ගෝඨා “ටෙඩිබෙයාවෙකු” කොට හෝ තම බලය රැක ගැනීමට වෙර දරන පිරිසක්


මාසයකට වැඩි කාලයක් සිංගප්පූරුවේ හා තායිලන්තයේ සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් සිකුරාදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වූ අතර ඔහු පිළිගැනීමට මැති ඇමතිවරු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොලට ගොස් තිබුණි. ඔවුන්ගේ පැමිණීම ඉක්මන්ව තිබුණේ සිංගප්පූරුවට වඩා තායිලන්තයේ දැඩි නීති රීති යටතේ ඔවුන්ට රැඳී සිටීමට වූ නිසාවෙනි.ගෝඨාභය රාජපක්ෂ ලංකාවෙන් පලා ගියේ ජනතාවගෙන් එල්ල වූ පීඩනය නිසා ය.එසේ රාජ්‍ය නායකයකු බලය අතහැර රටින් පලා යාම අතිශය දුලබ සිදුවීමකි.හිටපු ජනපති වරයාට මෙලෙස රටින් පලායාමට මුල පිරෙනුයේ ජුලි 09 දා කොළඹට පැමිණි දහස් සංඛ්‍යාත ජනකායක් පළමුව කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වීමත් සමඟිනි. ඒ වන විටත් ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ එහි සිටි අතර ආරක්ෂක අංශ විසින් මොවුන්ව පසුපස දොරටුවෙන් වරාය වෙත ගෙන යන ලදී. කොළඹ වරායෙන් නාවුක හමුදා නෞකාවකට ගොඩ වූ මොවුන් ත්‍රීකුණාමලය බලා රැගෙන ගොස් තිබිණ.

ත්‍රීකුණාමල නාවුක හමුදා කඳවුරේ රැඳී සිටිය ද එහිද ආරක්ෂාව ප්‍රමාණවත් නොවූ බැවින් ඔවුන්ව කටුනායක ගුවන් හමුදා කඳවුරටත් පසුව ගිරිතලේ යුද හමුදා කඳවුරටත් රැගෙන යන ලදී. එහෙත්, ආරක්ෂක අංශ සාමාජිකයන් ද ජනතාව සමඟ එකතු වෙමින් සිටියේ ඉහළින් නිසි නියෝගයක් නොලද බැවිනි. එය ඒ වන විටත් ජනාධිපතිවරයා වූ ගෝඨාභයගේ ආරක්ෂාවට ගැටළුවක් වීම නිසා ඔහුව රටින් පිට කළ යුතු බවට ආරක්ෂක අංශ නිර්දේශ කර තිබුණි.මන්ද ඒ වන විට රට ආරාජික වී තිබූ අතර ජනතාව නීතිය අතට ගෙන සිටි බැවිනි. ඒ අතර අගමැතිවරයාගේ නිවසට ද පිරිසක් ගිනි තබා තිබුණි. පසුව මාලදිවයිනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් ඔහුව පිටත් කළ අතර එරට ශ්‍රී ලාංකේය ජනතාව මොහු එරටට පැමිණීමට එරෙහිව විරෝධය දක්වන්නට වූහ.කෙසේ හෝ අවසානයේ සිංගප්පූරුවට පිටත්ව ගිය ජනාධිපතිවරයා පසුව තායිලන්තය බලා පිටත්ව ගියේ දින 30 ටවඩා වැඩි කාලයක් සිංග්පූරුවේ රැඳී සිටීමට අවසර හිමි නොවූ බැවිනි. කෙසේ නමුත් සිංගප්පූරුවට වඩා දැඩි නීති රීතිවල යටත්වීමට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසට සිදුව තිබේ.

ඔවුන්ට හෝටලයෙන් පිටට පැමිණීමට ආරක්ෂක අංශ ඉඩ ලබාදී නැත.ගෝඨාභය රාජපක්ෂ එරට පිහිටි ප්‍රසිද්ධ විහාරස්ථානයකට යාමට අවසර ඉල්ලා තිබුණ ද එය ද ප්‍රතික්ෂේප කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබුණි මේ තත්වය යටතේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස දැඩි අසීරුතාවයකට පත්ව සිටියහ.එම නිසා හිටපු ජනාධිපතිවරයා නිතර නිතර වත්මන් ජනාධිපතිවරයාට කතා කරමින් කොළඹට පැමිණීමට අවශ්‍ය පහසුකම් ඉල්ලා තිබුණි.එහෙත්, වත්මන් ජනාධිපතිවරයා ගේ ස්ථාවරය වූයේ ජනතා ආවේගයන් තව දුරටත් මැඩපැවැත්වෙන තුරු ඔහු ශ්‍රී ලංකාවට නො ආයුතු බවකි.අවසානයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවා ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණේ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පුරවැසියෙකු බැවින් ඔහුට ලංකාව තුළ ජීවත්වීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස ය. හිටපු ජනාධිපති වරප්‍රසාද යටතේ ඔහුට බෞද්ධාලෝක මාවතෙන් නිල නිවසක් වෙන් කිරීමට රජය පියවර ගත් අතර විශේෂ ආරක්ෂාවක් සැපයීමට ද පියවර ගෙන තිබේ.

මෙහි හොඳම විහිළුව වන්නේ කිසිවෙකු නොමැතිව තනිව රටින් පිටව ගිය ජනාධිපතිවරයා පිළිගැනීමට මැති ඇමතිවරු පිරිසක් කටුනායක ගුවන් තොටුපොල වෙත ගොස් සිටීම ය. හිටපු ජනපති පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොලට ගිය පිරිස දෙස බලද්දී පැහැදිලිවන කරුණක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස ගත් තීන්දු තීරණ ඔහුටත් වඩා ඉදිරියට ගොස් ක්‍රියාත්මක කිරීම නිසා රට අගාධයට ඇදගෙන ගිය ඇමතිවරු එහි පෙරමුණේම සිටි බව ය.

රට අගාධයට ඇද දැමූ රසායනික පොහොර තහනම මහ ඉහළින් ගෙන ගිය මහින්දානන්ද අලුත්ගමගේ ද එහි පුරෝගාමී ලෙස හිඳිනු පෙනුණි.ඉකුත් මහ කාන්නයේ කාබනික වගාවෙන් වී අස්වැන්නේ කිසිදු අඩුවක් නොවන බවට හා පිට රටින් එක සහල් ඇටයක් වත් නොගෙන්වන බවට පුරසාරම් දොඩමින්එවර වගා පාලු වුවහොත් ගොවීන්ට අහිමි වන සෑම වී ඇටයකටම වන්දි දෙන බවට ඔහු දුන් පොරොන්දු තවමත් එතැනම ය. එහෙත් මහින්දානන්ද අලුත්ගමගේට ඒ ගැන වගේ වගක් නැත. ගෝඨාභය ගැන රටේ දැඩි අප්‍රසාදයක් මතු වූයෙත් ඔහු අඥාන දේශපාලනඥයකු ලෙස ජනතාව අතරේ හංවඩු ගැසුණේත් මේ ආදී කරුණු නිසාවෙනි. එසේම මහින්දානන්ද අලුත්ගමගේ කාබනික පොහොර නැවකට මුදල් ගෙවූවේය. අන්තිමේ පොහොරත් මුදලත් දෙකම නැති විය.මේ පිරිස උත්සාහ කරනුයේ මේ වන විට කිසිදු අගයක් ඉස්මතු කොට දැක්විය නොහැකි ගෝඨාභය “ටෙඩි බෙයාවෙකු” ලෙස හෝ ජනතාව හමුවට ඉදිරිපත් කොට තමන්ගේ බලය තහවුරු කර ගැනීමට ය. එහෙත් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගෙන් ගෝඨාභයට සහයක් නොලැබෙන බව ඔවුන් කියන කරන ප්‍රකාශවලින් තහවුරු වෙයි.

රාජපක්ෂ පවුලේ කිසිවෙකු කටුනායක දී ගෝඨාභය පිළිගැනීමේ අවස්ථාවට සහභාගී වී සිටියේ නැත. එසේම ගෝඨභයගේ පැමිණීම ගැන මාධ්‍ය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් විමසද්දී ඔහු ඊට පිළිතුරු දෙන්නේ කිසිදු වගකීමක් නොමැති “ආවාට ගියාට” ස්වරූපයකිනි.එසේම බැසිල් රාජපක්ෂ ද මේ සතියේ ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය. ඔහු පිළිගැනීමට ගිය කණ්ඩායම් පවා ප්‍රකාශ කර තිබුණේ කළගුණ සැලකීමට පැමිණි බවකි.එහෙත් සැලකීමට පදනම් වන ඔහුගේ ගුණය කුමක්ද යන්න අවිනිශ්චිත ය.නමුත් ජනාධිපති මුක්තිය නිසා ඉවත දැමූ ඔහුට එරෙහි සියළු නඩු යළි විභාග කරන ලෙස විපක්ෂ හා ආණ්ඩු පක්ෂ ජනතා නියෝජිතයෝ ඉල්ලා සිටිති.ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ගෝඨාගේ ඉදිරි පැවැත්ම සුව දායක වේයැයි සිතීම අතිශය දුෂ්කර ය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර