අවුරුදු 26 ක කාලයක් කිසිදු නෑ හිතවතකු නැතිව, ආශ්‍රයට අසල්වැසියකු නැතිව, බාහිර ලෝකය සමග ද කිසිදු සම්බන්ධයක් නැතිව මහ වනයක් මැද තට්ට තනිවම, හුදෙකලාව කල් ගෙවූ මිනිසකු ගැන කතාවක් පසුගිය දිනවල මාධ්‍ය තුළ අවධානයක් දිනාගෙන තිබුණා. එක්තරා ගෝත්‍රයකට අයත් කෙනෙකු වන මොහු ජීවත් වූයේ බ්‍රසීලයේ ඈත පිටිසර ප්‍රදේශයකයි. ඔහුගේ ගෝත්‍රයට අයත් සාමාජිකයන් සියලු දෙනාම පාහේ දශක කිහිපයකට පෙර මරණයට පත්ව තිබූ බවයි පැවසෙන්නේ. මොවුන් ජීවත් වූ ප්‍රදේශයේ භූමිය අල්ලා ගැනීම සඳහා කඩා වැදුණු ගොවීන්, ජාවාරම්කරුවන් වැනි අය අතින් ඔවුන් වැඩි දෙනෙකු නවසිය හැත්තෑව දශකය තුළ මරණයට පත්ව තිබුණා. ඉතිරි වී සිටි තවත් සය දෙනෙකු 1995 වසරේ මිය ගොස් තිබූ බව සඳහන්. ඔවුන් මරණයට පත්ව තිබුණේ නීති විරෝධී ආකාරයෙන් පතල් කැණීමේ කටයුතුවල නිරත පිරිසක් අතින්. මේ කතාවේ කතානායකයා ඉන්පසු ජීවත් වී ඇත්තේ හුදෙකලාව යි.
මෙම අපූරු පුද්ගලයා ගැන පසුගිය දිනවල නැවතත් අවධානය යොමු වූයේ වනය තුළ තිබී ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට ලැබීම නිසයි. ඔහු ජීවත් වූයේ යයි සැලකෙන පැල්පතක් අසළ එල්ලෙන තොටිල්ලක් වැනි තැනක තිබී ඔහුගේ සිරුර හමු වී තිබූ අතර එය කුරුළු පිහාටුවලින් වැසී තිබුණු බවත් පැවසෙනවා. ඔහුගේ ඥාතීන් මෙන්ම මෙම ආදිවාසියාත් කිසිවකු විසින් ඝාතනය කරනු ලැබුවාද යන ප්‍රශ්ණයත් මෙහිදී මතු වී තිබුණා. නමුත් බ්‍රසීලයේ ආදිවාසීන් පිලිබඳ කටයුතු කරන ආයතනයක නිලධාරීන් පවසා තිබුණේ ඔහු එවැනි ඝාතනයකට ලක් වූ බවක් නොපෙනෙන බවයි. පිටස්තර පාර්ශ්වයක් මෙම ප්‍රදේශයට කඩා වැදුණු බවට සලකුණු නොමැති බව ඔවුන් සඳහන් කර තිබුණා. ඔහුගේ නිවස තුළ ද කළබලයක ලකුණක් දක්නට නොවූ බවයි මෙම නිලධාරීන් තවදුරටත් පවසා තිබුණේ. මෙම පුද්ගලයාගේ සිරුර හමු වී තිබුණේ රාජකාරී මුර සංචාරයක නිරතව සිටි මෙම ආයතනයේ ම නිලධාරියකුට යි.
ආදිවාසීන් පිලිබඳ විශේෂඥයකු වන මාර්සෙලෝ දෝස් සැන්තෝස් පවසන්නේ මෙම පුද්ගලයා ස්වාභාවික මරණයකට ගොදුරු වූ බවක් පෙනෙන බවය. ඔහුගේ සිරුර වසාගෙන තිබූ පිහාටු ද ඔහු විසින්ම තැන්පත් කරගන්නා ලද ඒවා විය හැකි බව ඔහු පවසනවා. තමුන් මිය යන්නට ආසන්න බව දැනගත් ඔහු එම ගෝත්‍රයේ සම්ප්රදායක් අනුව මෙම පිහාටුවලින් සිරුර වසා ගන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. මෙම ගෝත්‍රික මිනිසාගේ වයස අවුරුදු 60 ක් පමණ විය හැකි බව ද ඉහත කී නිලධාරීන් අනුමාන කර තිබුණා. ඇතැමුන් සිතන්නේ ඔහු කිසියම් රෝගයකට ගොදුරුව සිටින්නට ඇති බවයි. තමා මිය යාමට ආසන්න බවක් ඔහුට දැනෙන්නට ඇත්තේ මේ නිසයි. කෙසේ හෝ වේවා, මෙම ආදිවාසියාගේ මරණයට හේතුව නිශ්චිත වශයෙන් දැන ගැනීම සඳහා මරණ පරීක්ෂණයක් පැවැත්වීමටත් නියමිතව තිබුණා.
ඔහු ජීවත් වූ ප්‍රදේශයේ තැන් තැන්වල මෙම පුද්ගලයා වලවල් හාරා තිබූ බවකුත් සඳහන් වෙනවා. මේ නිසා ඇතැම් මාධ්‍ය ඔහු හඳුන්වා තිබුණේ වලේ මිනිසා (Man of the Hole) යන නමින්. ඔහු මෙවැනි වලවල් හෑරුවේ මන්ද යන්න ගැන තවමත් නිශ්චිත අදහසක් නැහැ. සමහර වලවල් තුළ උල් කුරු වැනි දේ දක්නට ලැබුණු නිසා ඒවා සතුන් ඇල්ලීම සඳහා බොරු වලවල් ලෙස යොදා ගන්නට ඇති බවටත් අදහසක් තිබෙනවා.
මෙම මිනිසාගේ සැරුර සොයාගත් ජොසේ අල්ගේයර් මාධ්‍ය සමග පවසා තිබුණේ ඔහු විසින් ඉදි කරන ලද පැල්පත් පනහක් පමණ එම ප්‍රදේශයේ දක්නට ලැබුණු බවයි. ඒ සමහර පැල්පත් තුළ ද අඩි 10 ක් තරම් ගැඹුර වලවල් තිබුණු බව ඔහු පවසා තිබුණා. සමහර විට මෙම ආදිවාසියා සැඟවී සිටීම සඳහා මෙම වලවල් යොදාගත්තා ද යන සැකය ද ඇතැමුන් මතු කර තිබෙනවා.
පිටස්තර ලෝකය සමග ඔහු කිසිදු සබඳතාවක් පැවැත්වූයේ නැහැ. ඒ නිසා ඔහු කතා කළේ කවර භාෂාවක් ද, ඔහුට නමක් තිබුණා ද, තිබුණා නම් ඒ කුමක්ද වැනි කාරණා ගැනත් කිසිවකු දැන සිටියේ නැහැ.
2018 වසරේ අහම්බෙන් ඔහු ඇස ගැසුණු ඉහත කී ආයතනයේ කණ්ඩායමක් ඔහුව විඩියෝගත කර තිබුණා. එහි ඔහු පොරවක් වැනි ආයුධයකින් ගසකට කොටන ආකාරය දැකිය හැකියි. මෙම අවස්ථාවෙන් පසු කිසි දවසක ඔහු නැවත දකින්නට ලැබී තිබුණේ නැහැ. මෙම පුද්ගලයා බඩ ඉරිගු, මඤ්fඤාක්කා වැනි භෝග වගා කර ඇති බවට ලකුණු ඇති බවයි නිලධාරීන් පවසන්නේ. එමෙන්ම ඔහු මීපැණි ද, ගස්ලබු, කෙසෙල් වැනි පළතුරු ද එකතු කර ඇති බවටක් සාක්ෂි හමු වී තිබුණා.
නිහාල් පීරිස්