සර්ව පාක්ෂික ආණ්ඩුව යනු පානුයි පරිප්පුයි වෙනුවට පරිප්පුයි පානුයි කෑමක් නොවිය යුතු ය

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව පැවැති මංගල රාජාසන කතාවේ දී ඔහු සර්ව පාක්ෂික ආණ්ඩුවකට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට ආරාධනා කර සිටියේය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවිය යුතු බවට ඒ වන විට සමාජයේ කතිකාවක් ඇතිව තිබුණි. බොහෝ දෙනා කීවේ රට මේ මොහොතේ පත්ව ඇති ආර්ථික සමාජ ව්‍යසනයෙන් බේරා ගැනීමට නම් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතුව රට සංවර්ධනය කරා ගෙන යා යුතු බවකි.එහෙත්, රනිල් කෙසේ කීවත් මේ වනවිට පාර්ලිමේන්තු බහුතරයට නියාමකත්වයක් දෙන බැසිල් රාජපක්ෂ ඊට කෙසේවත් එකඟ නොවන බවක් සමහරු කියති.නමුත් සියලු දෙනා එකු නොවුණ හොත් රට දියුණු කළ නොහැකි බව බහුතරයකගේ මතය විය.මහ නා හිමි වරුන්ගේ සිට අරගලකරුවන් දක්වා විවිධ පාර්ශවයන්ගෙන් මතුවූයේ ද එවැනි මතයකි. රටම සියලු පක්ෂ එකතු විය යුතු බව කීයේ පොහොට්ටුවට ලැබුණු තනි බලය නිසා රට අගාධයට ගිය බැවිනි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම පොදුජන පෙරමුණු ආණ්ඩුව රට වසර ගණනාවක් ආපස්සට ගෙන ගියේ ය. ජනතාවට ඉන්ධන, බොහෙත් මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ ද හිඟ විය. විදේශ විනිමය බිංදුවටම බැස්සේය. මහ බැංකුව කියා සිටියේ ඉන්ධන, පොහොර හා බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමට අවශ්‍ය ඩොලර් මහ බැංකුව සතුව නොමැති බව ය.මේ අතරේ රාජපක්ෂ රජය කෝටි ප්‍රකෝටි ගණන් ණය ආධාර මත ඉදි කළ නෙළුම් කුළුණට දඹල වැලක් වත් යැවිය යුතු යැයි සමාජ ජාල පරිශීලකයෝ කීහ.හම්බන්තොට ඉදි කළ ගුවන් තොටුපළ,වරාය,ක්‍රිකට් ක්‍රීඩාංගන,සම්මන්ත්‍රණ ශාලා ආදී මෙකී නොකී සියල්ලේ බර පොදු ජනතාවගේ කර මතට පතිත විය.අවසානයේ ජනතාව මහ මඟට බැසීමේ ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යාමට සිදු විය. පසුව ව්‍යවස්ථානුකූලව ජනාධිපති ධූරයට රනිල් වික්‍රමසිංහ පත් විය. ගෝඨාභය සේම බැසිල් ද රටින් පිටව යාමට උත්සාහ කළත් බැසිල් රාජපක්ෂට රටින් යාමට ගුවන් තොටුපොලේ එම අවස්ථාවේ සිටි ගුවන් මගීන් ඉඩ දුන්නේ නැත. මේ නිසා ඔහු රටේ නතර විය.

තවමපොදුජන පෙරමුණේ බලය රඳා පවතින්නේ බැසිල් රාජපක්ෂ සතුව ය. ඔහු එහි ජාතික සංවිධායක ය. ජනාධිපති ධූරයට රනිල් ජනාධිපති ධූරයට පත්වීමට බැසිල් සහාය දුන්නේ ය. අගමැති ධූරයට දිනේෂ් ගුණවර්ධන පත් කිරීමට ද ඔහු සහාය දුන්නේ ය. එහෙත්, ඇමති මණ්ඩලය සකස් කිරීමේ දි ඔහුගේ සහාය ගැනීමට ජනාධිපති රනිල් කටයුතු කළේ නැත.ඒ රනිල් ගේ දේශපාලනයේ නෛසර්ගික ස්වභාවයයි.නමුත් මෙහි ව්‍යුහාත්මක වෙනසක් සම්බන්ධ සර්ව පාක්ෂික ආණ්ඩුව වෙනුවෙන් සාකච්ඡා යද්දී සමගි ජන බලවේගය ඇමති ධූර ගැනීම ප්‍රතික්ෂේ කළේය. මේ නිසා ඇමතිධූර බාර ගැනීමට සජබයේ කණ්ඩායමක් වෙනම සුදානම් විය.ඔවුන්ගේ මතය වනුයේ සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති සිහිනය මත ඔහු සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නොවන බව ය.

සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමති ධූර සංඛ්‍යාව 28 කට සීමා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය. පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් හිමි පොදුජන පෙරමුණට සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමතිධූර 15 ක් ලබාදීමට තීන්දු කෙරිණ. අනෙක් ඇමතිධූර 13 සෙසු පක්ෂවලට බෙදී යාමට නියමිත ය. පොදුජන පෙරමුණට හිමි ඇමති ධූර සංඛ්‍යාවට පත් කළ යුතු කණ්ඩායමේ නාම ලේඛනය බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට බාර දී තිබේ.එහෙත්, එම ලැයිස්තුව ජනාධිපති රනිල් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබුණි. බැසිල් ඉදිරිපත් කළ ලැයිස්තුවේ මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.එම් චන්ද්‍රෙස්න, රෝහිත අබේගුණවර්ධන හා නාමල් රාජපක්ෂ යන අය සිටිති. ඒ ලැයිස්තුවේ වත්මන් කැබිනෙට්ටුවේ සිටින පොහොට්ටු නියෝජිතයෝ නැත. මේ නිසා යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවට “බාලගිරි දෝෂය” ඇතිව තිබේ.

මාධ්‍ය වාර්තා කර ඇති පරිදි බැසිල්ගේ ලැයිස්තුවේ සිටින්නවුන් කලින් ඔවුන් දරපු ඇමති ධූරම ඉල්ලා සිටින බව ද දැනගන්නට ඇත. බැසිල් ඉදිරිපත් කළ කණ්ඩායම සමඟ තමන්ට ඇමති මණ්ඩලයේ වාඩි විය නොහැකි බව විපක්ෂයෙන් එන මන්ත්‍රීවරු ප්‍රකාශ කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පවතින තත්වය අනුව සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම ගැටළු සහගත වී තිබේ. සැබෑ අරගලයට රටේ දෙකෝටි විසි ලක්ෂයක් ජනතාව හදවතින් සහභාගී වූහ. ඔවුන් කිසිවෙකු පැරණි ඇමති මණ්ඩලය ගැන පැහැදීමක් නැත. නමුත් වත්මන් ඇමති මණ්ඩලය ගැන ජනතාවට ගැටළුවක් නැත. නමුත් බැසිල් ඉදිරිපත් කළ ඇමති මණ්ඩලය ගැන ඔවුන්ට ගැටළුවක් තිබේ.

මේ අතර තමන් දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා බව මහින්ද රාජපක්ෂ ද කියයි.නැවතත් පරණ තැනටම රට ගෙනියන්නට රාජපක්ෂලා සුදානම් වන්නේ ද යන ගැටළුව ඔවුන් සතුව පවතියි. රටේ තත්වය තවමත් ස්ථාවර වී නොමැත. ජනතා ප්‍රශ්න තවමත් අවසන්ව ද නැත. මේ නිසා රාජපක්ෂවරු නැවතත් පරණ සෙල්ලමට සුදානම් වුව හොත් අරගලය නැවත වටයකින් පැමිණීම වැළැක්විය නොහැකි වනු ඇත.රාජපක්ෂ වරුන්ගෙන් තොර දේශපාලනයක් නොමැති බව ඔවුන් සිතුවද පසුගිය කාලය තුළ රාජපක්ෂ වරුන් කළ කී දේ අනුව ඔවුනට හිමි විය යුත්තේ විධායකය ව්‍යවස්ථාදායකය නොව සිපිරි ගෙය යැයි රටේ සැලකිය යුතු පිරිසක් විශ්වාස කරති.නමුත් රාජපක්ෂ වරුන් කටයුතු කරනුයේ මේ ජන මතය පිළිබඳ වගේ වගක් නොමැතිව බව පෙනෙයි..

මේ නිසා ජනාධිපතිටත්, පොදුජන පෙරමුණේ සිටින සැබෑ දේශතෛෂින්ටත් අලුතින් සිතන්නට යමක් ඇත. මන්ද ගෙවල් ගිනි තැබූ බහුතරයක් මන්ත්‍රීවරුන් සියළුම දෙනා හොරුන් දූෂිතයන් නොවේ. එසේම පහරදීමෙන් මිය ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ද අහිංසක මිනිසෙකු බවට පොළොන්නරුව ජනතාව සාක්ෂි දරති. එම නිසා පොදුජන පෙරමුණේ සිටින මධ්‍යස්ථ මතධාරීන්ට දැන් වගකීමක් ඇත. එනම් ජනතා දෝෂ දර්ශනයට ලක් වූ අයට ඇමතිකම් නොදෙනා ලෙස බලපෑම් කිරීමට ය. නැතිනම් යළිත් රට අගාධයට යනු ඇත.එය මීට පෙර රට පත් වූ අගාධයට යාමට වඩා අතිශයින් බරපතල තත්වයක් වනු ඇත. සර්ව පාක්ෂික ආණ්ඩුව යනු පානුයි පරිප්පුයි වෙනුවට පරිප්පුයි පානුයි කෑමක් නොවිය යුතු බව සමාජයේ පොදු මතය වී ඇත්තේ එනිසාම ය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර