මේ දවස්වල අපේ ක්‍රිකට් කණ්ඩායම දක්වන දස්කම් විවිධ ප්‍රශ්ණ නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට යම් සතුටක් ගෙන ඒමට සමත් වී තිබෙනවා. ක්‍රිකට් කණ්ඩායම වගේම මළල ක්‍රීඩකයන් වගේ අයත් පසුගිය දිනවල ජාත්‍යන්තර ජයග්‍රහණ දිනා ගැනීමට සමත් වූ බව රහසක් නොවෙයි. ක්‍රීඩා ක්ෂේත්රයෙන් මේ වගේ සුබ ආරංචි ඇසෙද්දී කලාව පැත්තෙනුත් එවැනි ආරංචියක් ගැන මේ වනවිට දැනගන්නට ලැබී තිබෙනවා. මෙම ජයග්‍රහණය ගැන වාර්තා වන්නේ සාහිත්‍ය කලාව පැත්තෙනු යි. ලෝකයේ ඉතාම ප්‍රසිද්ධ සාහිත්‍ය සම්මානයක් සඳහා ශ්‍රී ලාංකික ලේඛකයකු ගේ කෘතියක් නිර්දේශ වී ඇති බව මේ වනවිට වාර්තා වී තිබෙනවා.
මෙම සම්මානය හැඳින්වෙන්නේ බුකර් ත්‍යාගය (Booker Prize) යනුවෙනුයි. මෙම සම්මානය සඳහා සලකා බැලෙන්නේ ඉංග්‍රිසි බසින් ලියන ලද සහ එක්සත් රාජධානියේ හෝ අයර්ලන්තයේ ප්‍රකාශයට පත් කරන ලද නවකතා යි. ලේඛකයාගේ ජාතිය කුමක්ද යන්න මෙහිදී සලකා බැලෙන්නේ නැහැ. ඕනෑම රටක ලේඛකයකුට මෙම තරගය විවෘත යි.
මේ වසරේ මෙම සම්මානය පිරිනැමීම සඳහා විවිධ රටවල ලේඛකයන් විසින් රචිත නවකතා 169 ක් පිලිබඳව සලකා බලා තිබුණා. ඒ අතරින් අවසන් වටය සඳහා තෝරා ගන්නා ලද නවකතා ගැන නිවේදනය කෙරුණේ පසුගිය 6 වැනි දින යි. නවකතා 6 ක් මෙහි දී අවසන් වටය සඳහා තෝරාගෙන තිබුණා. ශ්‍රී ලාංකික ලේඛකයකු වන ෂෙහාන් කරුණාතිලක විසින් ලියන ලද The Seven Moons of Maali Almeida නැමැති නවකතාවත් ඒ අතර තිබෙනවා.
47 හැවිරිදි ෂෙහාන් කරුණාතිලක මෙයට පෙර ද ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා සිටින ලේඛකයෙක්. ඔහු විසින් 2010 වසරේ පළ කරන ලද Chinaman නැමැති නවකතාව ඒ ආකාරයෙන් සම්මාන කිහිපයක්ම දිනා ගත්තා. Commonwealth Book Prize සහ DSC Prize for South Asian Literature වැනි සම්මාන ද ඒ අතර වෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පසුබිම් කරගත්, අපූරු ශෛලියකින් රචනා වුණු ආකර්ශණීය නවකතාවක්.
මේ වසරේ ප්‍රකාශයට පත් කරන ලද The Seven Moons of Maali Almeida නවකතාව මෙරට සිවිල් යුද සමය පසුබිම් කරගත්, දේශපාලන උපහාසය ද කැටි වුණු රසවත් නවකතාවක් ලෙස හැඳින්වෙනවා. මෙහි කතානායකයා සිවිල් යුද සමයේ ජීවත් වූ මාලි අල්මේදා නැමැති යුද ඡායාරූප ශිල්පියෙක්. කතාව විකාශනය වන්නේ ඔහුගේ මරණයෙන් පසුව සිදුවන සිදුවීම් පෙලක් ඔස්සේයි. මාලිගේ සිරුර බේරෙ වැවේ ගිලෙමින් තිබිය දී ඔහු අවදි වෙනවා. තමා ඝාතනය කළේ කව්දැයි යන්න ගැන ඔහුට අවබෝධයක් නැහැ. මෙය විවිධ ඝාතක කණ්ඩායම්, මරාගෙන මැරෙන බෝම්බකරුවන්, කුලී ඝාතකයන් බහුල කාලයක්. එවැනි පසුබිමක සැකකරුවන් ගේ ලැයිස්තුව ඉතා දිගයි. මෙවැනි ඝාතකයන් අතින් මියගිය අයගේ අවතාර ද මේ නවකතාව තුළ හමු වෙනවා. කෙසේ නමුත් මරණයෙන් පසු ජීවිතය තුළ පවා ඔහුට වැඩි කාලයක් ඉතිරිව නැහැ. පොහොය හතක් ඇතුළත ඔහු තමා වඩාත්ම ආදරය කළ ගැහැණිය සහ පිරිමියා සම්බන්ධ කරගත යුතුයි. එසේ සම්බන්ධ කරගෙන ශ්‍රී ලංකාව කැළඹවිය හැකි ඡායාරූප තොගයක් සඟවා ඇති ස්ථානයක් ගැන ඔවුන්ට හෙලි කළ යුතුයි.
The Seven Moons of Maali Almeida නවකතාවට පසුබිම් වන්නේ එවැනි අපූරු කතාපුවතක් බව සඳහන්. ඇතැම් විචාරකයන් මෙය හඳුන්වා තිබුණේ හොල්මන් කතා, අබිරහස් පිලිබඳ කතා, දේශපාලන උපහාස කතා ආදියේ ලක්ෂණ ද කැටිකරගත් විස්මයජනක නවකතාවක් හැටියටයි.
මෙවර බුකර් සම්මානය සඳහා නිර්දේශ වී ඇති සෙසු නවකතා පහ වන්නේ නෝවයලට් බුලවායෝ ගේ Glory ක්ලෙයාර් කීගන් ගේ Small Things Like These , පර්සිවෙල් එවරට් ගේ The Trees , එළිසබෙත් ස්ට්‍රවුට් ගේ Oh, William! සහ ඇලන් ගාර්නර් ගේ Treacle Walker යන ඒවායි.
නිර්දේශිත සෑම නවකතාවක් සඳහාම ස්ටර්ලිං පවුම් 2,500 ක (ලංකා රුපියල් ලක්ෂ 10 ක පමණ)
මුදල් ත්‍යාගයක් හිමි වන අතර අවසානයේ සම්මානය දිනාගන්නා නවකතාවට ස්ටර්ලිං පවුම් 50,000 ක (ලංකා රුපියල් කෝටි 2 ක පමණ) මුදල් ත්‍යාගයක් හිමි වෙනවා. අවසන් ජයග්‍රාහකයා නිවේදනය කිරීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් 17 වැනි දිනයි.
නිහාල් පීරිස්