ආසියාවේ ආදිතමයා විසූ ගල් ලෙනට යමු

ආසියාවේ ආදිතමයා පිළිබඳව තොරතුරු හමු වූ අපේ රටේ විශාලතම සහ ස්වභාවික ගල්ලෙන වෙතයි අද අප ඔබව කැඳවා ගෙන යන්නේ. කළුතර දිස්ත්‍රික්කයේ නැගෙනහිර පස්යොදුන් කෝරළයේ යටගම්පිටිය නම් ග්‍රාමයේ පිහිටා තිබෙන මෙය පාහියන්ගල යි. හරියටම කිවහොත් පස්යොදුන් සහ කුකුළු යන කෝරළවල මායිමේයි මෙම ගල්ලෙන තිබෙන්නේ.

බුලත්සිංහලට ගොස් එතැනින් නිග්ගහ මාර්ගයේ කිලෝමීටර් 8 ක් පමණ ගියවිට පාහියන්ගලට යා හැකියි. නමුත් ඊට වඩා පහසුයි හොරණ කල්වැල්ලාව මාර්ගය.

මෙම ගල්ලෙන පාහියන්ගල නම ලැබුවේ ක්‍රිස්තු වර්ෂ පස් වැනි සියවසේ අනුරාධපුර රාජධානි සමයේ මෙරටට වැඩම කළ චීන ජාතික පාහියන් නැමැති භික්ෂූන් වහන්සේ අනුරාධපුරට යන අතරමගදී මෙම ලෙනට වැඩි නිසා බවට ප්‍රවාදයක් තිබෙනවා. එසේම රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්ක දෙක මායිම් වන ස්ථානය නිසා පාහියන් යන නම ලැබූ බවද සමහරු පවසනවා. කෙසේ වුවද වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ මුලින් කී මතය යි.

පාහියන්ගල ලෙන වටේට විශාල වනාන්තර දෙකක් තිබෙනවා. රාහැලිය මූකලාන සහ සිල්ලපොල මූකලාන ලෙසින් මෙම වනාන්තර හඳුන්වන අතර අක්කර 80 ක පමණ වන ගහනයක් මීට අයිතියි.

මුහුදු මට්ටමේ සිට අඩි 400 ක් පමණ උසින් පිහිටා තිබෙන මෙම ලෙනට යාම සඳහා ගල් පඩි 496 ක් වූ පසු කළ යුතුයි. එතැන සිට නයි පෙනයක හැඩයට පිහිටි අඩි 468 ක් තරණය කළ යුතු වෙනවා. මෙහි ලෙන් කට අඩි 150ක් පමණ උසින් සහ අඩි 175 ක් පමණ පළලින් අර්ධ කවාකාරවයි පිහිටා තිබෙන්නේ. ලෙනෙහි මුළු දිග අඩි 282 යි. ලෙනෙහි පළල වැඩිම ස්ථානය අඩි 160ක් පමණ වෙනවා. මෙය දඔුලු ලෙනෙහි පළල මෙන් තුන් ගුණයකට වඩා වැඩියි . සාමාන්‍ය පිළිගැනීම වන්නේ පාහියන්ගල ගල් ලෙනෙහි එකවර මිනිසුන් 3000 කට පමණ නොතෙමී සිටිය හැකි බවයි.

පාහියන්ගල ගල් ලෙන භික්ෂු වාසයට සුදුසු ලෙස සකස් කිරීම සඳහා මුලික වී තිබෙන්නේ පොරෝගම හාමුදුරුවන් ලෙසින් හඳුන්වන භික්ෂූන් වහන්සේ නමක්. යෝධ පුරුෂයකු බව පැවසෙන මෙම පොරෝගම හිමියන් ලෙන අවහිර වන සේ තිබූ ගල් කුට්ටි කඩා දමන්නට භාවිත කර ඇත්තේ යකුලක් නොව අඩි 6 ක් පමණ දිගැති එවැනිම වූ ගල් ආයුධයකුයි. සිව් දෙනෙකුටවත් ඔසවන්නට නොහැකි තරම් බරැති එම ආයුධය මෙම භික්ෂූන් වහන්සේ විසින් තනිව ඔසවා ගල් කඩා, බිම දමා සමතලා කර වාසයට සුදුසු පරිදි ලෙන සකස්කර ගෙන තිබෙනවා. මෙම ගල් ආයුධය දැනට මෙහි වැඩ සිටින මහා බුද්ධ ප්‍රතිමා වහන්සේගේ පාදමට තබා බැඳ ඇති බවයි පැවසෙන්නේ. මෙම ලෙන් විහාර භූමියෙහි අද පවා පවතින කපා ඔප දමන ලද යෝධ උළුවහු දෙක ද පොරෝගම හිමියන් විසින් නිර්මාණය කරන ලද්දක්.

පාහියන්ගල පුරාවිද්‍යා කැණීම් කටයුතු ආරම්භ කරන ලද්දේ 1986 – 87 වර්ෂවලයි. ලංකාවේ ආදිවාසීන් පිළිබඳව තොරතුරු ගවේෂණය කිරීම සඳහා සිදුකරන ලද මෙම කැණීම් කටයුතුවලදී ආසියාවේ වාසය කරන නූතන මිනිසාට සමානකම් ඇති පැරණිම මානව ශේෂයන් සොයාගත හැකි වුණා. කාබන් 14 විද්‍යාත්මක කාල නිර්ණ වාර්තාවට අනුව මෙම මානවයා වසර 37,000 කට වඩා පැරණි බවයි අනාවරණය වුණේ. ආසියාවේ ඉපැරණිතම මානවයා කුරුවිට බටදොඹලෙනින් සොයාගත් බලංගොඩ මානවයා බව ඒ දක්වා පැවති පිළිගැනීමයි. නමුත් ඊටත් වඩා පැරණි වූ මෙම මානවයා මෙසෝතික් යුගයට අයත් හෝමෝසේපියන් ගේ මුල්ම අවදිය ලෙස සැලකෙනවා. ඒ අනුව පාහියන්ගල මානවයා හට බලංගොඩ මානවයාට වඩා ඉපැරණි ඉතිහාසයක් තිබෙන බව මෙම පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා. ගල් අවි තාක්ෂණයේ දියුණුම ගල් අවි වන ක්ෂුද්‍ර ගල් මෙවලම් මෙම මානවයන් විසින් භාවිතා කර ඇති බවද සොයා ගත හැකි වුණා. එම අවි විවිධ ජ්‍යාමිතික හැඩයන්ගෙන් ද යුක්ත බව කැණීම්වලදී මතු වූ මෙම ගල් මෙවලම් තුළින් පැහැදිලියි. එසේම කැණීම් කටයුතුවලදී සොයා ගෙන තිබූ අඟුරුවලින් තහවුරු වූයේ මෙම මානවයන් ගින්දර භාවිතා කර ඇති බවයි.

පාහියන්ගල පාරිසරික වැදගත්කම ගැනත් අමතක කළ නොහැකියි. මෙහි රක්ෂිතයේ තිබෙන දොළ පාරවල්වලින් මත්ස්‍ය වර්ග 32 ක් වාර්තා වී ති0බෙනවා. එයින් 14 ක් අපේ රටට ආවේණිකයි. ලංකාවේ සීතාවක ගඟේ එක් ස්ථානයකින් පමණක් වාර්තා වූ මහගල් වැලිගොව්වා නමැති මත්ස්‍යයා නිග්ගහ දොලෙන්ද වාර්තා වෙනවා. අපේ රටේ වැලිගොව්වන් විශේෂ 8 ක් සිටිනවා. එයින් 5 ක්ම මේ දොළෙන් වාර්තා වීම විශේෂයක්.

පක්ෂි විශේෂ 84 ක් ද මෙම වනාන්තරවලින් වාර්තා වෙනවා. එයින් රතු දෙමලිච්චා, සිලු කවුඩා, මහගිනි කුරුල්ලා, අලු කෑඳැත්තා, මූකලන් කොට්ටෝරුවා, හිස කළු කොණ්ඩයා, හීන් කොට්ටෝරුවා,⁣ ගිරා මලිත්තා වැනි පක්ෂීන් අපේ රටට ආවේණිකයි.
පාහියන්ගල තිබෙන පුරාවිද්‍යාත්මක වටිනාකම වගේම එහි සුන්දරත්වය ගැනත් අපි බොහෝ තොරතුරු කතා කළා. මේ දැනුවත් වීම ඉදිරියේ මෙහි සංචාරයක නිරත වන්නට බලාපොරොත්තු වන ඔබට වඩා වැදගත් වේවි.

ඉන්දු පෙරේරා

ඡායාරූප අන්තර්ජාලයෙනි.

හරිත දනව්ව