යල කන්නයේ අස්වනු නෙලීම ආරම්භ වී ඇත.බලාපොරොත්තු නුවූ තරමින් සාර්ථක යල කන්නයක් පිලිබඳ කතාබහක් ද පැතිරෙමින් පවතී .යලේ වී වගාව ආරම්භ වීමට පෙර රටේ පැතිර ගිය මතය වුණේ දරුණු සහල් හිඟයකට රටට මුහුණ දීමට සිදුවනු ඇතැයි යන්න ය. මීට හේතුව වූයේ ගෝඨාභයගේ ඊනියා කාබනික කෘෂිකර්මය වෙනුවෙන් රසායන පොහොර හා වල් නාශක ආනයනය නතර කිරීමට ගත් තීරණය වී වගාව කෙරෙහි එල්ල කල බලපෑමයි.යල කන්නයේ වගාව සඳහා රසායනික පොහොර,සැපයුම පිළිබඳව පැහදිලි වැඩ පිළිවෙලක් නොතිබීම මත යල කන්නයේ වී වගාව සාර්ථක විය නොහැකි ආයෝජනයක් බව ගොවීන් සිය අත්දැකීමෙන් තීරණය කර තිබුණි.මේ නිසා යලේ වී වගාව පිළිබඳ බලාපොරොත්තුව බිඳ වැටුණු අතර ඊට සමගාමීව රටේ සහල් පාරිභෝජනය අධික කෘෂිකාර්මික නොවන බස්නාහිර ඇතුලු නාගරික ප්‍රදේශවල ජනතාව අතර සාගතයක් පිළිබඳව බිය ජනක ආරංචි පැතිරෙන්නට විය.
මේ ආරංචියත් සමග ඊට පෙර මාස් කන්නයේ අස්වැන්නෙන් වෙළඳපලට නො එවා ගොවීන් ළඟ රැස්කරගෙන, සිටි අතිරික්ත වී තොගවලට ඉහලම ඉල්ලුමක් නිර්මාණය විය. .සාමාන්‍යයෙන් වී වගා කරන ගොවියා අස්වැන්න නෙලීමෙන් පසුව කෙලින්ම වෙළඳපලට යොමු කරන්නේ තමාගේ අස්වැන්නෙන් .50%පමණ ප්රමාණයකි.ඉතිරි 50%සිය ආහාර සහ කන්නය අතර තුර තමාගේ පවුලේ එදිනෙදා නඩත්තුව සඳහා අලෙවි කිරීමට නිවසේ තබා ගැනීම සාමාන්‍ය පුරුද්දයි.යල කන්නයේ බලාපොරොත්තු බිඳ වැටීමත් සමග වී පිළිබඳව මධ්‍යම පාන්තික ප්‍රජාවගෙන් ලැබුණු ඉල්ලුම සඳහා සැපයුම සිදුකෙරුණේ මෙසේ ගොවීන් තම භාරයේ රඳවාගෙන තිබුණු මාස් කන්නයේ අස්වැන්නේ අතිරික්තය මගිනි. සාමාන්‍ය වෙලඳ පළේ වී මිල දී නොගන්නා මධ්‍යම පාතික පාරිභෝගිකයින්ගෙන් ලද මේ ඉල්ලුම සමග වී කිලෝ එකකට රුපියල් 180/=දක්වා වූ වාර්තාගත මිලක් ලැබීම සිදු විය.වෙළඳ පොලේ ඉල්ලුම හා සැපයුම මත තීරණය වූ සාමාන්‍ය මිල රුපියල් 120-125 පමණ තිබියදී වී සඳහා ලද අධි ඉල්ලුම නිසා රුපියල් 180/=මිලක් වී කිලෝ එකකට ලැබීම සාමාන්‍ය තත්වයක් නොවීය.මෙය පැහැදිලිවම පැවතුණු සාගත බිය නිසා කුසගින්නේ සිටීමට සිදුවෙතැයි යන සාධාරණ බිය මත බස්නාහිර පලාත කේන්ද්‍ර කරගත් මධ්‍යම පාන්තික ප්‍රජාවගෙන් ලද අධි ඉල්ලුම නිසා ඇතිවූ තත්වයකි.මෙසේ එක් රැස් කරගත් වී තොග තවමත් ආරක්ෂිත ආහාර සංචිතයක් ලෙස මධ්‍යම පංතික ප්‍රජාව සතුව පවතින බව අමතක නොකළ යුතු වේ.
යල කන්නයේ වගාවට රජයෙන් යම් උත්තේජනයක් සැපයුණේ රසායනික පොහොර පිළිබඳ ප්‍රතිපත්තියේ වෙනසක් ඇති කිරීමෙනි.මෙතෙක් දැඩිව රජය මගින් ප්‍රකාශ කළ,රසායන පොහොර ආනයන තහනම වෙනුවට රසායනික පොහොර ගෙන්වීමේ රජයේ සූදානම යල කන්නයේ වී වගාව දිරිමත් කිරීමට බලවත් හේතුවක් විය.සාමාන්‍යයෙන් රටේ වී වගා කාලසටහනට අනුව මුලින්ම වගා කටයුතු සිදු කෙරෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව ආශ්රිත ප්රදේශවලයි.රටේ මුලු වී නිෂ්පාදනයෙන් 20%ක කොටසක් සපයන අම්පාර දිස්ත්‍රික්කයේ වී වගාව රටේ සමස්ත වී නිෂ්පාදනය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.
මාර්තු මස අක්කර පත්තුවෙන් ආරම්භ වෙන යලේ වී වගාව අප්‍රියෙල් අග වන විට දිස්ත්‍රික්කයේ අනිකුත් ප්‍රදේශ වල ද සම්පූර්ණ කෙරෙයි. දෙහිඅත්තකන්ඩිය ඇතුලු මහවැලි ප්‍රදේශවලත් පොලොන්නරුව ආදී වී වගාකරන සෙසු ප්‍රදේශවලත් යල කන්නයේ වගා ඇරඹෙන්නේ මැයි මාසයේදී ය.මේ අන්දමින් රටේ සමස්ත,වී වගා කරන ප්‍රදේශවල මාස දෙක හමාරක තුනක පමණ අස්වනු නෙලීමේ කාල පරිච්ඡේදයක් ක්‍රියාත්මකව පවතී.
දැන් මේ වන විට අම්පාර දිස්ත්‍රික්කයේ යලේ අස්වනු නෙලීම බොහෝ දුරට අවසන්ව ඇත.අස්වනු නෙලීමත් සමඟ එන ඊළඟ ගැටලුව වී විකිණීම පිළිබඳ ගැටලුවයි.වී මිලදී ගැනීම ප්‍රධාන වශයෙන් පුද්ගලික අංශය මගින් සිදුකරන වැඩ සටහනකි. රජයේ වී අලෙවි මණ්ඩලය සහතික මිල පවත්වාගෙන,යාමට මැදිහත්වන බව පැවසුවද ගොවීන්ගේ අස්වනු අලෙවිය පිළිබඳව සැලකියයුතු බලපෑමක් කිරීමට වී අලෙවි මණ්ඩලය සමත් නොවේ.ඊට කරුණු කිහිපයක්ම බලපා ඇත.වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය අනුගමනය කරන සංකීර්ණ ක්‍රියාවලිය රජයට සහතික මිල යටතේ වී අලෙවිකිරීම ගොවියා අධෛර්යට පත් කරවන,සුලු එකක් වීම එක් ප්‍රධාන හේතුවකි. වී අලෙවි මණ්ඩලය වී අලෙවි කිරීමට බලාපොරොත්තු වන ගොවියා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් වෙතින් ඊට නියමිත ආකෘති පත්‍රය ලබා ගෙන එහි අවශ්‍ය විස්තර සම්පූර්ණ කර කෘපනිස නිලධාරී ප්‍රාදේශීය නිලධාරී ගේ නිර්දේශ අත්සන් සහිතව තමන්ගේ වී තොගය ද සමග වී අලෙවි මණ්ඩලයේ ගබඩාවට ගෙන යායුතු ය.
තමන් රැගෙන යන වී නියමිත ප්‍රමිතියකට වියලී තිබිය යුතු අතර බොල් ප්‍රතිශතය ද අනුමත සීමාවේ තිබිය යුතුය. ගොවියෙකුගෙන් අලෙවි මණ්ඩලය මිලදී ගන්නේ අක්කරයකට වී කිලෝග්ර්ආම් 1500 පමණ ප්රමාණයකි. බොහෝ විට වී තොග රැගෙන විත් ගබඩාව අසල පෝලිම් වල සෑහෙන වේලාවක් රැඳී සිටීමට ද ගොවියාට සිදුවේ.වියළි ප්‍රතිශතය පරීක්ෂා කිරීමේදී නියමිත ප්‍රමිතිය නැතිනම් යළි එම වී වේලා නැවත ගබඩාවට ඉදිරිපත් කිරීමට ද සිදුවේ.ඊළඟට මුදල් ලබා දීම සිදුකරනුයේ ගොවියා නමින් ඇති බැංකු ගිනුමටයි. එය බැංකුව මගින් සිදුකරන ක්‍රියාවක් බැවින් යම් ප්‍රමාදයන් එමගින් ඇතිවීමත් ගොවියා නමින් බැංකුවේ ණය මුදලක් තිබුණොත් එහි හිලව්වට වී අලෙවි මුදල් රඳවාගැනීමත් ඇතැම් විටක සිදුවේ.මේ සියලු බාධක පවතින්නේ වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීමේ දී පමණි.පුද්ගලික අංශය මහා පරිමාන වීමෝල් හිමියන් වී මිලදී ගැනීම කරනුයේ ඔවුන්ගේ බ්‍රෝකර්ව වරුන් මගිනි.
ගොවියාගේ කමතටම ගොස් ගොයම් කපන,අවස්ථාවේදීම මිල ගණන් කතා කර අවශ්‍ය වී බෑග් ලබාදී වී මිල දී ගැනීම බ්‍රෝකර්වරුන්ගේ සිරිත ය. අත්පිට මුදලට කමතේදීම වී අලෙවි කිරීමත් බොල් හෝ තෙත ප්‍රතිශත පරීක්ෂා නොකිරීමත් නිසා ගොවියාට විශාල පහසුවක් ලැබේ.මේ නිසා රජයේ සහතික මිලට වඩා රුපියල් දහයක් පහලොවක මිල අඩුවීමක් වුවද ගණන් නොගැනීමට ගොවියා පුරුදුව සිටියි.අනික් අතට රජයේ වී ගබඩා ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසාත් ඇතැම් අවස්ථා වල වී මිලදී ගැනීමේ රාජ්‍ය ක්‍රියාවලියට බාධා ඇතිවෙයි.මේ ආදී කරුණු මත රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය මගින් වී අලෙවිය පිළිබඳව ගොවියාට ඇති ගැටලු වලට විසදුම් ලබා දීම අසීරුවී ඇත.
මෙවර යල කන්නයේ අස්වනු අරබයා ඇති සුවිශේෂිත්වය නම් මහා පරිමාන වී මෝල් හිමියන් වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට මෙතෙක් පිවිසී නොතිබීමයි.දැනට අම්පාර ප්‍රදේශයේ වී මිලදී ගැනීම සිදුකරන්නේ ප්‍රාදේශීය තොග රැස්කරන්නන් පමණි.සෑම වගා කන්නයකම සුලු පරිමාණයෙන් වී මිලදී ගෙන තොග රැස් කරන්නෝ වී වගා ප්‍රදේශවල සිටිති.ඔව්හු වී කිලෝග්‍රෑම් ලක්ෂ එකේ සිට දහය දක්වා ප්‍රමාණයක් මිලදී ගෙන ගබඩාකර තබාගෙන මාස දෙක තුනක් තුළ දී ඇතිවන මිල ඉහළ යාමේදී අලෙවිකර ලාභයක් උපයති.මේ අයට අරමුදල් සැපයීම බැංකු පද්ධතිය මගින් කෙටිකාලීන පහසුකම් මගින් ලබාදෙයි.
දැනට අම්පාර දිස්ත්‍රික්කයේ මෙසේ වී මිලදී ගන්නා කෙටිකාලීන තොග රැස්කරන්නන් ගොවීන්ට ලබා දෙන මිල රුපියල් 120-125අතර පවතී.මේ මිල ගොවියාගේ පැත්තෙන් සාර්ථක මිලක් වන අතර සහල් පාරිභෝගිකයාගේ පැත්තෙන් ගත් කළ රුපියල් 230/=මට්ටමේ සහල් මිල පවත්වා ගැනීමට ද හැකි මිලකි. මහා පරිමාන සහල් නිෂ්පාදකයින් වී මිල දී ගැනීම ආරම්භ කළ පසු මේ වී මිල තවත් සුලු ප්‍රමාණයකින් ඉහල නැඟීමට ඉඩකඩ පවතී.
මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනය වී සඳහා කිලෝ එකට රුපියල් 150/=සහතික මිලක් ඉල්ලා සිටිනු නිරීක්ෂණය .විය.මේ ඉල්ලීම ගොවියාගේ සිත දිනාගැනීමේ ඉල්ලීමක් මිස සහල් පාරිභෝගිකයා ගැන සිතන ඉල්ලීමක් නොවේ.යල කන්නයේ වගාව අවිනිශ්චිත වීම මත හටගත් සාගත බිය නිසා ඇති වුණු අධි ඉල්ලුමට සාපේක්ෂව ඉහළ ගිය වී මිල පදනම් කර ගනිමින් වී මිල රුපියල් 150/=විය යුතුයැයි ඉල්ලීම පාරිභෝගිකයාගේ පැත්තෙන් අසාධාරණ ඉල්ලීමක් වනුයේ සහල් කිලෝග්රෑමය රුපියල් 280/=න් ඉහලට යාමට එය හේතු වන බැවිනි.
මෙවර මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් වී මිලදී ගැනීමට මෙතෙක් පිවිස නැත්තේ ඉදිරි සහල් වෙළඳ පලේ හැසිරීම පිළිබඳව පවතින ගැටලුකාරී තත්වය නිසා විය හැකි ය.විශේෂයෙන් සාගත බියත් සමඟ මධ්‍යම පාන්තික නිවාසවල එක් රැස් කෙරුණු වී තොග නිසා සාමාන්‍යයෙන් දෙසැම්බර්,අවසානයට ඇති වන සහල් මිලේ වර්ධනය මෙවර සිදු නොවීමට ඇති ඉඩකඩ මහා පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ සැලකිල්ලට යොමුවී ඇති බව යල කන්නයේ වී මිල දී ගැනීම ආරම්භ නොකිරීමෙන් පෙන්නුම් කර ඇත.ඒ නිසා වී මිල රුපියල් 125/-ඉහලට යාමට මෙවර ඇති ඉඩ ඉතාම අවම වේ.
සුනිල් කන්නන්ගර කොළඹ,රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති