනයක් ඇය හඳුන්වා තිබුණේ ‘ලෝකයේ විනෝදයෙන්ම ජීවත්වන අගමැති” හැටියට යි. තමා ප්‍රිය සාදවලට කැමැත්තක් දක්වන, නිතර ඒවාට සහභාගි වන කෙනෙකු බව ඇය කිසිවිටෙක සැඟවීමට උත්සාහ කරන්නේත් නැහැ.
ආන්දෝලනයට ලක් වූ සාදය ගැන සඳහන් කරමින් මරීන් පවසා තිබුණේ තමා එහිදී මත්ද්‍රව්‍ය නොගත් බව සහ කිසිදු නීති විරෝධී කටයුත්තක නොයෙදුණු බවයි. ‘මගේ යොවුන් වියේදීවත් මම කිසි දිනෙක මත්ද්‍රව්‍ය භාවිත කර නැහැ’ යයි ද ඇය සඳහන් කර තිබුණා. නමුත් මත්පැන් ටිකක් පානය කළ බවත්, සාදයේදී ඉතා උද්යෝගිමත්ව, තරමත් ඝෝෂාකාරීව හැසිරුණු බවත් මරීන් පිලිගෙන තිබූ බැව් මාධ්‍ය වාර්තාවල සඳහන්. තමාව විඩියෝගත කරන බව තමා දැන සිටි බවත් ඇය සඳහන් කර තිබෙනවා. නමුත් එම විඩියෝ ප්‍රසිද්ධියට පත් කරනු ඇතැයි තමා නොසිතූ බවත්, එයින් තමා කණස්සල්ලට පත්ව සිටින බවත් ඇය පවසනවා. තමා ස්වේච්ඡාවෙන්ම මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට පෙනී සිටින්නේ තමාගේ හැසිරීම සම්බන්ධයෙන් යම් සැකයක් තිබේනම් එම සැකය දුරු කිරීමට බවත් මරීන් තවදුරටත් සඳහන් කර තිබුණා.
වාමාංශික අදහස් ඇත්තියක වන මරීන් ලොව ලාබාලම අගමැතිනිය බවට පත්වෙමින් 2019 වසරේ ෆින්ලන්ත අගමැති පදවියට පත් වූ කාලයේ ඇයගේ පෞද්ගලික ජීවිතය ගැනත් මාධ්‍ය තුළ බොහෝ තොරතුරු පළ වුණා. ඇය ඉතා දුෂ්කර ළමා වියක් ගත කළ කෙනෙකු බවයි සඳහන් වන්නේ. ඇය කුඩා කාලයේම ඇයගේ මව්පියන් එකිනෙකාගෙන් වෙන් වී තිබුණා. එයින් පසු ඇයගේ මව මරීන් ලොකුමහත් කර තිබුණේ තනිවමයි. ඒ කාලයේ ඔවුන් බොහෝ ආර්ථික අමාරුකම්වලටත් මුහුණ දී තිබුණා. වයස අවුරුදු 15 දී මරීන් බේකරියක රැකියාවක් කළ බවත් පැවසෙනවා. එමෙන්ම පාසල් කාලයේ වියදම් සොයා ගැනීම සඳහා ඇය සඟරා ආදිය විකිණීමෙහි යෙදුණු බවත් සඳහන්. මේ සියල්ල මරීන් ඇයගේ බ්ලොග් අඩවියක් හරහා හෙලිදරව් කර තිබුණා. කලක් තම මව තවත් කාන්තාවක සමග සමරිසි සම්බන්ධතාවක් පැවැත්වූ බවත්, ඒ කාලයේ තමා සමාජය තුළ විවිධ කොන් කිරීම්වලට ලක් වූ බවත් වරක් ඇය සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබුණා. නමුත් මේ කාලයේ තම මවගේ නොමද ආදරය සැලකිල්ල තමාට ලැබුණු බව ද මරීන් පවසනවා. ජීවිතයේ තමාට කැමැති දෙයක් කිරීමේ ආත්ම විශ්වාසය තමා තුළ ඇති කළේ තම මව බවයි ඇය කියන්නේ. කෙසේ හෝ වේවා, ඇය විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලැබීමට ද සුදුසුකම් ලැබූ අතර ඇයගේ පවුලේ විශ්ව විද්‍යාල වරම් ලැබූ පළමු සාමාජිකයා වී තිබුණේ ඇය යි.
දේශපාලනයට පිවිසෙන විට ඇයගේ වයස අවුරුදු 20 ක් පමණයි. ඒ තුළ ඉතා වේගවත් ගමනක යෙදුණු ඇය වයස අවුරුදු 34 දී ෆින්ලන්තයේ අගමැති ධුරයටත් පත් වුණා.
නිහාල් පීරිස්