බුදු දහමට හින්දු දහම මුසු කරගැනීම බරපතල අපරාධයක්

බුදු දහම හා සමානම දහම කුමක්දැයි මම බොහෝ දෙනකු ගෙන් අසා ඇත්තෙමි. එවිට ඔවුන් ගෙන් සියයකට අනූවකටත් වඩා දුන් එක් පිළිතුරක් තිබිණ. එනම් හින්දු දහම යන්න ය. එහෙත්, අප සමාජයෙන් ලැබෙන එම පොදු පිළිතුරට හේතුව; ‘මේ ප්‍රශ්නය පටලවා ගැනීම’ බව කිව යුතු ය.

ඔවුන් එසේ ප්‍රකාශ කරනුයේ බුද්ධාගමට වඩාත්ම සමීප ආගම හින්දු ආගම යන ප්‍රශ්නයට පිළිතුරු වශයෙනි. සැබැවින්ම වර්තමාන බුද්ධාගම සහ හින්දු ආගම අතර බොහෝ සමානතා දක්නට තිබේ. ඒ බුදුන් වදාළ නිර්මල දහම පසුකාලීනව හින්දු මතවාදයන් හා හරි හරියට සංයෝග වී ඇති බැවිනි. එහෙත්, බුද්ධාගම හින්දු ආගම හා කළවම් වීමක් මිස හින්දු ආගම බුද්ධාගම හා කළවම් වූ බවක් පෙනෙන්නට නැත. ඒ කෙසේ හෝ මෙමඟින් සිදුව ඇත්තේ ශ්‍රී ලාංකික බෞද්ධයන්ට බුදුන් නොවදාළ දහමක් ඇසුරින් තැනුණු වෙනම ආගමක් බුදු දහම ලෙස භාර ගැනීමට ය.

අපේ රට ථේරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය ලෙස බොහෝ දෙනෙක් සලකති. එහෙත්, ථේරවාදී ත්‍රිපිටකය සංරක්ෂණය වීම හැරුණු කොට දැනට අප සමාජය අදහන ජනප්‍රිය ව්‍යහාරික බුද්ධාගම ශීඝ්‍රයෙන් ථේරවාදයෙන් පිට පැන අයාලේ යමින් තිබේ. එමෙන්ම මෙම තත්වය පහදා දීමට අප රටේ භික්ෂු පරපුර වෙතින් ලැබෙන දායකත්වය ද ඉතා ඛේදනීය තත්වයකට පත්ව ඇති බවක් පෙනේ.

යම් ශාස්තෘ දේශනාවක් මුල් කොට පැන නඟින ආගමක් සමකාලීන සමාජ සාධක අනුව සේම භූගෝලීය, දේශගුණික සාධක අනුව පවා වෙනස් විය හැක. එසේ වෙනස් වන තත්වයන් හමුවේ කුඩා සහ ඉතා කුඩා (ඛුද්දානු ඛුද්දක) ශික්ෂා පද වෙනස් කරගැනීමේ විනයානුකූල අවසරයක් බුදුන් වහන්සේ විසින් භික්ෂුන්ට ලබා දී තිබේ. එහෙත්, අද මේ සිදුවෙමින් පවතින්නේ එවැනි ස්වභාවික හේතූන් මත බුදු සමය තුළ සිදුවන වෙනස්කම් නොවේ.

තෘෂ්ණා භරිත සමාජය විසින් තමන් ගේ ලෞකික ලාභාපේක්‍ෂාවන් තකා මහා පරිමානයෙන් සහ සංවිධානාත්මක ලෙසින් බුදු දහම කණපිට ගසා ගැනීමකි. බුද්ධාගම සහ හින්දු ආගම නිවුන් සොහොයුරන් වැනිය යන බරපතල මිථ්‍යා විශ්වාසය අද වන විට අපගේ ජන සමාජය පුරා පැතිර ගොස් ඇත්තේ ඒ අනුව ය.

බුදුන් වහන්සේ ලොව පහළ වන ලද්දේ බ්‍රාහ්මණ පූජක ආධිපත්‍යයෙන් යුතු වෛදික සමාජයක් තුළ ය. රජුන්ට පවා උපදෙස් දීමේ නිල වගකීම තමන් වෙත පවරා ගත් බ්‍රාහ්මණයෝ රාජ්‍ය පාලන කටයුතු පවා අනියමින් තම බාරයට ගත්හ.

ඒ මැවුම්කාර බ්‍රහ්මයකු විසින් මේ ලෝකය මවා ඇති බවක් හා ඒ බ්‍රාහ්මයා සමඟ එක්විය හැක්කේ බ්‍රාහ්මණයන් හරහා පමණක් ය යන අමූලික මිථ්‍යාව සමාජය පුරා පැතිර වීමෙනි. වෛදික හින්දු ආගම පිළිබඳ මූලික පදනම වන එය පසු කාලීනව සංවර්ධනයට හා පරිනාමයට පත්ව තිබේ. ඒ තුළින් හින්දු දහම දාර්ශනික මට්ටම තෙක් ඉහළ නැඟීමක් ද දක්නට පුළුවන. එහෙත්, ඒ කතාව පසෙක තිබිය දී එය සිද්ධාන්තමය වශයෙන් බුදු දහම හා කෙසේවත් සැසදිය නොහැක.

ලෝකයේ පැවැත්ම නිත්‍ය (ශාස්වෘත) බව හින්දු දහමේ මූලික ඉගැන්වීම වන අතර ලෝකයේ පැවැත්ම අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම යන ත්‍රිලක්ෂණය මත පදනම් වන බව බුදු දහමේ මූලික හරයයි. ඉතින් ගින්දර සහ ජලය මෙන් මෙලෙස එකි’නෙකට පරස්පරතා දක්වන ආගමික විශ්වාස දෙකක් එකට සමාන කොට දක්වන්නේ කෙසේද?

මෙම පටලවා ගැනීම සම්බන්ධයෙන් අප හින්දු ආගමිකයන්ට දොස් පැවරිය යුතු නැත. ඔවුන් ගෙන් බහුතරය ඉතා යහපත් අන්දමින් සිය ආගමික සදාචාරයෙන් හික්මෙන අතරේ ඒ ප්‍රජා චාරිත්‍රවල යෙදෙති. බොහෝ හින්දුන් බෞද්ධයන්ට වඩා ප්‍රතිපත්ති ගරුක බව ද අපගේ පෞද්ගලික පිළිගැනීම ය. එමෙන්ම බුදුන් වහන්සේ පිළිබඳව ද ඔවුන් නොදන්නවා ද නොවේ.

බුදුන් වහන්සේ යනු විෂ්ණු දෙවියන් ගේ දස අවතාර අතුරින් නව වැන්න බව දස වන සියවසේ පමණ සිට හින්දු ආගමේ ප්‍රධාන තැනට පත් ඉගැන්වීම් අතරට පැමිණ තිබේ. මෙහි අවතාර යනුවෙන් හැඳින්වෙනුයේ මූර්ති (Incarnation) බව පැහැදිලි ය. බ්‍රහ්ම යනු ලෝකයේ පරමාත්මයාණන් බව සැළකුණු යුගයෙන් පසුකාලීනව ඒ තත්වයට විෂ්ණු දෙවියන් පත්වීමත් සමඟ මෙම දස අවතාර සංකල්පය බිහි වූ බව මානව විද්‍යාඥයන් ගේ මතයයි.

එහි දී දස අවතාර වලින් සමස්ත ලෝකයේ පරිනාමීය පැවැත්ම පිළිබඳව ඉගැන්වෙන අතර එහි නව වැන්න වන බුද්ධ අවතාරයෙන් මිනිස් බුද්ධියේ උපරිමය සංකේතවත් කරයි. එහෙත්, ඉන්පසුව පැවසෙන දසවන අවතාරය ‘කල්කී’ යන්න ය; කල්කී යනු විනාශයයි. ඒ අනුව එම දස අවතාර වලින් පැවසෙන දාර්ශනික අරුත නම් මිනිස් බුද්ධියේ උපරිමයෙන් පසු ලෝකය විනාශ වන බවකි. ඒ අනුව හින්දු ආගම තුළ බුදුන් වහන්සේට අත් පත් කර දී ඇති තැන වටහා ගැනීමට ඔබට හැකි වනු ඇත.

ශ්‍රී ලංකාවේ හින්දු ජනගහනය මිලියන 2.6 පමණ වෙයි. එය සමස්ත ශ්‍රී ලාංකේය ජනගහනයෙන් සියයට දහයකට වැඩි අගයකි. එහෙත්, ශ්‍රී ලංකාවේ ඇති අනේක විධ වූ බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කිරීමට පැමිණෙන එකම හින්දු බැතිමතකු වත් ඔබ දැක තිබේද? මේ තත්වය පසෙක තිබියදී ශ්‍රී ලංකාවේ ඇති හින්දු කෝවිල් වෙත යන බෞද්ධයන් නැත්තටම නැතැයි ඔබ සිතනවාද? එමෙන්ම එසේ කෝවිල් යාම පසෙක තිබියදී භික්ෂුන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ වෙහෙර විහාර තුළට බුදු දහමට සපුරාම වෙනස් හින්දු දෙවිවරුන් වැඩමවා ගෙන වැඳුම් පිදුම් කිරීමේ අබෞද්ධ චාරිත්‍රය දිනෙන් දිනම වර්ධනය වන අයුරක් පැහැදිලිව පෙනෙයි.

බුදු දහම සහ හින්දු දහම නිවුන් සොයුරන් වැනිය යන පරම මිථ්‍යාව සමාජය පුරා පතුරුවා ඇත්තේ එසේ බෞද්ධයන් දේව වන්දනයට යොමු කිරීමෙන් ලැබෙන ආර්ථික වාසි පිළිබඳව තැකීමකින් තොරව යැයි අපට නම් කීමට නොහැක.

බෞද්ධ සිද්ධස්ථානයක් තුළට කිතුණු හෝ ඉස්ලාමීය ආගමික සංකේත ගෙනවුත් පුද පූජා කිරීමට යමෙකු බෞද්ධයන් තුළ පෙළඹවීමක් ඇති කළ හොත් එය විශාල සමාජ අර්බුදයකට තුඩු දෙනු නිසැක ය. එහෙත්, ඒ හා සමානම බරපතල ශාසන විරෝධී ක්‍රියාවක් වන බෞද්ධ සිද්ධස්ථාන තුළ සිදුකෙරෙන හින්දු දේව වන්දනයට එරෙහිව ගිහියන් තබා අප රටේ භික්ෂුන් වහන්සේලාවත් විරුද්ධ වන බවක් නොපෙනෙයි. ඊට හේතුව දේවාලය යනු ඉතා හොඳ ආදායම් මාර්ගයක් වන බැවිනි.

අංගුත්තර නිකායේ තික නිපාතයේ තිත්ථායත්ත සූත්‍රය මඟින් බුදුන් වහන්සේ මේ සම්බන්ධ විශිෂ්ට විග්‍රහයක යෙදී තිබේ. මෙහි තිත්ථායතත යන්න සරලව විස්තර කිරීමේදී තීර්ථයට හෙවත් එතෙරට යා හැකි ආයතන ලෙස නම් කළ හැක. මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන බුදුන් වහන්සේ එසේ එතෙරට යාමේ මං පෙත් පිළිබඳ විශ්වාස කිරීමේදී පරම වජ්ජ (සහමුලින් වැරදි) ලෙස හඳුන්වන ආගමික මතයන් තුනක් දක්වා ඇත.

ඉන් පළමු වැන්න සියල්ල පෙර කළ පව් පින් අනුව සිදුවෙතැයි (පුබ්බේ කත හේතුවාදය) යන ආගමික විශ්වාසයයි. දෙවැන්න නම් දෙවියකු හෝ බ්‍රාහ්මයෙකු විසින් මේ ලොව මවන ලද්දේය (ඉස්සර නිම්මාන වාද) විශ්වාසයයි. මෙසේ පරම වජ්ජ හෙවත් සහමුලින් වැරදි ලෙස ගත හැකි තුන් වන විශ්වාසය වන්නේ ලොව පැවැත්ම හේතු ප්‍රත්‍ය සබැඳියාවකින් තොරව සිදුවන බව (අහේතු අපච්චය වාද) නම් ආගමික සංකල්පයයි.

නමුදු අද වන විට ශ්‍රී ලාංකේය බෞද්ධයන් තුළ පවතින ඉහත සඳහන් මිථ්‍යා විශ්වාස වලට අනුව බුදු දහම සහ හින්දු දහම දෙකක් නොව එකක් වශයෙන් හඳුනා ගැනීම මූලික බුදු සමයට අනුව කිව හැක්කේ මිරිඟු දියෙන් පිපාසය සංසිඳුවා ගැනීමට වෙර දැරීමක් ලෙසිනි. එසේම එය බරපතල ශාසනික අපරාධයක් බව ද කිව යුතු ය.

කදුරුපොකුණේ සුමංගල හිමි

පහන් ටැඹ