පොලීසිය සහ සමාජයේ විවිධ ජන කොටස් සමඟ පවත්නා හොඳ හිත පළුදු වෙමින් එම දෙපාර්ශවය අතරේ ගැටුම් අර්බුද හටගන්නා තත්වයක් පෙන්නුම් කෙරෙමින් පවතී. ඉකුත් දිනවල ඉන්ධන පෝලිම්වල රැඳී සිටි ජනතාව අතරේ සාධාරණ අයුරින් ඉන්ධන බෙදා හැරීමට පොලීසිය දැක්වූ සහයෝගය ඉතා දුර්වල මට්ටමක පැවැති බවටත් ඇතැම් පොලිස් නිලධාරීන් ඒ අවකාශයෙන් නොයෙක් අයථා ක්‍රියාවන්ට යොමු වූ බවටත් පසුගිය කාලය පුරා බොහෝ දෙනෙක් මැසිවිලි නඟන්නට වූහ. එහි නවතම යාවත්කාලීන මුහුණුවර ලෙස මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කොට ඇති හිමිකම් උපයෝගී කර ගනිමින් පවත්නා පාලනයට එරෙහි උද්ඝෝෂණය කරන්නවුන් මර්දනය කිරීමට
පොලීසිය කටයුතු කිරීම පොදු සමාජය හමුවේ අනාවරණය වෙමින් පවතී.
මහජන ආරක්ෂාව, සාමය තහවුරු කිරීම, අපරාධ නිවාරණය, ජනතා සුබ සාධනය ආදී සාධනීය සමාජමය කර්තව්‍යයන් හි යෙදීම පිණිස අනලස්ව ක්‍රියා කළ යුතු පොලීසිය හුදෙක් පාලකයන් ගේ සිතැඟි සහ අභිමථාර්ථ ශාක්ෂාත් කිරීම පිණිස ජනතාව මර්දනය කිරීමේ ක්‍රියාවලිය යම් උච්චාවචනයකින් යුතුව අප සමාජය තුළින් නිරන්තරව දක්නට ලැබුණු තත්වයකි. දුර්දාන්ත සමාජ, දේශපාලන, ආර්ථික ක්රමයක වඩාත්ම පැහැදිලි දර්පනයක් පොලීසිය තුළින් නිරූපණය වන බව දහනව සියවසේ අග භාගයේ සහ විසිවන සියවසේ මුල භාගයේ ජීවත් වූ ඉතාලි ජාතික අපරාධ හා සමාජ විද්‍යාඥයකු වන එන්රිකෝ ෆෙරී කළ ප්‍රකාශය ද අදටත් අප රටට කෙතරම් කදිමට ගැලපෙනු ඇත්දැයි ඔබට සිතා ගැනීමට හැකි වනු ඇත.පොලිස් නිලධාරීන් තුළ හුදෙක් නීතියට පමණක් පක්ෂපාත වන පෞරුෂයක් සහ වෘත්තීය අභිමානයක් ගොඩ නැඟීම ඉතා වැදගත් සමාජ්මය අවශ්‍යතාවකි.
1988-1989 භීෂණ සමය තුළ පොලීසියේ විවිධ ක්‍රියාකාරකම් මුල්කොට සාමාන්‍ය ජනතාව තුළ පොලීසිය කෙරෙහි පැවැති විශ්වසනීයත්වය කෙතරම් පළුදු වූයේ ද යත් ඒ වන විට අප රටේ දක්නට ලැබෙන එකම යහපත් පොලිස් නිලධාරියා පොලිස් සැරයන් වරයකු බවටත් ඔහු “සාජන්ට් නල්ලතම්බි” ලෙස හැඳින්වෙන බවටත් උපහාස භාෂණයක් එවක සමාජයේ පැතිර තිබිණ. එවක සමාජය එම සාජන්ට් නල්ලතම්බි නාමය උපුටා දක්වන ලද්දේ 1985 වසරේ සිට දිවයින පුරා අතිශය සාර්ථක අන්දමින් තිරගත වූ සාජන්ට් නල්ලතම්බි නම් ප්‍රහසන රංගනය මුල් කොට ගනිමිනි. නමුදු එවක සමාජයේ පැවැති ‘ප්රබුද්ධ නාට්‍ය’ පිළිබඳ සමාජ කතිකාව මුල්කොට සාජන්ට් නල්ලතම්බි උසස් කලා
කෘතියක් ලෙස කිසිවකු ගේ පිළිගැනීමට ලක් වූයේ නැත.
එහෙත්, විසි වන සිය වසේ මැද භාගයේ මෙරට බිහි වූ විශිෂ්ටතම නාට්‍යවේදියකු වන දයානන්ද ගුණවර්ධන සූරීන් ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස ඊට ඉඳුරාම පටහැනි විය. “සාජන්ට් නල්ලතම්බි” යනු අතීතයේ මෙරට ප්‍රචලිත කෝලම් නාට්‍ය සම්ප්‍රදායට අයත් “පොලිස් කෝලම” නම් ජන රංගනයේ ප්‍රති නිෂ්පාදනයක් බවත් යාවත්කාලීන ඉදිරිපත් කිරීමක් බව පැවසූ ගුණවර්ධනයෝ ශීත කලාපීය දේශගුණික පරිසරයන් සහිත රටවල ශෝකාන්ත නාට්‍යයන් කෙරෙහි වැඩි ජන ආකර්ශනයක් ඇති වන්නා සේ ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල මෙබඳු සරල සමාජ ප්රහසනයන්ට ශීඝ්‍ර ජනප්‍රියත්වයට පත් නොවන බව ද නොපැකිල අවධාරණය කළහ.එම ප්‍රකාශය ඔහුගේ”ගජමන් පුවත”නාට්‍ය පිටපත් කෘතියේ පෙරවදනේ ද සටහන් කොට ඇත.
එහෙත්, නිහාල් සිල්වා නම් සුවිශේෂ කලාකරුවා තමන් වෙත ඉලක්ක නොවූ බව පැවසෙන හමුදා වෙඩි පහරකට ලක්ව 1989 වසරේ දෙසැම්බර් 03 වන දා අකලට අප අතරින් සඳහටම වෙන් විය. ’‘පොලිස් කෝලම” යන්න නූතන පොලිස් නිලධාරීන් ගේ විවිධ ක්‍රියාකාරකම් මුල්කොට සමාජයීය වශයෙන් නිතර ව්‍යවහාර වන්නකි. එහෙත්, පොලිස් කෝලම යනු නාඩගම් සහ කෝලම් යන ජන රංගනවලට එක් වූ එක් කෝලම් නාටකයකි.සොකරි උඩරට ගැමි සමාජය අතර ජනප්‍රිය වූ ජන රංගනයක් වන අතර නාඩගම් සහ කෝලම් උඩරටට වඩා පහතරට ප්‍රදේශයන්හි ජනප්‍රිය වූ බව පෙනේ. සොකරි යනු එකම පුරාවෘත්තයක් පදනම් කරගත් ජන රංගනයක් වූ අතර නාඩගම් මගින් බොහෝ විට එළිදැක්වෙන ලද්දේ එෛතිහාසික හෝ ජනප්රවාදගත පුරාණෝක්ති බව පෙනේ. නමුදු ශ්‍රී ලංකාවේ බටහිර නිරිත දිග සහ දකුණු ප්‍රදේශවල ව්‍යාප්ත වූ කෝලම් නාටක වලින් සමකාලීන සමාජ ප්රපංචයන් ඉදිරිපත් වූ බව ඒ සම්බන්ධ හැදෑරීම් වලින් පෙනී යයි.
ශ්‍රී ලංකාවේ වර්තමාන පොලිස් සේවයේ සමාරම්භය සටහන් වනුයේ 1866 සැප්තැම්බර් 03 වන දා ය. එහෙත් අප රට පෘතුගීසීන් යටත් කර ගත් මුල් යුගයේ සිටම පොලිස් රාජකාරී වෙනුවෙන් කැප වූ තනතුරු සේම ඒවා ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයන් ද තිබී ඇත. නමුදු කෝලම් නාටක අතරට එක් වන පොලිස් කෝලම ඉංග්‍රීසි යටත් විජිත යුගයේ ආරම්භක අවදියේ පැවැති මෙරට පොලිස් සේවාව උපහාසයට ලක් කරනු පිණිස ගැමි කලාකරුවන් විවිධාකාර මුහුණුවරින් ඉදිරිපත් කළ ප්‍රබන්ධාත්මක ජන රංගනයක් බව පෙනේ.
මෙම පොලිස් කෝලම් පොතේ ගුරු, පූරක වැනි භූමිකාව හොබවනුයේ යටත් විජිත යුගයේ දේශීය මුලාදෑනි ඇඳුමකින් සැරසීගත් කාරියකරවන රාළ හෙවත් සබේ විදානේ විසිනි. මෙම කෝලම් නැටුම සඳහා එක් වන සෑම චරිතයක්ම ඊට අදාල වෙස් මුහුණු පැළඳ සිටින අතර එම රංග භූමිය හැඳින්වනුයේ සබේ යනුවෙනි.කෝලම් නාටක වල එන සෑම චරිතයක්ම වෙස් මුහුණු පළඳින අතර සබේ විදානේ පමණක් වෙස් මුහුණක් නොමැතිව සබයට ඒම මෙම කෝලම් ජන රංගනය තුළ ඇති විශේෂත්වයකි.
මෙහිදී තමන් ගේ නිල අංකය සහිත හිස් වැසුම් පැළඳ කළු කබා හැඳගත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් බැටන් පොළු ද වනමින් සබයට එති. එහිදී ඔවුන් සබේ විදානේ සමඟ සිදු කරන කතා බස් වලින් පැහැදිලි වන එක කරුණක් තිබේ. එනම් ඔවුනට හරිහැටි සිංහල කතා කිරීමට නොහැකි බවකි. අපගේ පහතරට තොවිල් වල ඇදුරා හමුවට පැමිණෙන යක්කු ද වචන වරද්දමින් හා පටලවමින් කතා කරති. ඒ බොහෝ විට ඇදුරා ගෙන් බේරී පලා යාමේ උපක්‍රමයක් ලෙසිනි. එහෙත් පොලිස් කෝලමේ එන පොලිස් භටයන් සිංහල වදන් වරද්දමින් කතා කරනුයේ ඔවුන් සිංහල බස නොදත් බැවිනි. අප රටේ වර්තමාන පොලිස් සේවාව ආරම්භ කළ දහ නව වන සියවසේ මැද භාගයේ එහි සේවයට පොලිස් භටයන් බඳවා ගැනීමේදී ජා, මැලේ ආදී සුළු ජාතීන්ට ප්‍රමුඛත්වය දුන් බවට සාක්ෂි තිබේ.ඒ ඔවුන් මෙරට බහුතරය වන සිංහල ජන සමාජය සමඟ පැවැත් වූ සහසම්බන්ධතා සීමිත බැවිනි.
මෙම පොලිස් කෝලමේ භටයන් සබේ විදානේ සමඟ කරන කතා බහේ දී ඔවුන්ගේ අකාර්ක්‍ෂමතාව, සේවා දුර්වලතා, අකටයුතු අසාධාරණකම් සේම ලිංගික ලෝලීත්වය ද හාස්යා්ත්පාදක අයුරින් ඉදිරිපත් කෙරේ. වරෙක සබේ විදානේ සමඟ සංවාදයක යෙදෙන පොලිස්, භටයෙක් කෝපාවිශ්ඨ වී වරෙක සබේ විදානේ වෙතට තමන් අතෙහි වූ බැටන් පොල්ල උළුක් කරයි. “මේ…මේ… ඕවා මෙහාට හරියන්නේ නැහැ. ඕක ගිහින් උළුක්කර ගන්නවා හොඳයි තමුන්ගේ ……..” එවිට සබේ විදානේ එසේ පවසත්ම “කාටද උළුක් කරන්න කිව්වේ මගේ කෑනි (ගැහැණිය; බිරිඳ) ටද? ඒකට(බැටන් පොල්ල පිරිමදිමින්) මේක ඕනේ නෑ …. මීට වඩා හොඳ එකක් මගේ ළඟ තියනවා”ඉහත සඳහන් ආකාරයේ ලිංගික සන්නිවේදනයක ස්වරූපයක් පළ කරන ග්‍රාම්‍ය දෙබස් පහත රට තොවිල් වල සේම මෙම කෝලම් රංගන තුළ ද දැකිය හැක.
මේ අතර වරක් සබේ විදානේ ගේ ඔත්තුවක් මත හොර සුරා වැටලීමකට යන පොලිස් භටයා යළි පැමිණෙනුයේ දෙපයින් සිට ගැනීමට නොහැකි තරම් බීමතිනි. ඒ පිළිබඳව සබේ විදානේ ප්‍රශ්න කරන ලදුව පොලිස් භටයා පිළිතුරු දෙමින් පවසනුයේ ඒවා සුරාවම දැයි දැනගනු පිණිස තමන් බඩකට පුරා ඒවා පානය කළ බවකි.
පොලිස් නිලධාරීන් තුළ පවත්නා මෙවන් අකටයුතු, විෂමාචාර සහ අනුවණ කම් උපහාසාත්මක විවේචනයට ලක් කරන මෙම පොලිස් කෝලම එවක ගැමි සමාජය තුළට සම්ප්‍රේෂණය කරන ලද ප්‍රබල භාව විරේචන යාන්ත්‍රණයක් වූ අතර එය මුල් කොට එවක ගැමියන් තුළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පැවැති නොමනාපයට සහ අප්‍රසාදයට හුදෙක් හාස්‍යමය ආරෝපණයක් ලැබුණු බව නිසැකය. 1988 – 1989 භීෂණ සමය තුළ ජනතා ප්‍රසාදය දිනාගත් එකම පොලිස් නිලධාරියා නිහාල් සිල්වා ගේ සාජන්ට් නල්ලතම්බි බව පැවසීම හා සාජන්ට් නල්ලතම්බි නාටකය පොලිස් කෝලම ජන රංගනයේ ප්‍රති නිර්මාණයක් බවට දයානන්ද ගුණවර්ධන සූරීන් කළ ප්‍රකාශය මෙහිදී සසඳා බලනු වටී. නිහාල් සිල්වාට සාජන්ට් නල්ලතම්බි චරිතය මුල පිරීමට පාදක වූ වස්තු බීජය ද දයානන්ද ගුණවර්ධනයන් නිෂ්පාදනය කොට 1983 මුල්වරට වේදිකා ගත කරන ලද “මධුර ජවනිකා” වාර්තා රංගනයේ එන ජැන්ඩි සිඤ්ඤෝ (ජැක්සන් ඇන්තනි) සහ රෝස නෝනා (අනුලා බුලත්සිංහල) ගයන “නෙයිනගෙ සූදුව”විරිඳු පෙළ හා බැඳී පවතී. දහ නව වන සියවසේ අග භාගයේ කොටහේන පොලිස් ස්ථානයේ සාජන්ට් මේජර් ලෙස කටයුතු කළ ශ්‍රීමත් ජෝන් කොතලාවලයන් ගේ පියාණන් වූ ජෝන් කොතලාවල විසින් වර්තමාන ආමර්වීදිය ආශ්රිත කොළඹ මසන්ගස් හන්දියේ නෙයිනා තම්බි නමැත්තකු පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොළක් වැටලීම පිළිබඳ ප්‍රවාදයක් එම විරිඳු පෙළට ඇතුලත් ය.
පසුව එම ප්රවාදගත කතා ප්‍රවෘත්තිය උකහා ගත් දයා වයිමන් නාට්‍ය කරුවා ඊට වසරකට පසු එනම් 1984 වසරේ එම කතා පුවත ඇසුරින් වෙනම නාට්‍ය පිටපතක් සම්පාදනය කොට එය “නෙයිනාගේ සූදුව” ලෙසින් වේදිකා ගත කොට තිබිණ. නලු නිළියන් තිස් අට දෙනකු ගෙන් සමන්විත ඒ නාටකයේ නිහාල් සිල්වා දෙමළ ජාතික පොලිස් සැරයන් වරයකු ලෙස උප චරිතයක් රඟපෑ අතර එය රසිකයන්ගේ විශේෂ ආකර්ශනය යොමු වන පරිදි ඉදිරිපත් කිරීමට ඔහුට හැකි විය.නමුදු නෙයිනගෙ සූදුව කතා පිටපතට අනුව එය දෙබස් කිහිපයකට පමණක් සීමා වූ චරිතයක් වීම නිහාල් සිල්වාගේ සේම ඔහුගේ රසිකයන්ගේ ද නොසෑහීමට ලක් වූ බව පෙනෙයි. මෙම පසුබිම යටතේ ඊළඟ වසරේ දී එනම් 1985 දී නෙයිනාගේ සූදුව නාට්‍ය කණ්ඩායමින් ඉවත් වූ නිහාල් සිල්වා තමන් එහි රඟපෑ පොලිස් සැරයන් වරයා ගේ චරිතය කේන්ද්‍ර කරමින් “සාජන්ට් නල්ලතම්බි” නාට්‍යය කරලියට ගෙන ආ අතර එක්දහස් නවසිය හැත්තෑව දශකයේ අතිශය ජනකාන්ත බවට පත් වූ වික්ටර් රත්නායකයන් ගේ ‘ස’ ප්‍රසංගයට පසු අතිශය ජනකාන්ත බවට පත් සිංහල වේදිකාවේ හොඳම ප්‍රාසාංගික අත්දැකීම ලෙස බොහෝ දෙනෙක් නිහාල් සිල්වා ගේ සාජන්ට් නල්ලතම්බි නාටකය හඳුන්වති.
අතීත දේශපාලන, සමාජමය ගැටුම් අර්බුද හේතුවෙන් සාමාන්‍ය මහජනතාව සහ පොලීසිය අතර පවතින විරසකය යම් තරමකට හෝ සමනය කරන්නට පොලිස් කෝලමුන්ට සාජන්ට් නල්ලතම්බිලාට හැකි වූ බව නොරහසකි. එහෙත්,දැනට පැන නැඟී ඇති ඉදිරියේ දී පැන නැඟිය හැකි බවට සාධාරණ ලෙස අනුමානය කළ හැකි සමාජ, ආර්ථික සහ දේශපාලන අර්බුද හමුවේ පීඩාවට පත්වන ජනතාවගේ නැඟී සිටීම් හමුවේ පොලීසිය නිරන්තරයෙන් මර්දනකාරී පිළිවෙත් අනුගමනය කළහොත් එමගින් ජනතා විශ්වාසයෙන් බැහැරව ඇදී යන ශ්‍රී ලංකා පොලීසිය ගොඩගැනීමට පොලිස් කෝලමුන්ට, සාජන්ට් නල්ලතම්බිලාට තබා ඇමති බන්දුල ගුණවර්ධනයන් පසුගිය කාලයේ ඉස්මතු කළ උපහැරණයට අනුව කිවහොත් සක්‍රයා ගේ පුතා වයිමාටවත් නොහැකි වනු නියත ය.ඒ අනුව අප කළ යුත්තේ නීතියට පමණක් හිස නමන වෘත්තීය අභිමානයෙන් සපිරි ගෞරවනීය පොලිස් සේවාවක් සඳහා වන “සමාජමය සිහිනය”යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය පසුබිම කෙරෙහි අවධානය යොමු කිරීම පමණි.
මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර